Skip to main content

පැලෝපීය නාල අවහිර නම් ඊළඟට කුමක්ද?

Published 1 views

ඩිම්බ කෝෂයෙන් පිට වෙන ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වී සංසේචනය සිදු වෙන්නෙ පැලෝපීය නාලය තුලදී. ඒ නිසා නාල දෙකම අවහිර නම් ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. දරු ඵල පමා වීමට හේතු සොයන පරීක්ෂණවලදී නාල අවහිර බව දැන ගත් විට බොහෝ කාන්තාවන් මහත් කනස්සල්ලට පත් වෙනව. නාල අවහිර වීමට හේතු සහ ඉන් පසු ලබා ගත හැකි ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.

නාල අවහිර වීමට හේතු

ශ්‍රෝණි කුහරය තුල කලින් ඇති වූ විෂබීජ ආසාදන (Pelvic Inflammatory Disease) තමයි ප්‍රධානම හේතුව වෙන්නෙ. බොහෝවිට එවැනි ආසාදනයක් සිදු වූ බව කාන්තාවට දැනෙන්නෙවත් නැහැ. ඊට අමතරව එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය, කලින් සිදු කර ඇති උදරයේ සැත්කම් නිසා ඇති වන ඇලීම් සහ කලින් සිදු වූ ගර්භාෂයෙන් පිටත දරු ගැබක් (ectopic pregnancy) වැනි හේතුත් නාල අවහිර වීමට බලපානව.

නාල අවහිර දැයි දැන ගන්නෙ කොහොමද?

නාල පරීක්ෂා කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනව. එක්ස් කිරණ යොදා ගෙන කරන HSG පරීක්ෂණය සහ ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන ඩයි පරීක්ෂණය. ලැපරොස්කොපි පරීක්ෂණයේ විශේෂත්වය තමයි නාල පරීක්ෂා කරන අතරම එන්ඩොමෙට්‍රියෝසිස් සහ ඇලීම් වැනි වෙනත් තත්වයනුත් හඳුනා ගෙන ඒ අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීමට හැකි වීම. ඒ ගැන වැඩි විස්තර අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. වැදගත්ම කරුණ තමයි HSG පරීක්ෂණයේදී සමහර විට නාලයේ තාවකාලික සංකෝචනයක් නිසා අවහිරතාවයක් ලෙස වැරදි ලෙස පෙනෙන්න පුළුවන් වීම. ඒ නිසා එක් පරීක්ෂණයකින් නාල අවහිර බව පෙනුනත් ඒ ගැන ස්ථිර තීරණයකට පැමිණීමට පෙර වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

එක් නාලයක් පමණක් අවහිර නම්

සතුටුදායක කරුණ තමයි එක් නාලයක් හෝ විවෘතව තිබේ නම් ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව තිබෙන බව. එවැනි අවස්ථාවල ඩිම්බ මෝචනය උත්තේජනය කරන ඖෂධ සමග IUI ප්‍රතිකාරය වැනි සරල ප්‍රතිකාර ක්‍රම මුලින් උත්සාහ කරන්න පුළුවන්. ඔබේ වයස, දරු ඵල පමා වී ඇති කාලය සහ අනෙකුත් පරීක්ෂණ වාර්තා අනුව සුදුසුම ප්‍රතිකාරය තීරණය කරනව.

නාල දෙකම අවහිර නම්

ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම දෙකක් තිබෙනව:

  • නාල සැත්කම් — අවහිරතාවය ඇති ස්ථානය සහ ප්‍රමාණය අනුව, තෝරා ගත් අවස්ථාවලදී ලැපරොස්කොපි ක්‍රමයට නාල විවෘත කිරීමේ සැත්කම් සිදු කරන්න පුළුවන්. නමුත් සැත්කමෙන් නාලය විවෘත වුවත් එහි ඇතුළත සියුම් ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් නොවෙන අවස්ථා තිබෙනව. ඊට අමතරව සැත්කමෙන් පසු ගර්භාෂයෙන් පිටත දරු ගැබක් පිහිටීමේ අවදානම තරමක් වැඩියි.
  • IVF ප්‍රතිකාරය — IVF ප්‍රතිකාරයේදී සංසේචනය සිදු කරන්නෙ සිරුරෙන් පිටත නිසා නාල අවශ්‍ය වෙන්නෙම නැහැ. ඒ නිසා නාල දෙකම අවහිර කාන්තාවන්ට වඩාත්ම සාර්ථක ප්‍රතිකාරය බොහෝවිට IVF තමයි.

Hydrosalpinx තත්වය

අවහිර වූ නාලයක් තුල තරලය එකතු වී නාලය ඉදිමෙන තත්වය hydrosalpinx ලෙස හඳුන්වනව. මේ තත්වය ඇති විට විශේෂ කරුණක් දැන ගත යුතුයි — නාලය තුල එකතු වී ඇති තරලය ගර්භාෂය තුලට ගලා ඒම නිසා IVF ප්‍රතිකාරයේ සාර්ථකත්වයත් විශාල ලෙස අඩු වෙනව. ඒ නිසා IVF ප්‍රතිකාරයට පෙර එවැනි නාලයක් ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කිරීම හෝ ගර්භාෂය සමග ඇති සම්බන්ධය වෙන් කිරීම නිර්දේශ කරනව. එසේ කිරීමෙන් IVF සාර්ථක වීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි කර ගන්න පුළුවන්.

නාල අවහිර බව දැන ගැනීම දරු සම්පත් සිහිනයේ අවසානය නොවෙයි. අද තිබෙන ප්‍රතිකාර ක්‍රම සමග එය බොහෝවිට මග හැරිය හැකි බාධකයක් පමණයි. ඔබේ පරීක්ෂණ වාර්තා සමග නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය ගැන උපදෙස් ලබා ගන්න.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න