පුංචි පැටියෙක් කුසට වැඩි බව දැනගත් පසු මවටත් පියාටත් ඇතිවන සතුට කොයි තරම්දැයි වචනයෙන් කිව නොහැක.. ඒත්... අවාසනාවකට පැටියා ඉපදෙන්න කලින් ගබ්සාවක් වීමෙන් අහිමි වීම ඉතා වේදනාකාරී අත්දැකීමක්. මීට පෙර ගබ්සාව පිළිබඳව ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කළෙමු. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නට සූදානම් වන්නේ පළමු ත්‍රෛයිමාසිකයෙන් පසු සිදු වන ගබ්සාවීම පිළිබඳවයි.
ගර්භණී සමය අපි ත්‍රෛයිමාසික තුනකට බෙදා දැක්විය හැකිය. ඒ මෙසේය
සාමාන්‍යයෙන් පළමු ත්‍රෛයිමාසිකය තුල ගබ්සාවක් සිදුවීමේ වැඩි ඉඩ කඩක් හා අවදානමක් ඇත. එහෙත් දෙවන හා තෙවන ත්‍රෛයිමාසිකයන් වලදී ගබ්සාවීමේ අවදානම අවම වන අතර එසේ සිදුවන්නේද කලාතුරකින්.
පළමු ත්‍රෛයිමාසිකයෙන් පසු ගබ්සාවක් සිදුවන්නේ ඇයි?
මේ සඳහා කාරණා කිහිපයක්ම බලපෑ හැකියි.
1 - දරු ගැබ යම් අසාමාන්‍යතාවක් සමග වැඩෙන අවස්ථාවක.
කළලයේ ජාන එසේත් නැත්නම් දේහ ලක්ෂණ පාරම්පරිකව ගෙන යන වර්ණ දේහ වල ඇති වන යම් යම් විකෘතිතාවයන් හේතු කොටගෙන ගබ්සාවක් සිදුවිය හැකිය. ඒ අනුව මවගේ කුසෙහි උපතින්ම දරුවකු ජානමය ගැටලූ සහිතව වර්ධනය වන විට ඇති වන ශාරීරික අඩු පාඩු හේතු කොට ගෙන තව දුරටත් දරුවාට ජීවත්වීම අපහසු බැවින් දරුවා කුස තුලදීම මියයන්නට හෝ ඉපදී දින කිහිපයකට පසුව මිය යාහැකිය. මෙය ස්වභාවිකවම සිදු වන ක්‍රියාදාමයකි.
2 - දරු ගැබෙහි ඇති වන යම් රෝග තත්ත්වයන් නිසා
දරුවාගේ හෘදය වස්තුව, මොළය, සුසුම්නාව හා ස්නායු පද්ධතිය නිසියාකාරව වර්ධනය නොවීම නිසා ගබ්සා විය හැකිය. සමහර විට මෙම තත්ත්වය ෆෝලික් ඇසිඞ් හා විටමින් නිසියාකාරව නොගැනීම නිසා සිදු විය හැකිය.
3 - මවගේ ගර්භාෂයේ යම් අසාමාන්‍යතාවයක් නිසා
සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇත්තේ එක් ගර්භාෂයක් පමණි. එහෙත් ඇතැම් අවස්ථාවක මවගේ ගර්භාෂය දෙකට බෙදීමකට ලක්ව හෝ වෙනයම් අසාමන්‍ය තත්ත්වයක් සහිතව පිහිටා ඇති අවස්ථාවක දරුවාගේ වර්ධනය එය බාධාවක් වන නිසා දරුවා නීරෝගීව වැඞීම අඩාල වී ගබ්සා විය හැකිය.
4 - ගර්භාෂයේ ඇති වන ෆයිබ්‍රොයිඞ් ගෙඩි නිසා
ෆයිබ්‍රොයිඞ් ගෙඩි තිබෙන කාන්තාවක් ගැබ් ගත් පසු අසාමාන්‍ය ලෙස ෆයිබ්‍රෙයිඞ් ගෙඩි ගර්භාෂය තුලට නෙරා ඒමෙන් දරුවාගේ වර්ධනයට බාධාවක් වී දරුවාගේ වැඩීම අඩාල වී ගබ්සා විය හැකිය. නමුත් කළලයට බාධාවක් නොවන ලෙස ෆයිබ්‍රොයිඞ් ගෙඩි ඇත්නම් ගබ්සා වීමක් සිදුනොවේ.
5 - මවගේ ගැබ් ගෙලෙහි ඇති අසාමාන්‍යතාවයක් නිසා.
ගැබ් ගෙල යනු ගර්භාෂය යෝනීමාර්ගයට විවර වන ස්ථානයයි. දරු ගැබ වර්ධනය වන විට දරා ගත හැකිවන්නේ ගැබ් ගෙල ශක්තිමත්ව තිබුණහොත්ය. යම් හෙයකින් ගැබ් ගෙල ඉතා කුඩා හෝ දුර්වල නම් කළලය පිටතට පැමිණීම නිසා ගබ්සාවීමේ අවදානමක් ඇත.
6 - මව රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගයකින් පෙලීම.
රුධිරය කැටි ගැසීම නිසා ගර්භාෂය හා වැදෑමහ අතර රුධිරය කැටි ගැසීම නිසා කළලය පෝෂණයට බාධාවක් වේ. කළලයේ වර්ධනයට බාධාවක් වන හෙයින් ගබ්සාවක් සිදු විය හැකිය.
7 - කළලවාරික තරලයට විෂ බීජයක් ඇතුල්වීම නිසා
සාමාන්‍ය ලෙස පවසන පරිදි වෝටර් බෑගය බීදී යාමෙන් ගර්භාෂය තුලට විෂ බීජ ඇතුල්වීමේ අවදානමක් ඇත යම් හෙයකි වෝටර් බෑගය බිඳී විෂබීජ ඇතුල්වීම නිසා ගබ්සාවීමට අවදානමක් ඇත.
පළමු ත්‍රෛයිමාසිකයන්ට පසුව ඇති වන ගබ්සාවක පූර්ව ලක්ෂණ
සාමාන්‍යයෙන් නීරෝගී මවකට සති 13ත් 28ත් අතර උදරයේ වේදනාවක් ඇති නොවේ. එනිසා අසාමාන්‍ය ලෙස උදරයේ වේදනාවත් සමග යෝනී මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු වුවහොත් වහාම ඔබේ ප‍්‍රසව හා නාරි වෛද්‍යවරයා වෙත දන්වා සිටිය යුතුය.
විෂබීජයක් ආසාදනය වූ අවස්ථාවක නම් මවට තද උණ ඇති වීම, යෝනී මාර්ගයෙන් ශ‍්‍රාවයක් පිටවීම වැනි රෝග ලක්ෂණ ඇතිවේ.
මෙවැනි ගබ්සා වීම් වලක්වා ගත හැකිද?
දරු ගැබ යම් අසාමාන්‍යතාවක් සමග වැඩෙන අවස්ථාවක එවැනි ගබ්සාවක් වලක්වාලීමට හැකියාවක් නැත. එය කලින් දැක්වූවා සේම ස්වභාව ධර්මයේ නියමට අනුව සිදුවන්නකි. කෙසේ වෙතත් ඇතැම් දරුවන් බොහෝ අඩු පාඩු සහිතව උපත ලබා කෙටි කලක් හෝ දීර්ඝ කාලයක් ජීවත් වන අවස්ථා ද ඇත.
දරු ගැබෙහි අසාමාන්‍යතායක් නොමැති අවස්ථාවක ගබ්සා වීම වලක්විය හැකි ප්‍රතිකාර ක්‍රම තිබේ.
ගර්භාෂය තුල ඇති කළලය පිටතට ඒම වලක්වා ලමින් අගුලූ දැමූ දොරටුවක් සේ කියා කරන්නේ ගැබ් ගෙලය. ප‍්‍රසූතිය සිදු වන විට ගැබ් ගෙල අගුලූ හැර සෙමෙන් සෙමෙන් විස්තාරණය වේ. ගැබ්ගෙල දුර්වලතාවයක් ඇති බව කල් ඇතිව දැන ගැනීමෙන් ගැබ් ගෙලට මැහුම් දැමීමෙන් අනවශ්‍ය ලෙස ගැබ් ගෙල විවිර වීම වලක්වා ගබ්සා වීම වැලැක්වීමට පුළුවන්. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නෙ යෝනි මාර්ගය හරහායි. නමුත් එවැනි මැහුම් අසාර්ථක වෙන අවස්තාවලදී ලැපරොස්කොපි ක්‍රමයට ගැබ්ගෙලේ ඉහල කොටසට මැහුමක් දැමීමට දැන් නවීන තාක්ෂණ පහසුකම් ඇත.
මව රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගයකින් පෙලෙන විට ඒ සඳහා ඇස්ප‍්‍රීන් වැනි ඖෂධ සහ වෙනත් ප‍්‍රතිකාර ක‍්‍රම මගින් ගබ්සා වීමේ අවදානම අවම කර ගත හැකිය.
කළලවාරික තරලයට විෂ බීජයක් ඇතුල්වී ඇති විට මව රෝහල් ගත කොට යම් යම් පරික්ෂණ වලට භාජනය කරමින් විෂබීජ ආසාදන වලක්වා ගැනීමට ප්‍රතිජීවක් පතිජීවක ඖෂධ ලබා දෙයි. එසේම දරුවාගේ පෙනහඵ වර්ධනය කිරීමට ප‍්‍රතිකාර ලබා දීමත් සිදු කරයි. හැකිතාක් මවගේ කුස තුල දරුවාගේ වර්ධනය ඇති කිරීමට උත්සහ දරන නමුත් මවගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වී ඇති අවස්ථාවකදී දරුවා කොපමණ වර්ධනය වී තිබේ දැයි පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වා කලලය මවගෙන් ඉවත් කරන අවස්ථාද ඇත. මෙය Chorioamnionitis ලෙස හැඳින්වෙන අතර මෙවන් අවස්ථා ඇති වන්නේ ඉතාම කලාතුරකිනි.
සටහන දිශාන්ති වෙදගේ
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON