Skip to main content

ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඝන වීම — බිය විය යුතු තත්වයක්ද?

Published Updated 1 views

ස්කෑන් පරීක්ෂණ වාර්තාවේ "endometrium ඝන වී ඇත" කියල සඳහන් වූ විට බොහෝ කාන්තාවන් පිළිකාවක්දැයි බියට පත් වෙනව. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඝන වීම නැතිනම් endometrial hyperplasia කියන්නෙ මොකක්ද, ඊට හේතු මොනවද සහ ප්‍රතිකාර කරන්නෙ කොහොමද කියන කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.

මොකක්ද මේ තත්වය?

ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඔසප් චක්‍රය සමග ඝන වීම සහ බිඳ වැටීම සාමාන්‍යයෙන් සිදු වෙනව. එම බිත්තිය ඝන කරන්නෙ ඊස්ට්‍රජන් හෝමෝනය. ඩිම්බ මෝචනයෙන් පසු නිපදවෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය එම ඝන වීම පාලනය කර තබා ගන්නව. නමුත් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ පාලනයකින් තොරව ඊස්ට්‍රජන් හෝමෝනය දිගු කාලයක් බිත්තියට බලපෑවොත් එය අසාමාන්‍ය ලෙස ඝන වෙනව. එයට endometrial hyperplasia කියල කියනව.

මේ තත්වයට හේතු

  • ඩිම්බ මෝචනය නිතිපතා සිදු නොවීම — PCOS තත්වය ඇති කාන්තාවන්ට සහ ආර්ථවහරනයට ආසන්න කාලයේ මෙය සුලබයි. ඩිම්බ මෝචනය සිදු නොවන විට ප්‍රොජෙස්ටරෝන් නිපදවෙන්නෙ නැහැ.
  • අධික තරබාරු බව — මේද සෛල තුලත් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවෙන නිසා සිරුරේ බර වැඩි වීම ප්‍රධාන හේතුවක් වෙනව.
  • ප්‍රොජෙස්ටරෝන් රහිතව ඊස්ට්‍රජන් පමණක් අඩංගු හෝමෝන ඖෂධ දිගු කාලීන භාවිතය.
  • පියයුරු පිළිකා සඳහා යොදා ගන්නා tamoxifen වැනි සමහර ඖෂධ.

රෝග ලක්ෂණ සහ හඳුනා ගැනීම

ප්‍රධානම රෝග ලක්ෂණය තමයි අසාමාන්‍ය රුධිර වහනය — ඔසප් වීම සමග අධික රුධිර වහනය, ඔසප් වීම් අතර කාලයේ රුධිර වහනය හෝ ආර්ථවහරනයෙන් පසු රුධිර වහනය. මුලින්ම පැහැදිලිව දැන ගත යුතු කරුණක් තමයි ස්කෑන් පරීක්ෂාවේදී බිත්තිය ඝන ලෙස පෙනීම රෝග විනිශ්චයක් නොවන බව. එයින් කියවෙන්නෙ වැඩිදුර පරීක්ෂාවක් අවශ්‍ය බව පමණයි — ඔසප් චක්‍රයේ අවස්ථාව අනුව නිරෝගී කාන්තාවකගේ බිත්තියත් ඝන ලෙස පෙනෙන්න පුළුවන්. Hyperplasia තත්වයක් ඇති දැයි ස්ථිරවම හඳුනා ගත හැක්කෙ බිත්තියෙන් ලබා ගන්නා ජෛව පටක සාම්පලයක් (biopsy) පරීක්ෂා කිරීමෙන් පමණයි. එය සායනයේදීම කල හැකි සරල ක්‍රියාවලියක්. සමහර අවස්ථාවලදී ගර්භාෂය ඇතුළත සියුම් කැමරාවකින් පරීක්ෂා කරන හිස්ටරොස්කොපි පරීක්ෂණය අවශ්‍ය වෙනව.

පිළිකාවක්ද?

නැහැ — hyperplasia කියන්නෙ පිළිකාවක් නොවෙයි. නමුත් බයොප්සි පරීක්ෂණයේදී මේ තත්වය ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරනව. අසාමාන්‍ය සෛල නොමැති වර්ගය (hyperplasia without atypia) පිළිකාවක් දක්වා වර්ධනය වීමේ අවදානම ඉතා අඩුයි — ප්‍රතිකාර සමග බොහෝවිට සම්පූර්ණයෙන් සුව වෙනව. අසාමාන්‍ය සෛල සහිත වර්ගය (atypical hyperplasia) පිළිකාවකට පෙර ඇති වෙන තත්වයක් ලෙස තමයි සලකන්නෙ. ඒ වගේම එවැනි කාන්තාවන්ගෙන් සමහරකට බයොප්සි පරීක්ෂණයෙන් හඳුනා නොගත් පිළිකා තත්වයක් ඒ වන විටත් ගර්භාෂය තුල තිබෙන්න පුළුවන්. ඒ නිසා මේ වර්ගයට වඩා ක්‍රියාකාරී ප්‍රතිකාර සහ සමීප නිරීක්ෂණය අවශ්‍ය වෙනව.

ප්‍රතිකාර

  • ප්‍රොජෙස්ටරෝන් ප්‍රතිකාරය — අසාමාන්‍ය සෛල නොමැති වර්ගයට ප්‍රධාන ප්‍රතිකාරය ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයයි. සාර්ථකම ක්‍රමය තමයි ගර්භාෂය තුල තැන්පත් කරන හෝමෝන ලූපය. එමගින් හෝමෝනය කෙලින්ම බිත්තියට ලැබෙනව. බීමට ගන්නා ප්‍රොජෙස්ටරෝන් පෙතිත් යොදා ගන්න පුළුවන්.
  • සිරුරේ බර අඩු කර ගැනීම — තරබාරු කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාරයට අමතරව ඉතා වැදගත් වෙන කරුණක්. නැවත මේ තත්වය ඇති වීම වැලැක්වීමට එය විශේෂයෙන් උපකාරී වෙනව. නමුත් බර අඩු කර ගැනීම ඖෂධ ප්‍රතිකාරයට විකල්පයක් නොවෙයි — වෛද්‍යවරයා නියම කල ප්‍රතිකාරය ඒ සමගම දිගටම ලබා ගත යුතුයි.
  • නැවත පරීක්ෂා කිරීම — ප්‍රතිකාරය සාර්ථක දැයි තහවුරු කරන්නෙ මාස 6කට වරක් පමණ නැවත ලබා ගන්නා බයොප්සි සාම්පල මගින්. එක් සාම්පලයකින් ප්‍රතිකාරය අවසන් වෙන්නෙ නැහැ — අඩුම වශයෙන් අඛණ්ඩව බයොප්සි සාම්පල දෙකක් සාමාන්‍ය වන තුරු පරීක්ෂා කිරීම දිගටම සිදු කරනව. ඉන් පසුත් අවදානම් සාධක (තරබාරු බව වැනි) දිගටම තිබේ නම් තවදුරටත් නිරීක්ෂණය අවශ්‍ය වෙන්න පුළුවන්.
  • ගර්භාෂය ඉවත් කිරීම — අසාමාන්‍ය සෛල සහිත වර්ගය ඇති, දරු ඵල ලබා අවසන් කාන්තාවන්ට ආරක්ෂිතම ප්‍රතිකාරය ලෙස ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම නිර්දේශ කරනව. එය දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිරුරට අවම හානියක් වෙන ලෙස සිදු කරන්න පුළුවන්. දරු ඵල අපේක්ෂා කරන කාන්තාවන්ට හෝමෝන ප්‍රතිකාර සමග සමීප නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර කල හැකි අවස්ථා තිබෙනව.

ඔසප් වීම සමග අධික රුධිර වහනයක්, ඔසප් වීම් අතර රුධිර වහනයක් හෝ ආර්ථවහරනයෙන් පසු ඕනෑම රුධිර වහනයක් ඇති වුවහොත් බලා නොසිට වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. කලින් හඳුනා ගත් විට මේ තත්වය බොහෝවිට සරල ප්‍රතිකාරවලින් සම්පූර්ණයෙන් සුව කර ගන්න පුළුවන්.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න