Skip to main content

IVF ප්‍රතිකාරය අසාර්ථක වුනොත් ඊළඟට කුමක්ද? ICSI කියන්නෙ මොකක්ද?

Published 2 views

IVF ප්‍රතිකාරය ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. දැන් ලංකාවේ බොහෝ යුවලයන් මේ ප්‍රතිකාරයට යොමු වෙනව. නමුත් විශාල මුදලක් සහ මානසික ශක්තියක් වැය කර සිදු කරන චක්‍රයක් අසාර්ථක වූ විට ඇති වෙන කනස්සල්ල වචනයෙන් කියන්න අමාරුයි. "අපිට මොකක් හරි වැරැද්දක් තියෙනවද?", "ආයෙත් කරන්න වටිනවද?" කියන ප්‍රශ්න අපෙන් නිතර අහන ප්‍රශ්න. IVF චක්‍රයක් අසාර්ථක වෙන හේතු, ICSI ක්‍රමය කියන්නෙ මොකක්ද සහ නැවත උත්සාහ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.

මුලින්ම දැන ගත යුතු ඇත්ත

IVF එක් චක්‍රයකින් සාර්ථක වෙන්නෙ තෝරාගත් හොඳම අවස්ථාවලදීත් යුවලයන්ගෙන් තුනෙන් එකකට පමණයි. කාන්තාවගේ වයස 35ට අඩු නම් එක් චක්‍රයක සාර්ථකත්වය 30–40% අතර වෙන අතර වයස 40 ඉක්මවන විට එය 10%ටත් අඩු වෙනව. ඒ කියන්නෙ පළමු චක්‍රය අසාර්ථක වීම අසාමාන්‍ය දෙයක් නොවෙයි — ඇත්තටම බහුතරයකට සිදු වෙන දේ එයයි. චක්‍ර දෙක තුනක් එකතු කර බැලූ විට (cumulative success) සාර්ථකත්වය සැලකිය යුතු ලෙස වැඩි වෙනව. ඒ නිසා IVF ගැන සිතිය යුත්තෙ එක් චක්‍රයක් ගැන නොවෙයි, ප්‍රතිකාර ගමනක් ගැනයි.

IVF චක්‍රයක් අසාර්ථක වෙන හේතු

  • කලලයේ ජාන අසාමාන්‍යතා — මෙය ප්‍රධානම හේතුව. පෙනුමෙන් හොඳ කලලයක් වුවත් එහි වර්ණදේහ සංයුතියේ දෝෂ තිබෙන්න පුළුවන්. එවැනි කලලයක් ගර්භාෂයේ තැන්පත් වෙන්නෙ නැහැ, නැතිනම් මුල් සතිවලදීම ගබ්සා වෙනව. කාන්තාවගේ වයස වැඩි වෙන විට මේ දෝෂ සහිත කලල ප්‍රතිශතය වේගයෙන් වැඩි වෙනව. වයස 40දී කලලවලින් අඩකටත් වඩා මෙවැනි දෝෂ තිබෙන්න පුළුවන්.
  • ඩිම්බ ප්‍රමාණය හෝ තත්වය අඩු වීම — හෝමෝන එන්නත් වලට ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදැක්වීම නිසා ඩිම්බ අඩු ගණනක් ලැබීම. AMH හෝමෝන මට්ටම මෙය කලින් අනුමාන කිරීමට උපකාරී වෙනව.
  • ශුක්‍රාණු ගැටළු — ශුක්‍රාණු ප්‍රමාණය හෝ ක්‍රියාකාරිත්වය අඩු විට සංසේචනය සිදු නොවීම. මෙයට තමයි ICSI ක්‍රමය විසඳුම වෙන්නෙ.
  • ගර්භාෂය ආශ්‍රිත ගැටළු — ගර්භාෂය තුලට නෙරා තිබෙන ෆයිබ්‍රොයිඩ්, පොලිප්, ගර්භාෂය තුල ඇලීම් හෝ ගර්භාෂයේ ඇතුළත බිත්තිය ප්‍රමාණවත් ලෙස ඝන නොවීම. පැලෝපීය නාලයක තරලය පිරී ඉදිමී තිබෙන hydrosalpinx තත්වයත් කලල තැන්පත් වීමට බාධා කරනව — ඒ ගැන අපේ කලින් ලිපියේ සඳහන් වෙනව.
  • ජීවන රටාව — දුම්පානය, අධික තරබාරු බව සහ පාලනය නොවූ දියවැඩියාව හෝ තයිරොයිඩ් රෝග සාර්ථකත්වය අඩු කරනව.

සමහර අවස්ථාවලදී මේ කිසිම හේතුවක් හඳුනා ගන්න ලැබෙන්නෙ නැහැ. හොඳ කලලයක් හොඳ ගර්භාෂයක තැන්පත් කලත් සෑම විටම ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැති බව ස්වභාව ධර්මයේ යථාර්ථයක්.

ICSI කියන්නෙ මොකක්ද?

සාමාන්‍ය IVF ක්‍රමයේදී ලබා ගත් ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයේ එකම බඳුනක තබා ස්වභාවිකව සංසේචනය වීමට ඉඩ දෙනව. ICSI (Intracytoplasmic Sperm Injection) ක්‍රමයේදී තෝරා ගත් එක් ශුක්‍රාණුවක් ඉතා සියුම් ඉඳිකටුවක් ආධාරයෙන් ඩිම්බය තුලට කෙලින්ම ඇතුළු කරනව. ශුක්‍රාණු ප්‍රමාණය ඉතා අඩු, චලනය දුර්වල හෝ කලින් IVF චක්‍රයක සංසේචනය සිදු නොවූ අවස්ථාවලදී ICSI යොදා ගන්නව. සැත්කමකින් වෘෂණ කෝෂවලින් ලබා ගන්නා ශුක්‍රාණු සමගත් ICSI තමයි කරන්නෙ. ශුක්‍රාණු ගැටළුවක් නොමැති යුවලකට ICSI කිරීමෙන් අමතර වාසියක් ලැබෙන බවට සාක්ෂි නැහැ — ඒ නිසා සෑම කෙනෙකුටම ICSI අවශ්‍ය වෙන්නෙත් නැහැ.

අසාර්ථක චක්‍රයකට පසු කල යුතු දේ

  1. සමාලෝචන හමුවක් ලබා ගන්න — ඩිම්බ කීයක් ලැබුනාද, කීයක් සංසේචනය වුනාද, කලල කොපමණ තත්වයේ තිබුනාද, ගර්භාෂයේ බිත්තිය කොහොම තිබුනාද කියන කරුණු ඔබේ වෛද්‍යවරයා සමග විස්තරාත්මකව සාකච්ඡා කරන්න. ඊළඟ චක්‍රයේ වෙනස් කල යුතු දේ තීරණය වෙන්නෙ මේ තොරතුරු මතයි.
  2. ශීත කල කලල තිබේදැයි බලන්න — පළමු චක්‍රයෙන් ඉතිරි කලල ශීත කර (freeze) තබා ඇති නම් ඊළඟ පියවර වඩා පහසුයි. හෝමෝන එන්නත් සහ ඩිම්බ ලබා ගැනීම නැවත අවශ්‍ය නැහැ. ශීත කලල තැන්පත් කිරීමේ (FET) සාර්ථකත්වය අලුත් කලලවලට සමානයි, සමහර අවස්ථාවලදී වඩා හොඳයි.
  3. අමතර පරීක්ෂණ අවශ්‍යද කියල අහන්න — චක්‍ර දෙකක් හෝ වැඩි ගණනක් හොඳ කලල සමග අසාර්ථක වී ඇති නම් ගර්භාෂය ඇතුලත බලන hysteroscopy පරීක්ෂාව, තයිරොයිඩ් සහ රුධිර කැටි ගැසීමේ පරීක්ෂණ වැනි දේ සලකා බලනව.
  4. Add-on ප්‍රතිකාර ගැන ප්‍රවේශම් වෙන්න — IVF සමග දෙන අමතර ප්‍රතිකාර රැසක් වෙළඳපොලේ තිබෙනව. ඒවායින් බොහොමයකට සාර්ථකත්වය වැඩි කරන බවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. එවැනි ප්‍රතිකාරයක් යෝජනා වූ විට ඒ සඳහා ඇති සාක්ෂි මොනවද කියල අහන්න.

නවත්වන්නෙ කවදාද?

මෙය කිසිවෙකුට පහසු තීරණයක් නොවෙයි. නමුත් වයස, ඩිම්බ කෝෂවල ප්‍රතිචාරය, ආර්ථික තත්වය සහ මානසික ශක්තිය සලකා බලා චක්‍ර කීයක් දක්වා යා යුතුද කියල කලින්ම වෛද්‍යවරයා සමග කතා කර ගැනීම වැදගත්. ඩිම්බ පරිත්‍යාග ලබා ගැනීම හෝ දරුවෙකු හදා ගැනීම වැනි විකල්ප ගැන කතා කිරීමත් අසාර්ථකත්වයක් නොවෙයි. ඒ වගේම මේ ගමන තුල ඇති වෙන මානසික පීඩනය ගැන කතා කරන්න මැලි වෙන්න එපා — එයත් ප්‍රතිකාරයේම කොටසක්.

IVF චක්‍රයක් අසාර්ථක වීම අවසානයක් නොවෙයි. බොහෝ යුවලයන් දරුවෙකු ලබා ගන්නෙ දෙවන හෝ තුන්වන චක්‍රයෙන්. ඔබේ චක්‍රය අසාර්ථක වූ හේතු සහ ඊළඟ පියවර ගැන පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවී විස්තරාත්මකව සාකච්ඡා කරන්න.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න