ඩිම්බ කෝෂවල ගෙඩි නොවන PCOS රෝග තත්වය ගැන දැන ගන්න

දරු ඵල අපේක්ෂා කරන වයසේ කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන හෝමෝන ආශ්‍රිත රෝග තත්වයක් තමයි PCOS (Polycystic Ovary Syndrome/ Polyendocrine Metabolic Ovarian Syndrome) කියන්නෙ. නමුත් මේ තත්වය ගැන වැරදි අවබෝධයක් බොහෝ දෙනෙක් අතර තිබෙනව. PCOS කියන නමේ තිබෙන "cyst" කියන වචනය නිසා ඩිම්බ කෝෂවල ගෙඩි ඇති වී ඇතිදැයි කියල බොහෝ කාන්තාවන් බියට පත් වෙනව. PCOS කියන්නෙ ඇත්තටම මොකක්ද, එය හඳුනා ගන්නෙ කොහොමද සහ ඊට ඇති ප්‍රතිකාර මොනවද කියන කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.

PCOS කියන්නෙ මොකක්ද?

PCOS තත්වයේදී සිදු වෙන්නෙ ඩිම්බ කෝෂවලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බයක් පිට නොවීම සහ පිරිමි ගති ලක්ෂණ ඇති කරන androgen හෝමෝන සාමාන්‍යයට වඩා තරමක් වැඩියෙන් සිරුරේ නිපදවීමයි.

ස්කෑන් පරීක්ෂාවේදී ඩිම්බ කෝෂ තුල දක්නට ලැබෙන කුඩා බුබුලු වැනි අවකාශ, ගෙඩි නොවෙයි. ඩිම්බ ලෙස මේරීමට සූදානම් වෙන සාමාන්‍ය ෆොලිකල් (follicles) තමයි මේ විදියට පෙනෙන්නෙ. එවැනි follicle සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි ගණනක් දක්නට ලැබීම පමණයි මෙහිදී අසාමාන්‍ය වෙන්නෙ. ඒව හානිකර නැහැ, ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ.

රෝග ලක්ෂණ

PCOS එක් එක් කාන්තාවට බලපාන්නෙ විවිධ ආකාරයට. මේ ලක්ෂණ සියල්ලම හෝ එකක් දෙකක් පමණක් ඔබට තිබෙන්න පුළුවන්:

  • ඔසප් වීම අක්‍රමවත් වීම හෝ ඔසප්වීම සිදු නොවීම. මෙය සුලභම රෝග ලක්ෂණයයි.
  • ඩිම්බ මෝචනය අක්‍රමවත් වීම නිසා දරු ඵල පමා වීම
  • මුහුණේ, පපුවේ හෝ උදරයේ අනවශ්‍ය රෝම වර්ධනය
  • නව යොවුන් වයස ඉක්මවා ගියත් දිගටම කුරුලෑ ඇතිවීම
  • හිසකෙස් තුනී වීම/ අඩුවීම
  • සිරුරේ බර වැඩි වීම හෝ බර අඩු කර ගැනීම අපහසු වීම
  • බෙල්ල සහ කිහිලි වැනි ස්ථානවල සම කළු පැහැ වීම

PCOS හඳුනා ගන්නෙ කොහොමද?

ඉහත රෝග ලක්ෂණ වලට සමාන ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්වයන් බැහැර කිරීමෙන් පසුව, පහත කරුණු තුනෙන් දෙකක් තිබේ නම් PCOS ලෙස හඳුනා ගන්නව:

  • ඩිම්බ මෝචනය අක්‍රමවත් වීම — බොහෝවිට ඔසප් වීම අක්‍රමවත් වීමෙන් හඳුනා ගන්න පුළුවන්
  • Androgen හෝමෝන මට්ටම වැඩි වීම — රුධිර පරීක්ෂාවකින් හෝ අනවශ්‍ය රෝම වර්ධනය වැනි පැහැදිලි ලක්ෂණවලින්
  • ස්කෑන් පරීක්ෂාවේදී ඩිම්බ කෝෂවල කුඩා ෆොලිකල් වැඩි ගණනක් දක්නට ලැබීම

වැඩිහිටි කාන්තාවන්ට ස්කෑන් පරීක්ෂාව වෙනුවට රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම දැන් යොදා ගන්න පුළුවන්. නව යොවුන් වයසේ දැරියන්ට ස්කෑන් පෙනුම යොදා ගැනීම එතරම් නිවැරදි නැහැ. ඒ වයසේදී සාමාන්‍ය ඩිම්බ කෝෂ වලත් එලෙස ෆොලිකල් වැඩිපුර තිබෙන්න පුළුවන්. ඊට අමතරව සමාන ලක්ෂණ ඇති කරන වෙනත් තත්වයන් හඳුනා ගැනීමට තයිරොයිඩ් හෝමෝන සහ ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටමත් පරීක්ෂා කර බලනව.

වැදගත්ම ප්‍රතිකාරය — ජීවන රටාව සහ සිරුරේ බර

පැහැදිලිවම කිව යුතු කරුණක් තමයි සිරුරේ බර වැඩි නම් එය නිසි මට්ටමට අඩු කර ගැනීම තරම් සාර්ථක ඖෂධයක් PCOS සඳහා නොමැති බව. කිලෝග්‍රෑම් කිහිපයක් අඩු කර ගැනීමෙන් පවා බොහෝ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය සහ ඩිම්බ මෝචනය නැවත ක්‍රමවත් වීමට හැකියාව තිබෙනව.

PCOS ඇති කාන්තාවන්ට සිරුරේ බර අඩු කර ගැනීම තරමක් අපහසුයි. එය රෝග තත්වයේම ලක්ෂණයක් මිස ඔබේ අඩුපාඩුවක් නොවෙයි. නමුත් ඔබට කල හැකි වැදගත්ම දෙයත් එයමයි. මේ සඳහා විශේෂ ආහාර වේලක් අවශ්‍ය නැහැ. සීනි සහ පිටි සහිත ආහාර අඩු කර, එළවළු සහ කෙඳි සහිත ආහාර වැඩි කර, දිගටම පවත්වා ගන්න පුළුවන් ආහාර රටාවක් අනුගමනය කිරීම තමයි වැදගත්. නිතිපතා ව්‍යායාම කිරීමෙන් සිරුරේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වෙනව — බර අඩු වුනත් නැතත් එහි ප්‍රයෝජනය හෝමෝන සමතුලිත වීමෙන් ඔබට ලැබෙනව.

ඖෂධ ප්‍රතිකාර

  • ඔසප් වීම ක්‍රමවත් කිරීමට සහ කුරුලෑ / රෝම වර්ධනයට පාලනය කිරීමට දෙන ඖෂධ. මේ සඳහා උපත් පාලන පෙති වර්ග මුලින් යොදා ගන්නව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ගණකම අධික වීම පාලනය කර කලාතුරකින් ඇතිවෙන පිළිකා අවදානම පාලනය කරන්න උපකාරී වෙනව.
  • Metformin — සිරුරේ බර වැඩි සහ සීනි පාලනය දුර්වල කාන්තාවන්ට තෝරාගත් අවස්ථාවලදී යොදා ගන්නව. සෑම කාන්තාවකටම මෙය අවශ්‍ය වෙන්නෙ නැහැ. බර අඩු කරන ඖෂධයක් ලෙස Metformin නිර්දේශ කරන්නෙ නැහැ.
  • දරු ඵල අපේක්ෂා කරන විට — ඩිම්බ මෝචනය උත්තේජනය කිරීමට Letrozole ඖෂධය තමයි මුලින්ම යොදා ගන්නෙ. Clomifene ඖෂධය තෝරාගත් අවස්ථාවලදීත්, හෝමෝන එන්නත් ප්‍රතිකාර දෙවන පියවර ලෙසත් භාවිතා කරනව.

දිගු කාලීන සෞඛ්‍යය

PCOS බලපාන්නෙ ඔසප් වීමට සහ සරුභාවයට පමණක් නොවෙයි. දිගු කාලීනව දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩි වීම සහ ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඝන වීම වැනි තත්වයන්ට ඇති අවදානම මේ නිසා වැඩි වෙනව. මානසික අවපීඩනය සහ කනස්සල්ලත් PCOS ඇති කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙනව. ඒ ගැන කතා කිරීමට මැලි වෙන්න එපා. සතුටුදායක කරුණ තමයි ජීවන රටාව සකසා ගැනීමෙන් මේ අවදානම් බොහොමයක් අඩු කර ගන්න හැකියාව තිබීම. ඒ නිසා ඔබ දරු ඵල අපේක්ෂා නොකරන කාලයේදීත් රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම වරින් වර පරීක්ෂා කර බලා ගැනීම සුදුසුයි.

වෛද්‍යවරයෙකු හමුවිය යුත්තෙ කවදාද?

  • ඔසප් වීම් මාස තුනකට වඩා ප්‍රමාද නම් හෝ ඔසප් වීම නතර වී ඇති නම්
  • වසරක් උත්සාහ කලත් දරු ඵල පමා නම් (වයස අවුරුදු 35ට වැඩි නම් මාස 6ක්)
  • රෝම වර්ධනය වේගයෙන් වැඩි වේ නම් හෝ කටහඬ වෙනස් වේ නම් — ඒ සඳහා වෙනත් පරීක්ෂණ අවශ්‍ය වෙනව
  • ඔසප් වීම සිදු වෙන විට අධික ලෙස රුධිර වහනයක් සිදුවේ නම්

PCOS සුලබ, පාලනය කල හැකි රෝග තත්වයක්. බොහෝ කාන්තාවන්ට දරුවන් ලැබීමට එය බාධාවක් වෙන්නෙ නැහැ. ජීවන රටාව සහ නිසි බර පවත්වා ගැනීම ඖෂධ ප්‍රතිකාර වලට වඩා සාර්ථකයි. මෙවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON