IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)
මදසරු බවට සිදු කරන ප්‍රතිකාර අතරින් IUI ප්‍රතිකාරය ප්‍රධාන තැනක් ගන්නව. මේ ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක පල කරල තිබෙනව. සමහර විට ඔබ මෙම ප්‍රතිකාරය ක්‍රමයට දැනටමත් යොමු වෙලා ඇති. මෙහිදී සිදු වෙන්නෙ රසායනාගාරය තුල තේරීමකට ලක් කල සජීවී ශුක්‍රාණු ඉතා සිහින් නාලයක් ආධාරයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීමයි. වසර 50 කට පමණ පෙර මෙම ක්‍රමය හඳුන්වා දුන් කාලයේදී සාර්ථකත්වය 5%ක පමණ පැවතුනත් දැන් භාවිතා කරන දියුණු ක්‍රම නිසා 30%ක පමණ සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාව තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නෙ ප්‍රතිකාරය අසාර්ථක වෙන්න හේතු පිළිබඳවයි.
පලමුවම IUI ක්‍රමය ඔබට සුදුසුදැයි නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍ය වෙනව. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හැමෝටම මේ ප්‍රතිකාරය සුදුසු නැහැ. ඒ පිළිබඳව පළපුරුද්දක් ඇති වෛද්‍ය වරයෙකු සියළුදේ පරීක්ෂා කර බලා මෙම ක්‍රමය ඔබට සුදුසුදැයි තීරණය කල යුතුයි. මෙහිදී සලකා බලන ප්‍රධාන කාරණා වෙන්නෙ
- කාන්තාවගේ වයස - වයස අවුරුදු 40 ට වැඩිනම් මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීමට ඇති හැකියාව ඉතා අඩුයි
- BMI
අගය - ඉතා තරබාරු කාන්තාවකට IUI මගින් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව අඩුයි. - මදසරු බව පැවති කාල සීමාව. දිගු කාලයක් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවී ඇති කාන්තාවකට මෙම ප්‍රතිකාර ක්‍රමය එතරම් සාර්ථක නැහැ.
- මීට පෙර සිදු කල ප්‍රතිකාර. කලින් කිහිප වරක්ම IUI සිදුකර ඇති කාන්තාවකට නැවත නැවත IUI සිදු කිරීම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් 6 වරකට වඩා කිරීම නිර්දේශ කරන්නෙ නැහැ.
- මදසරු බවට හේතුව. පැලෝපීය නාල වල අවහිරතාවයක්, ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම වැනි හේතු නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන විට IUI කිරීම සුදුසු නැහැ.
ඔබට IUI ප්‍රතිකාරය
අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය වරයෙකු තීරණය කල පසු සාමාන්‍යයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා
දෙනව. මෙලෙස ලබා දෙන ප්‍රතිකාර වර්ගය අනුව IUI සාර්ථක වීමට
ඇති හැකියා වෙනස් වෙනව. නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බ මේරීමට ලක් කරන විට
සාර්ථකත්වය වැඩි බව සොයා ගෙන තිබෙනව. ඊට අමතරව ඩිම්බ කලින් පිටවීම වැළැක්වීමට,
ගර්භාෂයේ ඇතුල් බිත්තිය දරු පිළිසිඳ ගැනීමට සුදුසු මට්ටමට සකස් කිරීමට, නියමිත අවස්තාවේදී
ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට වැනි කාරණා සඳහා වෙනත් ඖෂධ ලබා දෙනවා. ඩිම්බයක්
මේරීමට ඖෂධ ලබා දීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක් සිදු කල යුතු
වෙනව. මෙය සාමාන්‍යයෙන් ඔසප්වීමේ සිට දින 11-12 අතර සිදු කරනව. එහිදී ඩිම්බය වර්ධනය
වෙන අවකාශයේ (follicle) විශ්කම්භය මැන බලන අතර එම අගය මිලි
මීටර් 18කට වඩා වැඩිනම් ඩිම්බය පිටවීමට සුදුසු මට්ටමට මෝරා ඇති ලෙස සලකනව. ඒ බව දැන
ගත් පසු, IUI
ඩිම්බ පිටවීම උත්තේජනය කිරීම සඳහා හෝමෝනය නික්ෂේපණයක් ලෙස භාවිතා කරනව. මෙලෙස භාවිතා කරන ඖෂධ වර්ගය සහ මාත්‍රාව අනුව ඩිම්බ නියමිත වේලාවට පිටවීම තීරණය වෙන නිසා එයත් IUI සාර්ථක වීමට බලපානව.
තාක්ෂණික දියුණුවත් සමග රසායනාගාරයේදී ශුක්‍රාණු නිසි ලෙස සැකසීමේ ක්‍රියාවලිය විශාල ලෙස වෙනස් වී තිබෙනව. ඒ නිසා නවීන පහසුකම් සහිත රසායනාගාරයක් තුල ප්‍රමිතියෙන් උසස් උපකරණ සහ අවශ්‍ය තරල වර්ග (sperm processing media) යොදා ගෙන ශුක්‍රාණු සැකසීම සිදු කරන විට සාර්ථක වීමට ඇති හැකියාව ඉහල යනව.
මේ සියළුම කරුණු වලට අමතරව ඉතා වැදගත් දෙයක් තමයි මෙම ප්‍රතිකාරය සිදු කරන ආකාරය. පලපුරුදු වෛද්‍ය වරයෙකු විසින් ගර්භාෂය සංකෝචනය නොවෙන ලෙස සියුම් නාලයක් ගැබ් ගෙල තුලින් ඇතුළු කර ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරන්නෙ. මේ අවස්තාවේ ගර්භාෂය සංකෝචනය වීම උත්තේජනය වුවහොත් ශුක්‍රාණු නැවත පිටතට පැමිණීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ප්‍රමිතියෙන් උසස් IUI catheter එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණක්.
IUI සිදු කිරීමේදී විශාල තරල ප්‍රමාණයක් යොදා නොගෙන ගර්භාෂය තුල පමණක් ශුක්‍රාණු තැන්පත් කිරීමට සැලකිලිමත් වීම වැදගත්. එසේ නොවුන හොත් පිටතින් ඇතුළු කරන තරලය පැලෝපීය නාල වලට ඇතුළුවී විෂබීජ ආසාදන තත්වයක් ඇතිවුවහොත් නැවත ගැබ් ගැනීමට නොහැකි ලෙස පැලෝපීය නාල අවහිර වීමට පවා අවදානමක් තිබෙනව. IUI තරම් සාර්ථක නොවන පැලෝපීය නාල තුලට ශුක්‍රාණු ඇතුළු කරන fallopian tube sperm perfusion ක්‍රමය දැන් නිර්දේශ කරන්නෙ නැහැ. IUI සිදු කරන අවස්ථාවේ ගැබ් ගෙල හරහා විෂබීජ ආසාදනය වීම වැළැක්වීම සඳහා සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනව.
සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට පසුව විනාඩි 15ක පමණ කාලයක් උඩුබැලි අතර වැතිර සිටීම මගින් IUI සාර්ථක වීමට ඇති හැකියාව වැඩි වෙනව.
ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම සාමාන්‍යයෙන් වැඩි වෙනව. මේ නිසා ගර්භාෂය තුල තැන්පත් වෙන කලලය රඳවා ගැනීමට හැකියාව ලැබෙනව. මෙම හෝමෝන මට්ටම නියමිත ප්‍රමාණයට නොමැති නම් කලලය මුල් අවස්ථාවේදීම පිටවීමට අවදානමක් ඇති බැවින් IUI ප්‍රතිකාරයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පෙති ලබා දීමක් සිදුකරනව.
මෙලෙස නියමිත ප්‍රමිතියෙන් IUI යුතුව සිදු කිරීම මගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.