Skip to main content

යෝනි තොල්වල හැඩය, ප්‍රමාණය සහ වර්ණය: සාමාන්‍ය වෙනස්කම් සහ වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

Published 21 views

කාන්තාවකගේ බාහිර ලිංගේන්ද්‍රියේ, යෝනි විවරය දෙපසින් සමේ නැමුම් යුගල දෙකක් පිහිටනව. ඒවාට අපි කියන්නෙ යෝනි තොල් කියල. පිටත යෝනි තොල් වැඩිවියෙන් පසු රෝම සහිත වන අතර ඇතුළත යෝනි තොල් සිහින්, රෝම රහිත සහ වඩා සංවේදීයි. තමන්ගේ යෝනි තොල් විශාල වැඩියි, එක පැත්තක් අනිත් පැත්තට වඩා විශාලයි, සම කළු වැඩියි කියල බොහෝ කාන්තාවන් කාටවත් නොකියා වසර ගණනක් කනස්සල්ලෙන් සිටිනව. මේවායින් බොහොමයක් රෝගී තත්වයන් අසාමාන්‍ය තත්වයන් නොවෙයි. සාමාන්‍ය තත්වය කුමක්ද, වෛද්‍ය වරයෙකු හමුවිය යුත්තේ කවදාද, යෝනි තොල් කුඩා කරන සැත්කමෙන් නිවැරදි කරන්න පුළුවන් දේ මොනවාද කියල මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ.

සාමාන්‍ය යෝනි තොල් මොන වගේ විය යුතුද? ගැටළුවක් නැති කාන්තාවන් සිය ගණනක් මැන බැලූ අධ්‍යයන වලින් ඇතුළත යෝනි තොල් වල දිග සෙන්ටි මීටර 2ත් 10ත් අතරත් පළල සෙන්ටි මීටර 1ත් 5ත් අතරත් වෙනස් වෙන බව සොයා ගෙන තිබෙනව. බොහෝ දෙනෙකුගේ ඇතුළත යෝනි තොල් පිටත තොල් වලින් එලියට නෙරා තිබෙනව. දෙපැත්ත එකිනෙකට වෙනස් වීමත් සාමාන්‍ය තත්වයක්. යෝනි තොල් වල සම අනිත් තැන් වලට වඩා තද පැහැයක් ගැනීමත් වයස සහ හෝමෝන වෙනස්කම් සමග තවත් කළු වීමත් සාමාන්‍ය දෙයක්. ඒ නිසා මැන බලා පමණක් සාමාන්‍යද නැද්ද කියල තීරණය කරන්න බැහැ.

තමන්ගේ පෙනුම ගැන මෙතරම් කනස්සල්ලක් ඇති වෙන්නේ ඇයි? රෝම ඉවත් කිරීම නිසා යෝනි තොල් කලින්ට වඩා පෙනෙන්න තිබෙන අතර දුරකථනයෙන් ළඟින් බලා අනිත් අය සමග සංසන්දනය කරන්නත් පුළුවන්. අසභ්‍ය චිත්‍රපට වලත් සැත්කම් දැන්වීම් වලත් පෙන්වන්නෙ කුඩා, සුදු, දෙපැත්ත සමාන එක හැඩයක් පමණයි. නමුත් යෝනි තොල් කුඩා කරන සැත්කමක් ඉල්ලා පැමිණුණු කාන්තාවන් පරීක්ෂා කල අධ්‍යයනයකදී ඔවුන් සියල්ලන්ගේම යෝනි තොල් සාමාන්‍ය පරාසය තුල තිබුණ බව සොයා ගෙන තිබෙනව. ඒ නිසා මේ ගැන කනස්සල්ලට පත්වෙන කාන්තාවකට මුලින්ම අවශ්‍ය වෙන්නෙ නිවැරදි තොරතුරුයි.

උපතින්ම තිබූ හැඩයක් නිසා රෝග ලක්ෂණ නැති නම් එය වෛද්‍ය ගැටළුවක් නොවෙයි. නමුත් අලුතින් ඇති වෙන වෙනසක් වෙනස් දෙයක්. පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

  • කැසීම, දැවිල්ල හෝ සම පැලීම, විශේෂයෙන් සුදු පැහැති දිලිසෙන සම් කොටස් සමග
  • අලුතින් ඇති වූ ගැටිත්තක්, එක පැත්තක ඉදිමීමක් හෝ තුවාලයක්
  • වේදනාව, ස්‍රාවයක් හෝ උණ සමග හදිසියේ ඉදිමීම
  • සති කිහිපයකින් සුව නොවෙන තුවාලයක් හෝ රුධිර වහනයක්
  • ඇවිදීමේදී, ව්‍යායාම කිරීමේදී හෝ ලිංගික එක්වීමේදී දිගටම පවතින වේදනාව

සුදු පැහැති දිලිසෙන සම් කොටස් සමග ඇති කැසීම ලයිකන් ස්ක්ලෙරෝසස් (lichen sclerosus) නම් සමේ රෝගයක ලක්ෂණයක්. ප්‍රතිකාර නො කලොත් එය යෝනි තොල් වල හැඩය වෙනස් කරන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර මගින් පාලනය කර ගත හැකියි.

දිග ඇතුළත යෝනි තොල් නිසා තද ඇඳුම් වලදී ඇතිල්ලීම, ලිංගික එක්වීමේදී ඇදීම හෝ ඔසප් කාලයේ අපහසුතාවක් සමහර කාන්තාවන්ට ඇති වෙනව. නමුත් වේදනාව හෝ දැවිල්ල ඇති වෙන්නෙ යෝනි තොල් වල ප්‍රමාණය නිසාම කියල සිතන්න එපා. සමේ රෝගයක් හෝ ආසාදනයක් තිබේදැයි මුලින් පරීක්ෂා කර බැලිය යුතුයි. බොහෝ විට ලිහිල් යට ඇඳුම් සහ ලිහිසිකාරක ජෙල් වර්ගයක් මගින් මේවාට සහනය ලැබෙනව. හැඩය ගැන ඇති අසතුටටත් මෙවැනි ශාරීරික අපහසුතාවටත් ප්‍රතිකාර කරන්නෙ දෙයාකාරයකට නිසා ඒ දෙක වෙන් කර හඳුනා ගැනීම වැදගත්.

මොකක්ද මේ ලේබියාප්ලාස්ටි සැත්කම? ඇතුළත යෝනි තොල් කපා කුඩා කරන හෝ හැඩය වෙනස් කරන, බොහෝ විට එදින ම ගෙදර යා හැකි සැත්කමක්. තුවාලය සුව නොවීම, රුධිර වහනය, ආසාදන, වැඩියෙන් කැපීම, දෙපැත්ත අසමාන වීම සහ සංවේදීතාව වෙනස් වීම මෙහි සංකූලතා. රූපලාවණ්‍ය හේතු සඳහා මේ සැත්කම ආරක්ෂිත සහ සාර්ථක බවට හෝ ලිංගික තෘප්තිය වැඩි කරන බවට හොඳ පර්යේෂණ සාක්ෂි නැහැ කියල තමයි ජාත්‍යන්තර දත්ත තිබෙන්නෙ. සැත්කමෙන් පසු යෝනි තොල් ගැන කාන්තාව සෑහීමකට පත් වුවත් ලිංගික ජීවිතය හෝ සිරුර ගැන හැඟීම වෙනස් වී නැහැ.

යෝනි තොල් වර්ධනය වෙන්නෙ අවුරුදු 20 පමණ වෙනකම් වන අතර එක පැත්තක් අනිත් පැත්තට කලින් වැඩෙන්නත් පුළුවන්. ඒ නිසා අවුරුදු 18ට අඩු දැරියකට පැහැදිලි ශාරීරික ගැටළුවක් නැති නම් මේ සැත්කම නිර්දේශ කරන්නෙ නැහැ. ඇයට අවශ්‍ය වෙන්නෙ සියල්ල සාමාන්‍ය බව තහවුරු කරන පරීක්ෂාවක් සහ නිවැරදි තොරතුරුයි. දැනට කොළඹ පුද්ගලික ආයතන මේ සැත්කම, සමහර විට යෝනි මාර්ගය තද කිරීමේ ක්‍රම සමගත්, ප්‍රචාරණය කරනව. සැත්කම සිදු කරන වෛද්‍යවරයාගේ විශේෂඥ සුදුසුකම්, ඒ පිළිබඳ පුහුණුව සහ පළපුරුද්ද, සංකූලතා ඇති වුණොත් ප්‍රතිකාර කරන ආකාරය සහ පසු විපරම් සැලැස්ම ගැනත් විමසන්න. දැන්වීමක් හෝ වෙනත් කෙනෙකුගේ ඡායාරූපයක් මත පමණක් තීරණයක් ගන්න එපා.

වෙනත් හේතු බැහැර කර සරල ප්‍රතිකාර උත්සාහ කලත් ශාරීරික අපහසුතාව දිගටම පවතීනම් පමණක් සැත්කමක් ගැන සලකා බැලීම සුදුසුයි. එවැනි සැත්කමක් ගැන සිතනව නම් ඊට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී රෝගී තත්වයක් නැති බව තහවුරු කර, සැත්කමෙන් ඔබට වෙනස් වෙන්නෙ මොකක්ද කියල පැහැදිලිව අසා දැන ගන්න.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න