ගැබ් ගෙල දුර්වලතාව සහ ගැබ් ගෙලට දමන මැහුම (Cervical Cerclage)
ගර්භණී සමයේ මුල් මාස තුනෙන් පසු සිදු වෙන ගබ්සාවීම් ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. ඒ සඳහා ඇති හේතු අතරින් වැළැක්විය හැකි එක් හේතුවක් තමයි ගැබ් ගෙල දුර්වලතාව. මාස 4–6 අතර කාලයේ කිසිම වේදනාවක් නොමැතිව ගැබ් ගෙල විවෘත වී දරු ගැබ අහිමි වූ මවුවරුන්ට එය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. ඊළඟ ගැබ් ගැනීමේදී එවැනි දෙයක් නැවත සිදු වීම වැළැක්වීමට ගැබ් ගෙලට මැහුමක් දැමීම (cervical cerclage) බොහෝවිට යොදා ගන්නව. ගැබ් ගෙල දුර්වලතාව හඳුනා ගන්නා ආකාරය සහ මැහුම ගැන ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
ගැබ් ගෙල දුර්වලතාව කියන්නෙ මොකක්ද?
ගැබ් ගෙල කියන්නෙ ගර්භාෂය යෝනි මාර්ගයට විවෘත වෙන කොටස. සාමාන්‍යයෙන් ප්‍රසූත වේදනාව ආරම්භ වෙන තුරු එය තදව වැසී තිබෙනව. නමුත් සමහර කාන්තාවන්ට ගර්භණී සමයේ මැද කාලයේදී වේදනාවක් හෝ සංකෝචන නොමැතිව ගැබ් ගෙල කෙටි වී නිහඬව විවෘත වෙනව. එය තමයි ගැබ් ගෙල දුර්වලතාව (cervical weakness/insufficiency) කියන්නෙ. එවිට වෝටර් බෑග් එක යෝනි මාර්ගයට නෙරා විත් කැඩී ගබ්සාවීමක් හෝ දරුවා ජීවත් වීමට නොහැකි තරම් කලින් උපතක් සිදු වෙනව.
මෙය ඇති වෙන්නෙ කාටද?
- මීට පෙර සති 14න් පසු ගබ්සාවීම් හෝ ඉතා කලින් දරු උපත් සිදු වී ඇති කාන්තාවන් — විශේෂයෙන් වේදනාවකින් තොරව සිදු වූ ඒවා
- ගැබ් ගෙලට කලින් සැත්කම් සිදු කර ඇති අය — ගැබ් ගෙල පිළිකා පූර්ව තත්වයන්ට කරන cone biopsy හෝ LLETZ වැනි
- මේ ගැබ් ගැනීමේ ස්කෑන් පරීක්ෂාවකින් ගැබ් ගෙල කෙටි වී ඇති බව හඳුනා ගත් අය
ගැබ් ගෙල දුර්වලතාව හඳුනා ගන්නෙ ප්‍රධානවම කලින් ගර්භණී සමයන්හි ඉතිහාසයෙන් සහ යෝනි මාර්ගය හරහා කරන ස්කෑන් පරීක්ෂාවකින් ගැබ් ගෙලේ දිග මැනීමෙන්. ගර්භණී නොවන කාලයේ මෙය තහවුරු කරන විශ්වාසදායක පරීක්ෂණයක් නැහැ.
මැහුම දමන්නෙ කවදාද?
මැහුම දමන අවස්ථාව අනුව එය ආකාර තුනකට බෙදනව:
- ඉතිහාසය අනුව — කලින් මැද කාලයේ ගබ්සාවීම් නිසා, මුල් මාස තුන අවසන් වූ පසු සති 12–14 අතර සැලසුම් කර දමන මැහුම
- ස්කෑන් අනුව — නිතිපතා කරන ස්කෑන් වලින් ගැබ් ගෙල කෙටි වෙන බව පෙනුනු විට, බොහෝවිට සති 24ට පෙර දමන මැහුම
- හදිසි (rescue) මැහුම — ගැබ් ගෙල දැනටමත් විවෘත වීමට පටන් ගෙන ඇති විට. මෙය වඩා අවදානම් තත්වයක් නිසා එක් එක් අවස්ථාව අනුව තීරණය කරනව
අවදානම ඇති සෑම කාන්තාවකටම මැහුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. සමහර අයට යෝනි මාර්ගයෙන් දෙන ප්‍රොජෙස්ටරෝන් ඖෂධය හෝ ස්කෑන් වලින් ගැබ් ගෙල නිරීක්ෂණය කිරීම පමණක් වඩා සුදුසු වෙන්න පුළුවන්. ඒ තීරණය ඔබේ ඉතිහාසය සහ ස්කෑන් වාර්තා අනුව වෛද්‍යවරයා ඔබ සමග සාකච්ඡා කර ගන්නව.
මැහුම දමන්නෙ කොහොමද?
බහුලවම කරන ක්‍රමයේදී උදරයේ කිසිම කැපුමක් යොදන්නෙ නැහැ. සිසේරියන් සැත්කමකදී වගේ පිට කොන්දට දෙන නික්ෂේපණයකින් (spinal anaesthesia) ඉණෙන් පහළ හිරි වට්ටා, යෝනි මාර්ගය හරහා ගැබ් ගෙල වටේට ශක්තිමත් පටියක් හෝ නූලක් යොදා පසුම්බියක් වගේ තදින් ගැට ගහනව. සැත්කම විනාඩි 15–30ක් පමණ ගත වෙන අතර ඊට පෙරත් පසුවත් දරුවාගේ තත්වය පරීක්ෂා කරනව. බොහෝවිට එදිනම හෝ පසු දින උදෑසන නිවසට යන්න පුළුවන්.
ඉන් පසු දින කිහිපයක් සුළු කැක්කුමක් සහ සුළු ලේ යාමක් තිබෙන්න පුළුවන්. පැරසිටමෝල් ප්‍රමාණවත්. මැහුම තිබෙන කාලය පුරාම යෝනි ස්‍රාවය තරමක් වැඩි වීම සාමාන්‍ය දෙයක්. දිගු කාලීනව ඇඳේ වැතිර සිටීම නිර්දේශ කරන්නෙ නැහැ — දින කිහිපයකින් සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. බර ඔසවීම සහ දැඩි ව්‍යායාම වලින් වැළකී සිටීම සුදුසුයි.
මැහුම ඉවත් කිරීම
සති 36–37 පමණ වෙන විට සායනයේදී හෝ වාට්ටුවේදී විනාඩි කිහිපයකින්, බොහෝවිට නික්ෂේපණයකින් තොරව, මැහුම ඉවත් කරනව. ඉන් පසු සාමාන්‍ය ප්‍රසූතියක් සිදු වෙන්න පුළුවන්. සිසේරියන් සැත්කමක් සැලසුම් කර ඇති නම් සැත්කම අවස්ථාවේම මැහුම ඉවත් කරනව. ඊට පෙර ප්‍රසූත වේදනාව ආරම්භ වුවහොත් හෝ වෝටර් බෑග් එක කැඩුනොත් පමා නොවී රෝහලට යා යුතුයි — මැහුම තිබෙන අතරතුර දැඩි සංකෝචන ඇති වුවහොත් ගැබ් ගෙල ඉරී යාමට අවදානමක් තිබෙනව.
ලැපරොස්කොපි ක්‍රමයට දමන මැහුම
යෝනි මාර්ගය හරහා දැමූ මැහුමක් කලින් අසාර්ථක වී ඇති නම්, නැතිනම් සැත්කම් නිසා ගැබ් ගෙල ඉතා කෙටි වී මැහුමක් දැමීමට ඉඩක් නැති නම්, උදරයේ කුඩා කැපුම් කිහිපයකින් ලැපරොස්කොපි ක්‍රමයට ගැබ් ගෙලේ ඉහළම කොටසට මැහුමක් දමන්න පුළුවන්. මෙය ගැබ් ගැනීමට පෙර හෝ මුල් සතිවලදී සිදු කරනව. මේ මැහුම ස්ථිරව තබන අතර දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් සිදු කරනව. උදරය විවෘත කර දමන මැහුම දැන් නිර්දේශ කරන්නෙ වෙනත් විවෘත සැත්කමක් සමග එකට කිරීමට අවශ්‍ය අවස්ථාවලදී පමණයි.
අවදානම්
පළපුරුදු අතකින් සිදු කරන විට මෙය ආරක්ෂිත සැත්කමක්. ප්‍රධාන අවදානම වෙන්නෙ මැහුම දමන අවස්ථාවේ හෝ ඊට පසු වෝටර් බෑග් එක කැඩීම — විශේෂයෙන් ගැබ් ගෙල දැනටමත් විවෘත වී තිබෙන විට දමන හදිසි මැහුම් වලදී. ආසාදන, සුළු ලේ යාම සහ මැහුම ලිහිල් වීම කලාතුරකින් සිදු වෙනව. මැහුමකින් අවදානම අඩු වුවත් සම්පූර්ණයෙන් නැති වෙන්නෙ නැති බවත් දැන ගත යුතුයි.
මීට පෙර මැද කාලයේ ගබ්සාවීමක් හෝ ඉතා කලින් දරු උපතක් සිදු වී ඇති නම්, ඊළඟ ගැබ් ගැනීම සැලසුම් කිරීමට පෙරම වෛද්‍යවරයෙකු හමුවී ඔබට මැහුමක් අවශ්‍යද කියල සාකච්ඡා කරන්න. කලින් සැලසුම් කළොත් නිවැරදි කාලයේ නිවැරදි ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්.