ගර්භණී සමයේ පැරසිටමෝල් පෙත්තක්වත් ගැනීම නුසුදුසුද?
සෑම ගැබිනි මවක්ම දැන ගත යුතු කරුණු
ගර්භණී සමයේ උණ, ඇඟපත රුදාව වැනි රෝග තත්වන්ගෙන් පෙලෙන මවකට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම දරු ගැබට හානිකරද යන වග. මේ ගැන බොහෝ දෙනෙකු අපෙන් විමසන නිසා ඊට විද්‍යාත්මක පිළිතුරක් ලබා දීමට මෙම ලිපියෙන් බලා පොරොත්තු වෙනව. පැරසිටමෝල් කියන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමය තුල වසර 70කට වඩා කාලයක් භාවිතා කර ඇති ඖෂධයක්. මෙම ඖෂධය උණ සහ වේදනාව සමනය කිරීම සඳහා නිතරම භාවිතා කරනව. දශක ගණනාවක් තිස්සේ ලොව පුරා මිලියන ගනණක් මව් වරුන් සහ දරුවන් ලබා ගෙන තිබෙන අතර එය දරුගැබට හෝ දරුවාට හානියකින් තොරව ලබා ගත හැකි ආරක්ෂිත ඖෂධයක් බව තහවුරු වී තිබෙනව.අද වනවිට තිබෙන ඖෂධ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අනුව ගර්භණී සමයේ නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය ලබා ගැනීම කිසිසේත්ම අහිතකර නැහැ. මෑතකදී සමහර පර්යේෂණ වාර්තා පැරසිටමෝල භාවිතය සහ ඔටිසම් තත්වය අතර සම්බන්ධයක් පිළිබඳ සැක කර ඇති නමුත් එයට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි එම සමීක්ෂණ වලින් ඉදිරිපත් කර නැහැ. පැරසිටමෝල් ඖෂධයට වඩා එය ගැනීමට හේතු වන විෂබීජ ආසාදන සහ අධික උණ තත්වයන් ඔටිසම් රෝගයට හේතු විය හැකි බවට අනුමාන කල හැකියි. ඒ නිසා ලොව පුරා මේ පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ මේ වන විටත් පැරසිටමෝල් ගර්භණී මව් වරුන්ට ලබා ගත හැකි ඉතාමත් ආරක්ෂිත ඖෂධයක් බවයි. ඒ නිසා ඔබට ගර්භණී කාල සීමාව තුල කිසියම් රෝග තත්වයකට පැරසිටමෝල් ලබා ගැනීමට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කල හොත් එය ලබා ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ. දැනට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු ගත හැකි නිගමනයන් පහත පරිදියි. 1. ගර්භණී මවකට ඇතිවන උණ සහ වේදනාවන් සමනය සඳහා පලමු තේරීම ලෙස පැරසිටමෝල් භාවිතා කල හැකියි.2. පැරිසිටමෝල් භාවිතා කරන විට නිර්දේශිත අවම මාත්‍රාවෙන් භාවිතා කරන්න.3. පැරසිටමෝල් සමග වෙනත් ඖෂධ මිශ්‍ර කර ඇති සංයොජන භාවිතය වෛද්‍ය නිර්දේශ මත පමණක් සිදු කරන්න.4. නිර්දේශිත උපරිම මාත්‍රාවට වඩා පැරසිටමෝල් ලබා ගැනීම සුදුසු නැහැ. පැරසිටමෝල් ගර්භණී ඔබට කිසිදු පැකිලීමකින් තොරව ලබා ගත හැකි ඖෂධයක් බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන නිසා, මේ පිළිබඳ පැතිරෙන කට කතා සහ මිත්‍යා විශ්වාස වලට බිය නොවී ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන මාත්‍රාවෙන් ඖෂධය ලබා ගන්න. මෙවැනි මිත්‍යා විශ්වාසයන් නිසා ගර්භණී ඔබ උණ සහ වේදනාවන් ගෙන් පීඩාවට පත්වීමට අවශ්‍ය නැහැ. සුදුසු පරිදි ඖෂධ ලබා ගැනීම මගින්, අධික උණ වැනි තත්වයන් නිසා දරු ගැබට විය හැකි හානි වලක්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනව.  මේ පිළිබඳව ඔබට තව දුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. ..
ඔබේ දරු ප්‍රසූතිය සිහිනෙන් දැක්කා වගේ ලස්සන කරගන්න - උපත් සැලැස්මක් හදමු!
සෑම ගැබිනි මවක්ම තමන්ගේ දරුවා ආරක්ෂිතව බිහිකරන ආකාරය ගැන ඉතාමත්ම පරීක්ෂාකාරීව සැලසුම් කරනව. නමුත් ඒ පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කරන ආකාරය ගැනයි මේ ලිපියෙන් පැහැදිලි කරන්නෙ. Birth plan කියල කියන්නෙ ඔබේ දරු ප්‍රසූතිය සිදුවන ආකාරය සහ ඒ සම්බන්ධ ඔබේ මනාප ඔබේ වෛද්‍ය වරයා, පවුල් සෞඛ්‍ය නිලධාරිය සහ ඔබේ පවුලේ සාමාජිකයන් එක්ව සකස් කරන පුංචි සටහනක්. දියුණු රටවල සෑම මවක්ම මෙලෙස Birth plan එකක් සකස් කර තම දරු ප්‍රසූතිය එයට අනුව සිදුකරන්න සැලසුම් කරන නමුත් ලංකාවේ බොහෝ ගැබිණි මව් වරු මේ පිළිබඳව එතරම් දැනුවත් නැහැ. දරු ප්‍රසූතිය සැලසුම කරද්දි මුලින්ම ඔබේ දරු ප්‍රසූතියට යාමට ඔබ කැමති රෝහල සහ වෛද්‍ය වරයා තෝරා ගැනීම ඉතාමත් වැදගත්. දරු ප්‍රසූතියට පෙර ඔබ සිටින කාමරයේ පහසුකම්, ප්‍රසූත වේදනාව අඩුකර ගැනීමට ඔබට ලැබෙන ප්‍රතිකාර ක්‍රම, දරු ප්‍රසූතිය අවස්තාවේදී ඔබ ලඟින් සිටින්නේ කවුරුන්ද, දරු ප්‍රසූතිය සිදු කිරීමට ඔබට සහාය වන්නේ කවුරුන්ද වැනි කරුණු ඔබ තෝරා ගන්නා රෝහල සහ වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. ඔබේ සැලැස්මට පහත කරුණු අඩංගු කරන ගන්න පුළුවන් 1. දරු ප්‍රසූතිය සිදු කරන රෝහල. මේ සඳහා පහසුකම් සහිත රෝහලක් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. හදිසි අවස්තාවකදී මවට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා ආරක්ෂිතව සමනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් තිබෙන රෝහලක් ඔබේ පදිංචි ස්ථානය සහ ඔබේ ආර්තික මට්ටම අනුව තෝරා ගන්න. 2. ඔබ සාමාන්‍ය දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වෙනවාද, නැත්නම් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වේවිදයන වග කලින් ඔබේ වෛද්‍ය වරයා සමග සාකචඡා කර තීරණය කර ගන්න. 3. දරු ප්‍රසූතිය සඳහා ඔබට සහය වන්නේ කවුරුන්ද යන වග. ඔබ පුද්ගලික රෝහලක දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන්නේ නම්, ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා දරු ප්‍රසූතිය අවස්තාවේ ඔබට සහය වීමට සිටීද යන්න කලින් ඔබේ වෛද්‍ය වරයා ගෙන් අසා දැන ගන්න. සාමාන්‍ය යෙන් රජයේ රෝගලක නම් දරු ප්‍රසූතියට මවට සහාය වන්නේ හෙදි හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක්. 4. ප්‍රසූතිය අවස්තාවේ ඔබේ සහකරුට හෝ පවුලේ කෙනෙකුට ඔබ සමග සිටිය හැකිදැයි කලින් අසා දැන ගෙන, ඔබ සමග සිටින කෙනා කලින් සැලසුම් කර ගන්න. 5. ප්‍රසූත වේදනාව සමනය කරන්න ඔබ කැමති ක්‍රමය. ඔබ තෝරා ගන්නා රෝහල අනුව ඔබේ ප්‍රසූත වේදනාව සමනය කිරීමට, ඔබට විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන්. ඔබේ රෝහලේ තිබෙන ක්‍රම වලින් වෛද්‍ය උපදෙස් අනුව ඔබට සුදුසුම ක්‍රමය කලින් තීරණය කර තබා ගන්න. 6. දරු ප්‍රසූතිය අවස්තාවේ විශේෂිත කරුණු පිළිබඳව සාමාන්‍යයෙන් සිදු කරන ආකාරය වඩා ඔබේ මනාපයන් වෙනස් වෙන්නේ නම් ඒ පිළිබඳ කලින් සාකච්ඡා කර ඔබේ සැලසුමට ඇතුලත් කරන්න. දරුවා උපන් ගමන්ම මවු කිරි දීම, සමෙන්-සමට ස්පර්ශය, දරු ප්‍රසූතිය පහසු කිරීමට එපිසියෝටොමි කැපුමක් යෙදීම, පෙකණි වැල කැපීම ප්‍රමාද කිරීම වැනි කරුණ මෙලෙස ඔබේ සැලසුමට එක් කරගන්න පුළුවන්. 7. දරු ප්‍රසූතියෙන් පසුව ඔබේ දරුවා පරීක්ෂා කර බලන විශේෂඥ වෛද්‍ය වරයා පුදගලික රෝහලකදී නම් ඔබේ මනාපය අනුව තෝරා ගන්න හැකියාව තිබෙනව. 8. සිසේරියන් සැත්කමක් අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව විශේෂිත විස්තරත් ඔබේ සැලසුමට ඇතුලත් කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම කරන ආකාරයට වඩා වෙනස් යමක් ඔබට අවශ්‍ය නම් ඒ ගැන වෛද්‍ය වරයා ගෙන් අසා තීරණය කරන්න. ඔබේ සැලසුමට අවශය කරුණු පිළිබඳව කලින්ම ඔබත පවුලේ සාමජිකයනුත් සාකච්ඡා කර ඔබේ රෝහල සහ වෛද්‍ය වරයා ඊට එකඟ වන්නේ දැයි සොයා බලන්න. සාමාන්‍යයෙන් උපත් සැලසුම දරු ගැබට සති 36 – 37 අතර කලාය වන විට සූදානම් කර තබා ගැනීම සුදුසුයි. මේ සඳහා ඔබට අවශ්‍ය දැනුම අප වෙබ් අඩවියේ තිබෙන ලිපි කියවීමෙන් ලබා ගන්න. පුළුවන්. ඔබට දැන ගන්න අවශ්‍ය විශේෂිත කරුණක තිබේ නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී සාකච්ඡා කරන්න. මේ සඳහා සුගැබි සායනයට පැමිණෙන ඔබට වැඩි කාලයක් වෙන් කිරීමට අපි සූදානම්. උපත් සැලස්ම කියන්නෙ ස්ථිර සැලසුමක් නොවෙයි. ඔබේ හො දරුවාගේ ආරක්ෂාවට, සමහර විට මෙය හදිසියේ වෙනස් කරන්න සිදු වෙන්න පුළුවන්. ඒත් ඔබේ කැමැත්ත ලිඛිතව ඉදිරිපත් කර ඇති විට හැකි සෑම අවස්තාවකදීම ඊට සහාය දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනව. ..
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.
නාරිවේද සැත්කම් වල විපලවීය වෙනසක් සිදු කරන 3D ලැපරොස්කොපි තාක්ෂණයසෑම ක්ෂේත්‍රයක මෙන්ම වෛද්‍ය විද්‍යාවේදීත් නවීන තාක්ෂණ ක්‍රම යොදා ගැනීම නිසා ඇතිවන විප්ලවීය වෙනස්කම් බොහොමයක් තිබෙනව. ඒ අතරින් කාන්තා රෝග වලට සිදු කරන ගර්භාෂය ඉවත් කිරීම, ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම, ඩිමබ කෝෂ වල ගෙඩි/ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයන් ඉවත් කිරීම මෙන්ම මදසරු බවට සිදු කරන නාරිවේද සැත්කම් සඳහා ඉතාමත් නිවැරදි සහ අති නවීන 3D සහ 4K Laparoscopy තාක්ෂණය යොදා ගැනීම නිසා ඔබට ඇතිවන වාසි පිළිබඳවයි මේ ලිපියෙන් විස්තර ගෙන එන්නෙ. කාන්තා රෝග සැත්කම් වල පරිනාමය සැකෙවින්.කාන්තා රෝග සඳහා සිදු කරන සැත්කම් කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් රෝගියාගේ පහසුව සහ යහපත වෙනුවෙන් වෙනස් කම් වලට භාජනය වී තිබෙනව. මුල් කාලයේ විශාල කැපුමක් මගින් සිදුකල සැත්කම් සිරුරට වන හානිය අවම වන ලෙස ලැපරොස්කොපි තාක්ෂණයෙන් සිදු කිරීමට යොමුවීම මේ අතරින් කැපී පෙනෙන සන්ධිස්ථානයක්. මෙම ක්‍රමය මගින් ඉතාමත් කුඩා කැපුම් මගින් සියුම් ලෙස ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව ලැබෙන අතර ඉන් රෝගියාට ඉක්මණින් යතා තත්වයට පැමිනීමට අවස්තාව ලබා දෙන්නේ සැත්කමෙන් පසු ඇතිවන වේදනාව මෙන්ම සැතක්ම නිසා ඇතිවන සංකූලතාද අවම කරමින්. ලැපරොස්කොපි තාක්ෂණයේ නැවුම් මානය 3D Laparoscopyලැපරෛාස්කොපි ශල්‍යකර්ම තාක්ෂණයත් කාලයත් සමග අළුත් වීමට ලක්වන අතර ඉන් අති නවීනතම ලැපරොස්කොපි ශල්‍යකර්ම තාක්ෂණය වන්නේ 3D Laparoscopy සැත්කම් ක්‍රමයයි. ද්විමාන තාක්ෂණය ත්‍රිමාණ තාක්ෂණය දක්වා යොමු වෙද්දි එමගින් ශල්‍යකර්මයේ නිවැරදිබව, ආරක්ෂිත බව වගේම සිදුකල හැකි ශල්‍යකර්ම පරාසයත් විශාල ලෙස වැඩි වෙනවා. මෙය හුදු තාක්ෂණික දියුණුවක් පමණක් නෙවන්නේ එමගින් රෝගියා ඇතිවන අතිමහත් වාසි මෙන්ම, වෛද්‍ය වරයාට ශල්‍යකර්මය පහසුවෙන්, ඉක්මණින් සහ ආරක්ෂිතව සිදු කිරීමට අවකාශ ලැබෙන නිසයි. 3D ලැපරොස්කොපි සමග ඔබට ලැබෙන විශිෂ්ඨ සේවාවමෙම නවීන තාක්ෂණික ක්‍රමය භාවිතයත් සමග සැත්කම සඳහා ගතවෙන කාලය අඩුවන අතර, සැත්කමෙන් පසු ඇතිවෙන වේදනාව ඉතාමත් අවම වෙනව. එමෙන්ම ඉක්මණින් රෝහලෙන් බැහැර යාමට සහ නැවත සුපුරුදු වැඩකටයුතු වල යෙදීමට අවස්තාව හිමි වෙනව. නවීන තාක්ෂණ ක්‍රම යොදා ගන්නා නිසා සැත්කම අතරතුර සිදු වන රුධිර වහනය මෙන්ම වෙනත් සංකූලතා ඇතිවීමට ඇති අවදානමත් ඉතා අඩු කරනගන්න පුළුවන් වෙනව. ගර්භාෂය ඉවත්කිරීම වැනි ප්‍රධාන ගණයේ සැත්කමකින් පසුවත් මෙලෙස ඉක්මණින් නැවත සාමාන්‍ය තත්වයට පැමිණීමට ඇති හැකියාව නාරිවේද සැත්කම් වල විශාල ඉදිරි පිම්මක්. ලැපරොස්කොපි සැත්කම්වල අනාගත දියුණුව3D සහ 4K ලැපරොස්කොපි තාක්ෂණය හඳුන්වාදීමත් සමග වෛද්‍ය තාක්ෂණයේ සැලකිය යුතු දියුණුවක් ඇතිවී ඇත අතර මෙමගින් ලැපරොස්කොපි සැත්කම් ඉතාමත් නිවැරදිව සහ සිරුරට හානි අවම වන පරිදි ඉක්මණින් සිදු කිරීමට වෛද්‍ය වරුන්ට හැකියාව ලැබෙනව. ඒ නිසා රෝගීන්ට ආරක්ෂිතව, අපේක්ෂිිත ප්‍රතිඵල ලබා ගන්නා අතරම ඉතා ඉක්මණින්  සුවය ලැබීමටත්  අවස්තාව ලැබෙනව. නවීන තාක්ෂණයෙන් සවිබලවූ රාගම ලීසන්ස් රෝහල වසර ගනනාවක් තිස්සේ ලැපරොස්කොපි තාක්ෂණය කාන්තා සැත්කම් වලදි අප යොදා ගන්නා අතර එම තාක්ෂණයේ නවතම මානය වන 3D ලැපරොස්කොපි පහසුකම දැන් රාගම ලීසන්ස් රෝහලේදී ඔබට ලබාගන්න පුළුවන්. ඔබත් කාන්තා රෝගයක් සඳහා ලැපරොස්කොපි සැත්කමකට භාජනය වීමට අපේක්ෂාවෙන් සිටීනම්, මෙම නවීන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් ඔබේ සැත්කම වඩාත් ආරක්ෂිතව සහ නිවැරදිව සිදු කර ගැනීමට ඒ පිළිබඳව විශේෂඥ නිපුනතාවයකින් යුතු වෛද්‍ය වරෙයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ..
Covid 19   එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු
Covid 19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සුදුසුයද යන්න දරු ඵල අපේක්ෂාවෙන් සිටින් කාන්තාවන් බොහෝදෙනෙක් මේ දිනවල අසන ගැටළුවක්. දැනට භාවිතය සඳහා නිර්දේශිත එන්නත් වර්ග කිහිපයක්ම තිබෙන අතර ඉන් කිසිවක් මේලිපිය ලියන අවස්තාව වෙන තෙක් ගර්භණී මවුවරු යොදා ගෙන සායනික පරීක්ෂණ සිදු කර නැහැ. නමුත් සමහර රටවල දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වීමට අධි අවදානමක් ඇති ගර්භණී මව්වරුන් 90000කට අධික පිරිසකට මෙම එන්නත් ලබා දී ඇති අතර එන්නත් වල ආරක්ෂිත බව එමගින් තහවුරු වී තිබෙනව. මීට සමාන එන්නත් දැනටමත් ගර්භනී මවුවරුන්ට ලබා දෙන නිසා මේ එන්නත මගින් මවට හෝ දරුවාට අහිතකර බලපෑමක් වීමට ඇති අවදානම ඉතා අඩුයි. එම නිසා දැන් කොවිඩ් එන්නත ගර්භණී මවු වරුන්ට සඳහා භාවිතා කිරීමට නිර්දේශ කරනව. ඒ වගේම ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් එන්නත ලබා ගැනීමට පෙර ගර්භණී දැයි පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනය 2021.05.06 දින ගර්භණී මව්වරුන් සියළුම දෙනා එන්නත් කිරීම නිර්දේශ කරනු ලැබූ අතර එමගින් ඉදිරියේදී ගර්භණී සමයේ කොවිඩ් ආසාදනය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මාතෘ මරණ වලක්වා ගැනීමට හැකියාව ලැබේවි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින බොහෝ කාන්තාවන් මෙම එන්නට ලබා ගැනීමට පෙර අපෙන් විමසන්නෙ ඉදිරියේදී ගැබ් ගැනීමක් ඇති වුව හොත් එන්නත මගින් එයට කිසියම් බලපෑමක් ඇතිවිය හැකිද යන ගැටළුවයි. මෙම එන්නත නිසා ගබ්සා වීමක් හෝ කලලයට හානි වීමක් සිදු වෙන බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා දරු ඵල අපේක්ෂාවෙන් සිටින ඔබට කිසිම ගැටළුවකින් තොර මෙම එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම එන්නත ලබා ගන්නා අවස්තාව වන විටත් ඔබ නොදැනුවත්ව ගැබ් ගෙන සිටි අවස්තාවක වුවත් එන්නත නිසා කලලයට හානියක් වෙන්නෙ නැහැ. දරුඵල ප්‍රමාද වීමට ප්‍රතිකාර ලෙස ඩිම්බ මෝරන ඖෂධ ලබා ගැනීම හෝ IUI/ IVF වැනි ප්‍රතිකාර සිදු කිරීම එන්නත් කරනය නිසා ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබ Covid 19 එන්නත ලබා ගන්නා අතර තුර, ඔබ කලින් සැලසුම් කර ඇති පරිදි කිසිදු ගැටළුවකින් තොරව මෙම ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. ..
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?
මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරනව. ෆෝලික් ඇසිඩ් (Folic acid/ Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මගින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් සාමාන්‍යයෙන් දිනකට අඩුම වශයෙන් ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනව. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාර වල සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය අඩංගු වන නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා සාමාන්‍ය ආහාර වේලක මෙතරම් විශාල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමට අපේක්ෂා වෙන් සිටින සෑම කාන්තාවකටම ෆෝලික් අම්ලය ආහාර වලට අමතරව ලබා ගැනීමට නිර්දේශ කරනව. ෆෝලික් අම්ලය අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරිත්වයන්ට වැදගත් විටමිනයක්. අප ශරීරයේ බොහෝ සෛල වල වර්ධනය සහ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනව. මේ අතර රතු රුධිරාණු නිෂ්පාදනය වැදගත් කර්තව්‍යයක්. සිරුරේ ෆෝලික් අම්ල ප්‍රමාණය අඩු වුවහොත් නිරක්තිය වැනි සංකූලතා පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවන කාලයේ සිරුරේ ෆෝලික් අම්ල ඌණතාවය පැවතුණ හොත්, එය දරුගැබට බලපානව. ඒ නිසා දරුවාට ස්නායු පද්ධතිය ආශ්‍රිත දරුණු සංකූලතා ඇතිවෙන්න පුළුවන්.  Anencephaly සහ Neural tube defects කියන්නෙ මෙවැනි දරුණු සංකූලතවයන් දෙකක්. Anencephaly ලෙස හඳුන්වන්නෙ හිස්කබල සහ මොලය වර්ධනය නොවන දරුවන්. එවැනි දරුවෙකුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ස්නායු පද්ධතියේ කොටස් හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙල ආශ්‍රිත පෙදෙසෙන් පිටතට පැමිණිය හැකි තත්වයන් (Neural tube defects) මේ නිසා ඇතිවෙන තවත් සංකූලතාවයක්. මෙම සංකූලතාවයන් ඇතිවීම නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මගින් වලක්වා ගන්න පුළුවන්.  ඒ සඳහා ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම දිනපතා ෆෝලික් අම්ලය අමතරව ගැනීම කල යුතුයි. කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම ආරම්භ කල යුතුයි. එයට හේතුව වෙන්නෙ දරුවා පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිටම නිරෝගී වර්ධනයට ෆෝලික් ඇසිඩ් වැදගත් වන නිසයි. අප නිර්දේශ කරන්නෙ ගැබ් ගැනීමට අපේක්ෂා කරන සියළුම කාන්තාවන් ඊට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1 ක පෙත්තක් බැගින් දිනකට වරක් ලබා ගන්නා ලෙසයි. මෙය ලබා ගැනීමට විශේෂ වේලාවක් නැහැ. ඔබට පහසු පරිදි උදේ හෝ රාත්‍රි කාලයේ හෝ ලබා ගත හැකියි. දැනට වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ඔබට ඖෂධ හලකින් ෆෝලික් ඇසිඩ් පෙති මිලදී ගැනීමට පුළුවන්.  සමහර කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය වරුන් මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමට නිර්දේශ කරන විශේෂ අවස්තා ලෙස අධික තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවන්, අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්, කලින් වැනි සංකූලතා ඇති දරුවකු බිහි කල කාන්තාවන්, හැඳින්විය හැකියි.ෆෝලික් ඇසිඩ් මදසරු බවට ලබා දෙන ප්‍රතිකාරයක් නොවෙයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ ඉහත සඳහන් කල සංකූලතාවයන් සහිත දරුවන් බිහි වීම වළක්වා ගැනීමටයි. ඔබට ගැබ් ගැනීමට ප්‍රමාදබව හැඟේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ සහ සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ෆෝලික් ඇසිඩ් කියන්නෙ අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයක්. ඒ නිසා කිසිම ගැට‍ළුවක් නොමැතිව බොහෝ දෙනෙකුට මෙය ලබා ගත හැකියි. නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ගැනීමට අපහසු නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. එවිට ඔබට වෙනස් ෆෝලික් ඇසිඩ් වර්ගයක් වන L Methylfolate පෙති ලබා ගත හැකියි. එයට මිලෙන් වැඩි වුවත්, සාමාන්‍ය ෆෝලික් අම්ලයට වඩා වේගයෙන් සිරුරට උරා ගන්නා අතර අතුරු ආබාධ අඩුයි.  ..