ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක්. බොහෝවිට මීට හේතු වෙන්නෙ ගර්භණී සමයේ ස්වභාවිකව සිදුවන වෙනස්කම් වුවත් කලාතුරකින් මෙය දරුගැබට පවා හානිකර තත්වයන් නිසා විය හැකියි. 

ගර්භණී කාලයේ ගර්භාෂයට වගේම ගැබ්ගෙල හා යෝනි මාර්ගය ආශ්‍රිතව රුධිර සැපයුම වැඩි වෙනව. ඊට අමතරව සිරුරේ හෝමෝන වෙනස්කම් රැසක් සිදුවෙනව. මෙහි බලපෑමක් ලෙස යෝනි මාර්ගයෙන් ස්වභාවිකව පිටවෙන ස්‍රාව ප්‍රමාණය ගර්භණී කාලයේ වැඩි වීමක් සිදුවෙනව. මෙය සාමාන්‍ය තත්වයක්. මෙම ස්‍රාවය දිගටම පැවතීම නිසා යෝනි මාර්ගයට විෂබීජ ආසාදන තත්වයන් ඇතිවීමේ අවදානම අඩු වෙනව. පිටවෙන ස්‍රාවය අවර්ණ සහ දුගඳක් නොමැති ස්‍රාවයක් නම් එය සාමාන්‍ය ලෙස සලකන අතර කිසි විටක එය අඩු කිරීමට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. 

නමුත් සමහර විට යෝනි මාර්ගයේ විෂබීජ ආසාදන තත්වයක් නිසා පිටවෙන ස්‍රාවය වෙනස් වෙන්න පුළුවන්. යෝනි මාර්ගයේ කැසීමක් සමග සුදු පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවේ නම් එයට හේතුව candida albicans දිලීර ආසාදන තත්වය විය හැකියි‍‍. මෙයට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගයෙන් ඇතුළු කරන දිලීර නාශක ඖෂධ වෛද්‍යවරුන් නියම කරනව. බීමට ගන්නා බොහොමයක දිලීර නාශක ඖෂධ ගර්භණී මවුවරුන්ට සුදුසු නැති නිසා යෝනි මාර්ගය හරහා ලබා දෙන ඖෂධ අසාර්ථක වන විට පමණක් විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත එම ඖෂධ නියම කිරීම සිදු කරනව. 

පිටවෙන ස්‍රාවය අවපැහැති වීම සහ ඒ සමග දුගඳක් ඇතිවීම බැක්ටීරියා ආසාදන තත්වයක රෝග ලක්ෂණයක් විය හැකියි. එවිට වෛද්‍ය උපදෙස් මත සුදුසු ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගත යුතුයි. 

දරුගැබ ආරක්ෂා කරන වෝටර් බෑග් එක කැඩීම සමහර ගර්භණී මවුවරුන්ට ඇතිවෙන සංකූලතාවයක්. එවැනි අවස්තාවක වෝටර් බෑග් එක තුල ඇති භ්‍රෑණ තරලය යෝනි මාර්ගය හරහා පිටතට පැමිනෙන්න පුළුවන්. මෙය අවදානම් තත්වයක්. ඒ සමග යෝනි මාර්ගය තුල ඇති විෂබීජ ගර්භාෂයට ඇතුළුවීමට හැකියාව තිබෙනව. ඊට අමතරව ගැබ් ගෙල විවෘත වුවහොත් පෙකණිවැල ඒ තුලන් පිටතට පැමිණීමට හෝ කලින් දරුවා බිහිවීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මෙවැනි තත්වයක් ඇතිවූ වහාම ගර්භණී මවක් ඉක්මණින් රෝහලකට පැමිණිය යුතුයි. එහිදී මවට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා අවම කිරීමට සුදුසු ප්‍රතිකාර සිදු කරනව. 

දරු ප්‍රසූතියට ආසන්න වෙනව විට ගැබ් ගෙලෙන් පිටවෙන ශ්ලේෂ්මල ස්‍රාව ප්‍රමාණය වැඩි වෙනව. ගැබ් ගෙල විවෘත වීම ආරම්භ වෙන විට මෙම ස්‍රාවය සමග රුධිරය සුළු ප්‍රමාණයක් පිටවෙන්න පුළුවන්. මෙය දරු ප්‍රසූතිය ආසන්න වීමේ ලක්ෂණයක්. ඒ නිසා මෙම ලක්ෂණ ඇති වෙන විට රෝහල් ගතවීමට සූදානම් විය යුතුයි. 
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON