උපත් පාලනය සඳහා දිගු කාලීනව භාවිතා කල හැකි හෝමෝන තැන්පතු (Implants)
යුවලකට දරු පිළිසිඳ ගැනීම වසරක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් භාවිතා කල හැකි දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් පිළිබඳවයි මේ ලිපියෙන් තොරතුරු ගෙනඑන්නේ. මෙවැන අවස්ථාවක භාවිතා කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනව.
1. උපත් පාලන ලූපය - මේ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව.
2. උපත් පාලන හෝමෝන තැන්පතු
මෙය සමයට තැන්පත් කරන හෝමෝන අඩංගු කරලක්. දැනට ලංකාවේ හෝමෝන තැන්පතු වර්ග දෙකක් භාවිතා කරනව. ඉන් එක් වර්ගයක් Jadelle යන වෙළඳ නාමයෙන් හඳුන්වන අතර එහි Levonorgestrel නම් ඖෂධය අඩංගු කරල් දෙකක් තිබෙනව. මෙය වසර පහක් දක්වා උපත් පාලනය සඳහා භාවිතා කල හැකියි.
අනික් වර්ගය Implanon යන වෙළඳ නාමයෙන් හඳුන්වන අතර එහි Etonogestrel නම් ඖෂධය අඩංගුයි. මෙය තනි කරලක් ලෙස පවතින අතර වසර 3ක් දක්වා කියාකාරීයි.
මෙහි අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඉතා සුළු මාත්‍රාවක් දිනපතා රුධිරයට එකතු වෙනව. ඒ මගින් පිටියුටරි ග්‍රන්ථියේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් කර ඩිම්බ කෝෂ වල ඩිම්බ වර්ධනය සහ පිටවීම නතර කරන නිසා පිළිසිඳ ගැනීම වැලැක්වෙනව.
මෙම හෝමෝන කරල් සම යට තැන්පත් කිරීම සුළු ශල්‍යකර්මයක් ලෙස සම හිරි වැටීමට ඖෂධයක් ලබා දී සිදු කරන්නෙ. ඒ සඳහා ගත වෙන්නේ විනාඩියකට අඩු කාලයක්. හිරි වැටීමට නිර්වින්දක ඖෂධ ලබා දෙන නිසා මෙහිදී ඔබට වේදනාවක් දැනෙන්නෙ නැහැ. ඉවත් කිරීමට අවශ්‍ය වෙන විට නැවත නිර්වින්දක ඖෂධ ලබා දී සුළු ශල්‍යකර්මයක් ලෙස මෙය ඉවත් කල හැකියි. බොහෝ පවුල් සැලසුම් සායන වල මේ සඳහා පහසුකම් දැන් තිබෙනව. මේ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අසා දැන ගන්න.