පුරුෂ මදසරුබව සොයා බලන ශුක්‍රාණු පරීක්ෂණය (SFA)
දරු ඵල ප්‍රමාද වෙන්න කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්වයනුත් බලපානව. සාමාන්‍ය යෙන් 15% ක පමණ පිරිසකට මදසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණු වල ගැට‍ළුවක්. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගන්න බැහැ. කාන්තාවගේ රෝග තත්වයන් ඉතිරි 1/3කට බලපානව. පුරුෂයෙකුගේ සරු බව රඳා පවතින්නෙ ලිංගික එක්වීමේ දී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතයි. ඒ නිසා පුරුෂ මදසරු බව ඔබට ඇති දැයි සරල පරීක්ෂණයක් මගින් අනුමාන කරන්න පුළුවන්. මේ බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයයි. එහිදී ප්‍රධාන කරුණු තුනක් සොයා බලනව. ඒ එක වරක දී පිට වෙන ශුක්‍රාණු ප්‍රමාණය, ඒවායේ ස්වරූපය සහ චලනය වීමට ඇති හැකියාව කියන කරුණු තුනයි. පරීක්ෂණාගාරයේ දී අන්වීක්ෂයක් ආධාරයෙන් ශුක්‍ර තරලය පරීක්ෂා කර බලා මෙම වාර්තාව ලබා දෙනව. ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු වල ස්වරූපය චලනය වීමේ හැකියාව ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සලකනව. ඊට අමතරව එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිළිබඳ වත් මෙම වාර්තාවෙ කරුණු අඩංගු වෙනව. මෙම සාමාන්‍ය වාර්තාවෙන් සොයා ගත නො හැකි සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීමෙන් දැන ගන්න දැන් හැකියාව තිබෙනව. ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීම සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂණාගාරයට ලබා දීම අවශ්‍ය වෙනව. ඊට පෙර දින 3ත් 10 ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඉන් පසු රසායනාගාරයට ගොස් ඒ සඳහා ලබා දෙන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. මෙය රසායනාගාරය තුල දීම ලබා දීම වැදගත් වෙන්නෙ එසේ නැති නම් බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු විය හැකි නිසයි. එවිට ලැබෙන වාර්තාව නිවැරදි නැහැ. පලමු වරට පරීක්ෂා කරන විට ශුක්‍රාණු ප්‍රමාණයේ හෝ ගුණාත්මක බවේ ඇති වෙන අඩුපාඩු ඇති නම් කලබල විය යුතු නැහැ. එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණය නැවත සිදු කර බලන අතර, එවිට වාර්තාව සාමාන්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. දිගින් දිගටම වාර්තාව අසාමාන්‍ය වෙන විට දරු පිළිසිඳ ගැනීම සඳහා IUI/ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම අවශ්‍ය විය හැකියි...
සාමාන්‍ය ප්‍රසූතිය ඉක්මන් කරන ක්‍රම. (Induction of labour)
සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා ගැබිනි මවකට ප්‍රසූත වේදනා ඇතිවෙන තෙක් සිටීමට අවශ්‍ය වෙනව. නමුත් සමහර අවස්තා වලදී ප්‍රසූත වේදනා ඇති වීම ප්‍රමාද වෙන්න පුළුවන්. තවත් සමහර මව් වරුන්ට කලින් දරුවා බිහි කිරීම අවශ්‍ය වෙන හේතු තිබෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී දී ප්‍රසූත වේදනාව කලින් ඇති කිරීම (Induction of labour) සඳහා වෛද්‍ය වරු උපදෙස් ලබා දෙනව. Induction කියන්නෙ මොකක්ද? එ් ගැන මේ ලිපියෙන් ඔබට විස්තර කරන්නම්. සාමාන්‍ය ලෙස දරුවෙකු බිහි වීමට ගර්භාෂයේ පහලින් යෝනි මාර්ගයට නෙරා ඇති ගැබ් ගෙල කොටස විවෘත වීම අවශ්‍ය වෙනව. මෙහි දී ගැබ් ගෙල ප්‍රමාණයෙන් කෙටි වීම සහ විවෘත වීම ස්වභාවිකව සිදු වෙන ක්‍රියා වලියක්. මේ සඳහා සිරුරේ නිපදවෙන ප්‍රොස්ටගැන්ඩින් නම් රසායනික අවශ්‍ය වෙනව. ඒ වගේම ගර්භාෂය වරින් වර සංකෝචනය වී දරුවා උපත් මාර්ගය තුලින් පහලට තල්ලු කිරීම සාමාන්‍ය ප්‍රසූතියේ දී සිදු වෙනව. මෙලෙස සිදු වෙන ගර්භාෂයේ මාංශ පේෂි සංකෝචනය වීමත් ගැබ් ගෙල විවෘත වීමත් යන කරුණු දෙකම මත සාමාන්‍ය ප්‍රසූතියක් සිදු වෙන දිනය තීරණය වෙනව. ගැබ් ගෙල විවෘත වීම සිදු නොවන විට එය උත්තේජනය කිරීම සඳහා ඖෂධ හෝ වෙනත් ක්‍රම භාවිතා කිරීම අවශ්‍ය වෙනව. මේ සඳහා භාවිතා කරන ප්‍රධාන ඖෂධ වර්ග කිහිපයක් තිබෙනව. 1. ප්‍රොස්ටගැන්ඩින් වර්ගයේ ඖෂධ යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙත්තක් ලෙස හෝ ජෙල් වර්ගයක් ලෙස මෙම ඖෂධය භාවිතා කරනව. එමගින් ගැබ් ගෙල විවෘත වීම වගේම ගර්භාෂය සංකෝචනය වීමත් උත්තේජනය කරන නිසා ප්‍රසූතිය ඉක්මන් කරන්න පුළුවන්. 2. ඔක්සිටොසින් හෝමෝනය (Syntocin) මෙම ඖෂධය සේලයන් සමග නික්ෂේපණයක් ලෙස ලබා දෙන්නෙ. සාමාන්‍යයෙන් ගැබ් ගෙල විවෘතව ඇති විට ගර්භාෂය සංකෝචනය වීම සහ ප්‍රසව වේදනා ඇති වීම උත්තේජනය කිරීම සඳහා මෙය බහුලව භාවිතා කරනව. 3. කලලාවාරික පටලය සිදුරු කිරීම (Water bag එක කැඩීම) ගැබ් ගෙල විවෘතව පවතින විට වෛද්‍ය වරු විසින් සියුම් උපකරණයක් යොදා ගෙන water bag එකේ කුඩා විවරයක් ඇති කිරීම මෙහි දී සිදු කරනව. ඉන් පසු ගර්භ තරලය පිටතට ගලා ඒමක් සිදු වෙන අතර ඒ සමග ප්‍රසූත වේදනා ඇති වීම ඉක්මන් වෙනව. බොහෝ විට ඉන් පසු syntocinon  ඖෂධය ලබා දීමත් සිදු කරනව. 4. ගැබ් ගෙල හරහා කුඩා catheter එකක් ඇතුළු කිරීම. ගැබ් ගෙල විවෘත වීම උත්තේජනය කිරීමට මෙම ක්‍රමය භාවිතා කරනව. මෙලෙස ඇතුළු කරන බටය ගර්භාෂය තුල පැය 12ක පමණ කාලයක් තිබෙන විට ගැබ් ගෙල ඉබේම විවෘත වී එය පිටතට පැමිණෙනවා. මෙය තරමක් මවට අපහසු නමුත් ඒ නිසා ප්‍රොස්ටග්ලැන්ඩින් ඖෂධ භාවිතයේ දී මෙන් අතුරු ආබාධ ඇති වෙන්නෙ නැති නිසා මෙය බබාට වඩාත් හිතකරයි මෙම ක්‍රම භාවිතා කර ප්‍රසූතිය ඉක්මන් කිරීම සෑම මවකට අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් වෛද්‍ය වරු මෙවැනි ක්‍රමයක් අවශ්‍ය යැයි නිර්දේශ කරන විශේෂ අවස්තා තිබෙනව. උදා නියමිත කාල සීමාව පසු වන තෙක් ප්‍රසූතිය සිදු නොවීම. මවු කුස තුල දරුවා නියමිත ප්‍රමාණයට වර්ධනය සහ විකසනය වී අවසන් වූ පසු දරු ගැබ මවු කුස තුල රඳවා තබා ගැනීම තරමක් අවදානම් විය හැකියි. එයට හේතු වෙන්නේ මව් කුස තුල සිටින දරුවන්ගෙන් සුළු ප්‍රතිශතයක් කිසිම හේතුවක් නොමැතිවත් මිය යන්න පුළුවන් නිසා. මෙවැනි තත්වයන් වළක්වා ගන්න කලින් ප්‍රසූත වේදනා ඇති කිරීම යොදා ගත හැකියි. මවට කිසියම් රෝග තත්වයක් පැවතීම අධික රුධිර පීඩනය, දියවැඩියාව, අක්මාවේ ආබාධ වැනි රෝග තත්වයන් මවට තිබෙන විට ඊට ප්‍රතිකාරයක් ලෙස දරුවා කලින් බිහි කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල දීත් ඉහත ක්‍රම දරුවා බිහි කිරීම ඉක්මන් කරන්න යොදා ගන්නවා. දරුවාට කිසියම් අවදානම් තත්වයක් පැවතීම. දරුවා මව් කුස තුල තවදුරටත් තබා ගැනීම අවදානම් යැයි වෛද්‍ය වරු නිර්දේශ කරන අවස්තා වලදී කලින් ප්‍රසූත වේදනා ඇති කිරීම අවශ්‍ය වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තාවයන් සහ මල දරු උපත් වැනි තත්වයන් වල දීත් මෙම කලින් ප්‍රසූතිය සිදු කිරීම අවශ්‍ය වෙනව. ප්‍රසූත වේදනා ඇතිවීම සහ ගැබ් ගෙල විවෘත කිරීම උත්තේජනය කිරීම සඳහා මෙම ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම බහුලව භාවිතා කරනව. ඒ නිසා අවශ්‍ය අවස්ථාවක සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙන නමුත් ඒ නිසා අතුරු ආබාධ ඇති වෙන්නත් ඉඩ තිබෙනව. ප්‍රසූත වේදනා ඇති කිරීමට දෙන ඖෂධ නිසා සමහර විට ගර්භාෂය අවශ්‍ය ප්‍රමාණයට වඩා සංකෝචනය වීමෙන් දරුවාට රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයන් කලින් හඳුනා ගැනීමට දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණයට ලක් කරන අතර එවැනි අවදානමක් ඇති අවස්තාවල සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීමට සිදු වෙනව.    ..
තයිරොයිඩ් හෝමෝන ගර්භණී මවකට බලපාන හැටි Thyroid disease in pregnancy
අපේ ගෙල ඉදිරිපස ඇති කඩා තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝන සිරුරේ ක්‍රියාකාරිත්වයන් විශාල ප්‍රමාණයකට දායක වෙන අතර තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු වීම වගේම වැඩි වීමත් ශරීරයට හිතකර නැහැ. ඉන් ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් බලපෑම් ඇතිවෙන නිසා ගර්භණී කාලයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනව. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම නිසා ඇතිවෙන හයිපොතයිරෝයිඩිසම් (Hypothyroidism) නම් රෝග තත්වය ඉතාමත් සුලබයි. මේ සඳහා ප්‍රතිකාර ලෙස තයිරොක්සින් නම් ඖෂධය භාවිතා කරනවා. මෙම තත්වය පවතින කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙන නිසා ගැබ් ගැනීමට පෙර සිටම නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගත්. මව් කුස තුල වැඩෙන කලලයට සති 12 ක් පමණ වෙන තෙක් තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාත්මක නොවන නිසා දරුවාට තනිවම තයිරොයිඩ් හෝමෝන නිපදවීමට හැකියාව නැහැ. එබැවින් මවගේ රුධිරයෙන් ලබා ගන්නා තයිරොයිඩ් හෝමෝන මත තමයි දරු ගැබේ ක්‍රියාකාරිත්වය රඳා පවතින්නෙ. තයිරොක්සින් හෝමෝනය දරුවාගේ මොලය සහ බුද්ධිය වර්ධනය සඳහා ඉතා වැදගත් හෝමෝනයක් නිසා මේ කාල සීමාව තුල මවගේ රුධිරයේ තයිරොක්සින් හෝමෝන මට්ටම නිසි ප්‍රමාණයට පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ගැබිනි මවක් මුලින් ම සිදු කරන රුධිර පරීක්ෂණ සමග TSH නම් පරීක්ෂණය කිරීමෙන් රුධිරයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු හෝ වැඩි වීම ඇති දැයි හඳුනා ගන්න පුළුවන්. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සුදුසු පරිදි ඖෂධ ලබා ගෙන තයිරොයිඩ් හෝමෝන වෙනස් වීම නිසා දරු ගැබට ඇතිවිය හැකි හානි අවම කර ගන්න හැකියාව තිබෙනව. Hypothyroid රෝග තත්වය ඇති කාන්තාවන් ගැබ් ගත් වහාම TSH පරීක්ෂණය සිදු කර සුදුසු පරිදි ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම අවශ්‍ය වෙනව. නැවතත් වරින් වර මෙම පරීක්ෂණය සිදු කර හෝමෝන මට්ටම නිසා ප්‍රමාණයට පාලනය කර තබා ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිතා කිරීම සුදුසුයි. තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩි වීම තවත් රෝග තත්වයක්. මෙය හයිපතයිරෝඩිසම් (hyperthyroidism) ලෙස හඳුන්වනව. මේ තත්වය සඳහා ගන්නා සමහර ඖෂධ ගර්භණී කාලයේ දී එතරම් සුදුසු නැති නිසා ගැබ ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුව ඖෂධ නිසි ලෙස නිර්දේශ කරවා ගැනීම අවශ්‍ය වෙනවා. Hyperthyroidism රෝග තත්වය සඳහා විවිධ හේතු බලපාන අතර එම හේතු අනුව ප්‍රතිකාර කරන ආකාරය සහ ඉන් ඇතිවෙන බලපෑම් වෙනස් වෙනව. මවගේ තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරන ප්‍රතිදේහ ඇතිවීම නිසා මේ තත්වය කලාතුරකින් ඇති වෙන අතර එවැනි මවුවරුන්ගේ වැදෑමහ හරහා මෙම ප්‍රතිදේහ දරුවාට ගමන් කර දරු ගැබට බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ හේතු නිසා මෙම රෝග තත්වය ඇති කාන්තාවන් මුල සිටම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා  ගැනීම වැදගත් වෙනව...
ගර්භණී සමයේ උදරයේ ඉරිතැලීම් ඇති වෙලාද? Stretch marks in Pregnancy
ගර්භණී කාලයේ දී උදරයේ ඇති වෙන stretch marks සමහර විට බොහෝ කාලයක් නො මැකී තිබෙන්න පුළුවන් නිසා මේවා කාන්තාවකගේ රූපලාවණ්‍යයට ගැට‍ළුවක් විය හැකියි. මෙම කැලැල් ඇතිවීම ගැන සහ ඊට විසඳුම් ගැනයි මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ. ගර්භණී කාලයේ බබා ටිකෙන් ටික වර්ධනය වීමත් සමග ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වන විට උදර බිත්තිය ඇදීමට ලක් වෙනවා. මේ නිසා සම මතුපිටට පහලින් ඇති ස්තරයේ ඉරි තැලීමක් මෙසේ stretch mark ලෙස පිටතට පෙනෙනවා. මේ අවස්තාවේදී සමේ කැසීමක් ඇතිවෙන්නත් පුළුවන්. මෙලෙස ඇති වෙන කැලැල් සමහර විට අවපැහැ ගැන්වීමත් දක්නට ලැබෙනව. මෙම කැලැල් වෛද්‍ය විද්‍යාවේ Striae gravidarum ලෙස හඳුන්වන අතර ඒවා ඇතිවීමට අවදානම් ලක්ෂණ ලෙස පහත හේතු හඳුනා ගෙන තිබෙනවා.   මවගේ වයස අඩු වීම තරබාරු බව ගර්භණී සමයේ අධික ලෙස බර වැඩි වීම නිවුන් දරුවන් හෝ බබා ගේ බර වැඩි වීම ගර්භ තරලය වැඩි වීම මෙම හේතු නොමැති වත්, ඕනෑම කාන්තාවකට ගර්භණී කාලයේ stretch marks ඇති වෙන්න පුළුවන්. සමේ ඇතිවෙන  මෙවැනි කැලැල් කාලයත් සමග සෙමින් මැකී යන නමුත් බොහෝ කාන්තාවන් මේ ගැන පසු තැවිලි වෙන නිසා ඒවා ඇති වීමට පෙර වළක්වා ගන්නා ආකාරය ගැන වෛද්‍ය වරුන් ගෙන් විමසනවා. වෛද්‍ය පර්යේෂණ මගින් ස්ථිරව ම stretch marks වළක්වන බවට තහවුරු කර ඇති ඖෂධ තවමත් නොමැති වුවත් මේ සඳහා භාවිතා කල හැකි ආලේපන වර්ග රැසක් දැනට වෙළඳපොළේ තිබෙනවා. Bio oil නම් ආලේපනය සහ cocoa butter අඩංගු ක්‍රීම් වර්ග විවිධ වෙළඳ නාම වලින් ඖෂධ හල් වලින් මිල දී ගැනීමට පුළුවන්. ඔබට සුදුසු ආලේපනයක් ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් විමසා දැන ගත හැකියි. ගර්භයට සති 20ක් පමණ වන කාලයේ සිට මෙම ආලේපනයක් දිනපතා උදරයේ ආලේප කර සෙමින් සම්බාහනය කිරීම මගින් සම මතුපිට රුධිර වහනය සහ පටක වල ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා stretch marks ඇතිවීම බොහෝ දුරට වළක්වා ගන්න හැකියාව තිබෙනව. Stretch marks ඇති වීමෙන් පසු ඒවා මැකී යාම සඳහාත් මෙම ආලේපන වර්ග භාවිතා කල හැකියි. ඊට අමතරව සමබල ආහාර වේලක් ලබා ගැනීම, දිනපතා ව්‍යායාම වල යෙදීම, සහ ගැබ් ගැනීමට පෙර සිරුරේ බර නිසි මට්ටමට පවත්වා ගැනීමත් stretch marks ඇතිවීම අවම කර ගන්න උපකාරී වෙනවා.      ..
ගර්භණී මවකට වමනය සහ ඕක්කාරය ඇතිවීම
ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ලක්ෂණයක් ලෙස පවතින මතය තරමක් දුරට සත්‍යයක්. මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක් අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන තිබෙනව. ඕක්කාරය සහ වමනය ඇතිවෙන ආකාරය හරියටම පැහැදිලි නැහැ. නමුත් වැදෑමහ මගින් නිපදවන Human Chorionic Gonadotropin (hCG) නම් හෝමෝනය මෙයට හේතුව ලෙස සලකනව. මෙම හෝමෝන මට්ටම වැඩි වෙන නිවුන් දරුවන්, Molar pregnancy වැනි තත්වයන් අති විට වමනය සහ ඕක්කාරය සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩියෙන් දක්නට ලැබෙනව. ගර්භණී මවකට මුල්වරට සති 8දී පමණ වමනය ඕක්කාරය ඇති වෙන්න පුළුවන්.  සාමාන්‍යයෙන් දරු ගැබට සති 16 -18 පමණ කාලය වන විට මෙම රෝග ලක්ෂණ නැතිව යනව. කෙසේ වෙතත් සති 12කට පසු පලමු වරට මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වීම සාමාන්‍ය නැහැ. එසේ වුවහොත් එය වෙනත් රෝගයක ලක්ෂණයක් දැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. මේ තත්වය නිසා බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් වමනය ඉතා දරුණු ලෙස පවතින Hyperemesis Gravidarum නම් රෝග තත්වය නිසි ලෙස පාලනය නොකල හොත් ඉන් දරු ගැබට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා වමනය නතර නොවන අවස්තා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙවැනි අවස්තාවක මවට සාමාන්‍ය ආහාර ගැනීම අපහසු වෙන අතර අධික වමනය සමග පහත රෝග ලක්ෂණ ඇතිවේනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. මුත්‍රා වල වර්ණය තද පැහැ වීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩු වීම. වමනය සමග ලේ පිටවීම උදරයේ අධික වේදනාවක් ඇති වීම. උණ. නැවත නැවත නතර නොවී වමනය කිරීම. ක්ලාන්ත ගතිය. ගර්භණී කාලයේ ඕක්කාරය දැනීම සහ ඉඳ හිට වමනය අති වීම ඉතාමත් බහුල තත්වයක්. ඒ සඳහා කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන පරිදි රෝග ලක්ෂණ පවතී නම් මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දරු ගැබට කිසිම හානියක් නොවන පරිදි මෙම රෝග ලක්ෂණ වලින් සහනය ලබන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ප්‍රතිකාර වලට අමතරව මෙම රෝග ලක්ෂණ ඇති වීමට හේතු වෙන සාධක (උදා. සමහර ආහාර වල සුවඳ) වලින් ඈත්ව සිටීම, මානසික ආතතියෙන් මිදීම වැනි දේ  රෝග ලක්ෂණ පාලනය සඳහා වැදගත් වෙනව. මෙම කාලය තුල ඔබට සාමාන්‍ය ලෙස ආහාර ගැනීම අපහසු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඉන් ඔබට හෝ දරුවාට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබට පුළුවන් පරිදි සැහැල්ලු ආහාරයක් ගෙන රෝග ලක්ෂණ පහව යන තෙක් සිටීම සුදුසුයි...