Skip to main content

උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් — පෙත්තක් මග හැරුනොත් කුමක් කල යුතුද?

Published 9 views

ලංකාවේ බහුලවම භාවිතා වෙන උපත් පාලන ක්‍රමයක් තමයි දිනපතා ගන්නා උපත් පාලන පෙති. නිවැරදිව ගත්තොත් 99%කටත් වඩා සාර්ථක ක්‍රමයක්. නමුත් ප්‍රායෝගිකව භාවිතා කරන විට සාර්ථකත්වය 91%ක් පමණ දක්වා අඩු වෙනව. ඒ වෙනසට හේතුව පෙති නොවෙයි, පෙති ගන්නා ආකාරයේ සිදු වෙන වැරදි. හදිසි උපත් පාලන පෙති වලදී වරදින තැන් ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. සාමාන්‍ය උපත් පාලන පෙති ගැනීමේදී බොහෝ දෙනෙක් අතින් සිදු වෙන වැරදි සහ එවැනි අවස්ථාවක කල යුතු දේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.

මුලින්ම — ලංකාවේ තිබෙන පෙති මොනවද?

ලංකාවේ තිබෙන්නෙ oestrogen සහ progestogen හෝමෝන දෙකම අඩංගු සංයුක්ත උපත් පාලන පෙති (combined pill) පමණයි. විදේශ රටවල තිබෙන progestogen පමණක් අඩංගු "mini-pill" වර්ගය ලංකාවේ නැහැ. ඒ නිසා අන්තර්ජාලයෙන් කියවන mini-pill උපදෙස් අපේ පෙති වලට අදාළ වෙන්නෙ නැහැ. මේ ලිපියේ සඳහන් වෙන්නෙ සංයුක්ත පෙති ගැනයි.

1 — පටන් ගන්නා දිනය

ඔසප් වීම ආරම්භ වූ පළමු දිනයේ පෙති පටන් ගත්තොත් එදින සිටම ආරක්ෂාව ලැබෙනව. ඔසප් වීමේ 5 වන දිනය දක්වා පටන් ගත්තත් එය එසේමයි. ඊට පසුව ඕනෑම දිනයක පටන් ගන්න පුළුවන් වුවත්, එවිට මුල් දින 7 තුල කොන්ඩම් වැනි අමතර ආරක්ෂාවක් අවශ්‍ය වෙනව. ඔසප් වීම එනතුරු බලා සිට පෙති පටන් ගැනීම අවශ්‍ය නැහැ — නමුත් ඔබ දැනටමත් ගැබ් ගෙන නොමැති බව තහවුරු කර ගැනීම වැදගත්.

2 — පෙත්තක් මග හැරීම

මෙය බහුලවම සිදු වෙන වැරැද්ද. සාමාන්‍ය වේලාවෙන් පැය 24ක් ඉක්මවා ගිය විට තමයි එය "මග හැරුනු" පෙත්තක් ලෙස සලකන්නෙ.

  • එක් පෙත්තක් මග හැරුනොත් — මතක් වූ විගස එය ගන්න. ඒ නිසා එක් දිනක පෙති දෙකක් ගැනීමට සිදු වුවත් කමක් නැහැ. ඉන් පසු සුපුරුදු පරිදි දිගටම ගන්න. අමතර ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.
  • පෙති දෙකක් හෝ වැඩි ගණනක් මග හැරුනොත් — අවසන් වරට මග හැරුනු පෙත්ත ගන්න (කලින් මග හැරුනු ඒවා අත්හරින්න), දිගටම පෙති ගන්න, දින 7ක් කොන්ඩම් භාවිතා කරන්න. පැකට්ටුවේ මුල් සතියේ මෙය සිදු වී ඊට පෙර දින 7 තුල අනාරක්ෂිත ලිංගික එක්වීමක් තිබුනා නම් හදිසි උපත් පාලන පෙති ගැන වෛද්‍යවරයෙකුගෙන් අහන්න.
  • පැකට්ටුවේ අවසන් සතියේ මග හැරුනොත් — හෝමෝන පෙති 21 අවසන් වූ පසු විවේක දින 7 මග හැර කෙලින්ම අලුත් පැකට්ටුව පටන් ගන්න.

සෑම දිනකම එකම වේලාවට පෙති ගැනීමට දුරකථනයේ alarm එකක් තබා ගැනීම හෝ දත් මැදීම වැනි දිනපතා පුරුද්දක් සමග සම්බන්ධ කර ගැනීම මග හැරීම වළක්වා ගන්න හොඳම ක්‍රමයයි.

3 — වමනය සහ පාචනය

පෙත්ත ගෙන පැය 3ක් ඇතුලත වමනය ගියොත් එය සිරුරට උරා ගෙන නැති බව සලකා තවත් පෙත්තක් ගන්න. දැඩි පාචනයක් පැය 24කට වඩා පවතින විටත් පෙති නිසි ලෙස ක්‍රියා නොකරන්න පුළුවන්. එවැනි විට අසනීපය සුව වී දින 7ක් යනතුරු අමතර ආරක්ෂාවක් යොදා ගන්න.

4 — ඖෂධ අතර බලපෑම්

සාමාන්‍ය ප්‍රතිජීවක ඖෂධ උපත් පාලන පෙති අසාර්ථක කරන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනව. එය ඇත්ත නොවෙයි. බලපාන්නෙ අක්මාවේ එන්සයිම උත්තේජනය කරන ඖෂධ කිහිපයක් පමණයි — ක්ෂය රෝගයට දෙන rifampicin, අපස්මාරයට දෙන carbamazepine, phenytoin වැනි ඖෂධ, සහ සමහර HIV ඖෂධ. එවැනි ඖෂධයක් දිගු කාලීනව ගන්නා කාන්තාවන්ට පෙති සුදුසු නැති නිසා වෙනත් ක්‍රමයක් ගැන වෛද්‍යවරයාගෙන් අහන්න. ඕනෑම ඖෂධයක් නියම කරන විට ඔබ උපත් පාලන පෙති ගන්නා බව වෛද්‍යවරයාට කියන්න.

5 — මුල් මාසවල ලේ යාම නිසා පෙති නතර කිරීම

පෙති පටන් ගත් මුල් මාස 2–3 තුල ඔසප් වීම නොවන කාලවලදී සුළු ලේ යාමක් (spotting) බහුලව සිදු වෙනව. එය හානියක් නොවෙයි, පෙති අසාර්ථක වීමේ ලකුණකුත් නොවෙයි. නමුත් මේ නිසා බියට පත් වී පෙති අතරමග නවත්වන කාන්තාවන් බොහොමයක් සිටිනව. එවිට තමයි ගැබ් ගැනීමට අවදානම ඇති වෙන්නෙ. මාස 3ක් ඉවසීමෙන් ගත කළොත් බොහෝවිට එය පහව යනව. ඉන් පසුත් දිගටම පවතී නම් වෙනත් වර්ගයක පෙත්තකට මාරු වීම ගැන වෛද්‍යවරයාගෙන් අහන්න.

6 — වෛද්‍ය පරීක්ෂාවකින් තොරව පටන් ගැනීම

ෆාමසියෙන් පහසුවෙන් ලබා ගත හැකි වුවත් සංයුක්ත පෙති සෑම කාන්තාවකටම සුදුසු නැහැ. වයස 35ට වැඩි දුම් පානය කරන කාන්තාවන්ට, ඉහළ රුධිර පීඩනය ඇති අයට, කලින් රුධිර කැටි ගැසීමක් (ලේ කැටි) ඇති වූ අයට, ඇස් පෙනීම වෙනස් වීම වැනි ලක්ෂණ සමග එන ඉරුවාරදය (migraine with aura) ඇති අයට සහ පියයුරු පිළිකාවක් තිබූ අයට මේ පෙති නිර්දේශ කරන්නෙ නැහැ. ඒ නිසා පටන් ගැනීමට පෙර අවම වශයෙන් රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම වැදගත්. මවු කිරි දෙන මුල් මාස 6 තුලත් සංයුක්ත පෙති සුදුසු නැහැ.

බොහෝ දෙනෙක් අහන ප්‍රශ්න

  • පෙති නිසා දරු ඵල අහිමි වෙනවද? — නැහැ. පෙති නතර කල විගස සරුභාවය නැවත ලැබෙනව. වසර ගණනක් ගත්තත් එය වෙනස් වෙන්නෙ නැහැ.
  • පෙති නිසා බර වැඩි වෙනවද? — වර්තමානයේ භාවිතා කරන අඩු මාත්‍රා පෙති නිසා සැලකිය යුතු බර වැඩි වීමක් සිදු වෙන බවට සාක්ෂි නැහැ.
  • වරින් වර පෙති නවත්වා විවේකයක් ගත යුතුද? — නැහැ. එවැනි "විවේක" අවශ්‍ය නැති අතර, ඒ කාලය තුල අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදු වෙනව.
  • ඔසප් වීම කල් දැමීමට පෙති දිගටම ගන්න පුළුවන්ද? — පුළුවන්. විවේක දින 7 මග හැර කෙලින්ම ඊළඟ පැකට්ටුව පටන් ගැනීමෙන් ඔසප් වීම කල් දමන්න පුළුවන්. එය හානිකර නැහැ.

උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කළොත් ඉතාමත් සාර්ථක, ඔසප් වීම ක්‍රමවත් කරන සහ වේදනාව අඩු කරන ක්‍රමයක්. නමුත් දිනපතා මතක තබා ගැනීම ඔබට අපහසු නම් හෝමෝන ලූපය, තැන්පතු හෝ එන්නත වැනි දිගු කාලීන ක්‍රමයක් ඔබට වඩා සුදුසු වෙන්න පුළුවන්. ඔබට වඩාත් ගැලපෙන ක්‍රමය ගැන වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න