ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එකතු වීමෙන් තමයි දරු ගැබක් හට ගන්නේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු වෙන්නේ කාන්තාවගේ පැලෝපීය නාලය තුල. එමගින් ඇතිවෙන කලලය පැලොපීය නාලය දිගේ ගමන් කර ගර්භාෂය තුල තැන්පත් වෙනව. මෙලෙස දරුවෙකු පිළිසිඳ ගත් පසු ප්‍රසූතිය දක්වා මාස 10ක් වර්ධනය වෙන්නේ ගර්භාෂය තුලයි. ගර්භාෂයට මෙම කලලයේ වර්ධනයට සහ ආරක්ෂාවට අවශ්‍ය සියලු ම පහසුකම් සැපයීමේ හැකියාව තිබෙනව. නමුත් දරු ගැබ ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙන අවස්ථා තිබෙනව. සෑම ගැබ් ගැනීම් 100කට එකක් පමණ මෙවැනි ගර්භාෂයෙන් පිටත පිහිටන අතර ඒවා Ectopic pregnancy ලෙස හඳුන්වනව.
මෙවැනි ගර්භාෂයෙන් පිට පිහිටන දරු ගැබක් බොහෝ විට පැලෝපීය නාලයන් තුලයි තැන්පත් වෙන්නේ. නමුත් ඩිම්බ කෝෂ මතුපිට, උදර කුහරයේ බිත්ති මත හෝ වෙනත් අවයවයක් මත මෙවැනි දරු ගැබක් තැන්පත් වෙන අවස්ථා දක්නට ලැබෙනව. මෙම දරු ගැබකට සාමාන්‍ය දරුවෙකු ලෙස වැඩීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම ප්‍රතිකාර ක්‍රම හෝ ශල්‍යකර්ම මගින් මෙය නැවත ගර්භාෂය තුල තැන්පත් කිරීමට හැකියාවක් නැහැ.
මෙම කලලය වර්ධනය වීමට උත්සාහ ගන්නා විට එයට පැලෝපීය නාලය තුල ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා පැලෝපීය නාලය පුපුරා එමගින් රුධිර වහනයක් ඇතිවිය හැකියි. මෙම රුධිරය උදර කුහරය ඇතුළතට එකතු වෙන නිසා පිටතට පෙනෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් මේ තත්වය හඳුනා ගෙන ශල්‍යකර්මයකට නොවුන හොත් අභ්‍යන්තර රුධිර වහනය නිසා මව මියයාමට පවා හැකියාවක් තිබෙනව.
මෙවැනි ගැබ් ගැනීමක් හඳුනා ගන්න තිබෙන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මව ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල හෝ සමහර විට ගර්භණී බව දැන ගැනීමට පෙරදීම ඇති වන අධික වේදනාව. උදර කුහරය තුල රුධිර වහනයක් වන විට මවට අධික වේදනාවක් දැනෙනව. මෙම වේදනාව යටි බඩේ මෙන්ම සමහර විට දකුණු උරහිස මතද දැනෙන්නට පුළුවන්. ඒ සමග සමහර විට යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවෙන්න පුළුවන්. අභ්‍යන්තර රුධිර වහනයක් නිසා හදිසියේ ක්ලාන්ත වී ඇද වැටීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉතා ඉක්මනින් පහසුකම් සහිත රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි. එහි දී ගර්භණී බව කලින් තහවුරු කර නැතිනම් ඒ සඳහා මුත්‍රා පරීක්ෂාවක් සිදු කරනව. ඉන් පසු ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ පිහිටි ස්ථානය සොයා බලනව. මෙහි දී ගර්භාෂය තුල කලලයක් නැති බව, අභ්‍යන්තර රුධිර වහනය, පැලෝපීය නාල තුල හෝ වෙනත් ස්ථානයක පිහිටන කලලය වැනි ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙනව.
මෙවැනි දරු ගැබක් මවගේ ජීවිතයට පවා හානි කර වෙන නිසා මේ සඳහා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු වෙනව. රුධිරයේ හෝමෝන මට්ටම, ස්කෑන් පරීක්ෂණ වාර්තා ආදිය සලකා බලා විශේෂඥ වෛද්‍ය වරයා මෙයට ප්‍රතිකාර කල හැකි සුදුසු ම ආකාරය පිලිබඳව ඔබට උපදෙස් ලබා දේවි. සමහර විට කලලය ගබ්සාවී ඇති නම් එය ඉබේම කුඩා වන නිසා ශල්‍යකර්මයකින් තොරව ප්‍රතිකාර කල හැකියි. සමහර විට කලලය ඉතා කුඩා නම් එය හැකිළීමට දිය හැකි ප්‍රබල පිළිකා නාශක ඖෂධයක් තිබෙනව. මේ සමග වරින් වර රුධිර හෝමෝන මට්ටම් පරීක්ෂා කර බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර ක්‍රමයන් 100%ක්ම සාර්ථක නොවන අවස්තා තිබෙනව. එවිට හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්.
ශල්‍යකර්මයක් මගින් ගර්භාෂයෙන් පිටත පිහිටි දරු ගැබ ඉවත් කිරීම තමයි අනික ප්‍රතිකාර ක්‍රමය. බොහෝ විට මෙය සිදු කරනු ලැබුවේ සිසේරියන් සැත්කමක් කරන ආකාරයේ කැපුමක් යොදා ගනිමින්. නමුත් දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් ඉතා කුඩා කැපුම් තුනක් පමණක් යොදා විශාල කැළලක් ඇති නො වෙන ආකාරයට මෙම ශල්‍යකර්මය සිදු කිරීමට හැකියාව තිබෙනව.
ඔබට මෙවැනි තත්වයක් ඇති බව හඳුනා ගතහොත් ඉක්මනින් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් ඇතිවිය හැකි හානිය අවම කර ගැනීමට හැකි වෙනව.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON