ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල යුතුද? දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? මෙම ලිපියෙන් ඔබට කරුණු ගෙන එන්නෙ ගර්භාෂය තුල වැඩෙන දරුවෙකුගේ වර්ධනය අඩාල වෙන අවස්ථා ගැන.
දරුවෙකුගේ වර්ධනය බලන්න ක්‍රම කිහිපයක් තිබෙනව. බොහෝ කාලයක් තිස්සේ මෙය සිදු කලේ මවගේ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින්. ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා ටේප් පටියක් ආධාරයෙන් මවු කුසේ වර්ධනය ප්‍රමාණවත් දැයි මැන බලනව. මෙම දළ මිනුම් ක්‍රමයක්. මෙමගින් නිවැරදිව ප්‍රමාණයෙන් කුඩා දරුවන් හඳුනා ගන්න අපහසුයි. නමුත් ස්කෑන් පරීක්ෂණ සඳහා පහසුකම් නොමැති අවස්ථාවක මෙම ක්‍රමය විකල්පයක් ලෙස භාවිතා කරනව.
දැන් ඇති ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් ඉතාමත් ආසන්න මට්ටමකට වැඩෙන දරුවාගේ බර අනුමාන කල හැකියි. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවාදැයි විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයා ගත හැකියි. මෙලෙස දරුවාගේ වර්ධනය ප්‍රමානවත්දැයි කියා ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගැනීමට පහසුකම් දැන් සෑම මූලික රෝහලකම පාහේ තිබෙනව.
ස්කෑන් පරීක්ෂණයේ දී දරුවා ගර්භයේ වයසට වඩා කුඩා යැයි සොයා ගත හොත් එයට හේතුව කුමක් විය හැකිද? මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් පවතිනව.
සෑම සායන වාරයක දීම මවගේ උදරය පරීක්ෂා කර බලනව. එවැනි අවස්ථාවක දරුවා කුඩා යැයි හැඟී ගිය හොත් එවැනි මවුවරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබනව. එහි දී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි සොය බැලිය හැකියි. ඉන් පසුව සුදුසු පරිදි විශේෂඥ වෛද්‍ය සායනයේ වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරනව. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයක් මගින් මැන බැලීම සිදු කරනව. එහි දී අවදානම් තත්වයන් හඳුනා ගතහොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරනව. නැතිනම් විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය නිසි ප්‍රමාණයකට පැමිණෙන තෙක් සිටිය හැකියි. සමහර දරුවන් සඳහා වරින් වර Doppler සහ CTG පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි.
ඉතාමත් කුඩා අවදානම් සහිත දරුවන් බිහි කිරීමට සිසේරියන් සැත්කමක් අවශ්‍ය නමුත් බොහෝ කුඩා දරුවන්ට සාමාන්‍ය ආකාරයට බිහි වීමේ හැකියාව තිබෙනව. මව් කුස තුල පෝෂණය අඩු කම නිසා කුඩා වන දරුවන් ඉපදීමෙන් පසුව නියමිත බර ලඟා කර ගන්නව. එම දරුවන්ට නිසි ලෙස මවු කිරි දීම වැදගත්.
උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපය තුල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි නිසා ඔවුන් හොඳින් රැක බලා ගත යුතුයි. වැඩිහිටි කාලයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි සංකූලතා ඇති වීමේ හැකියාව මෙම දරුවන්ට සාමාන්‍ය බර ඇති දරුවන්ට වඩා වැඩියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON