Skip to main content

ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නියම කරන්නෙ ඇයි? ඇත්තටම අවශ්‍ය කාටද?

Published 1 views

ගැබ් ගැනීමේ මුල් කාලයේ හෝ සරුභාවය ප්‍රතිකාර අතරතුර ප්‍රොජෙස්ටරෝන් ඖෂධයක් නියම වූ විට, මේ ඖෂධය ගන්නෙ ඇයි, කොපමණ කාලයක් ගත යුතුද, අතුරු ආබාධ තිබෙනවද කියල බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටළුවක්. ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ගැන ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ කාර්යය

ප්‍රොජෙස්ටරෝන් කියන්නෙ ඩිම්බ මෝචනයෙන් පසු ඩිම්බ කෝෂයෙන් නිපදවෙන හෝමෝනයක්. එහි ප්‍රධාන කාර්යය වෙන්නෙ ගර්භාෂයේ ඇතුළත බිත්තිය දරු ගැබක් තැන්පත් වීමට සුදුසු ලෙස සකස් කර තබා ගැනීමයි. ගැබ් ගැනීමක් සිදු වූ විට මුල් සති කිහිපය තුල දරු ගැබ ආරක්ෂා කර ගැනීමට මේ හෝමෝනය දිගටම අවශ්‍ය වෙනව. ගැබ් ගැනීමක් සිදු නොවුනොත් හෝමෝන මට්ටම අඩු වී ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳ වැටී ඔසප් වීම ආරම්භ වෙනව.

ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නියම කරන අවස්ථා

  • ගැබ් ගැනීමේ මුල් කාලයේ රුධිර වහනයක් ඇති විට — විශේෂයෙන් මීට පෙර ගබ්සාවක් සිදු වී ඇති මවකට මුල් කාලයේ රුධිර වහනයක් ඇති වුවහොත් ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ලබා දීමෙන් ගබ්සා වීමේ අවදානම තරමක් අඩු කර ගත හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනව.
  • නැවත නැවත ගබ්සාවන් සිදු වී ඇති විට — එවැනි මවුවරුන්ට ගැබ් ගැනීම තහවුරු වූ මොහොතේ සිට ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ආරම්භ කිරීම සමහර අවස්ථාවලදී නිර්දේශ කරනව.
  • IVF/ICSI සහ IUI ප්‍රතිකාරවලදී — සරුභාවය ප්‍රතිකාරවලදී යොදා ගන්නා ඖෂධ නිසා සිරුරේ ස්වභාවික ප්‍රොජෙස්ටරෝන් නිපදවීම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා IVF ප්‍රතිකාරයකදී ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ලබා දීම අනිවාර්ය කොටසක් වෙනව.
  • ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට — ගැබ් ගැනීමකින් තොරව ඔසප් වීම ප්‍රමාද වෙන අවස්ථාවල ඔසප් වීම ඇති කිරීමටත් ප්‍රොජෙස්ටරෝන් වර්ගයේ ඖෂධ යොදා ගන්නව.

ඖෂධ ලබා දෙන ක්‍රම

ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ක්‍රම කිහිපයකින් ලබා දෙන්න පුළුවන්. යෝනි මාර්ගයෙන් ඇතුළු කරන ඖෂධ (pessaries), බීමට ගන්නා පෙති සහ එන්නත් ඒ අතර තිබෙනව. යෝනි මාර්ගයෙන් ලබා දෙන විට ඖෂධය ගර්භාෂයට කෙලින්ම ලැබෙන නිසා සරුභාවය ප්‍රතිකාරවලදී බොහෝවිට යොදා ගන්නෙ එම ක්‍රමයයි. ඔබට සුදුසුම ක්‍රමය සහ මාත්‍රාව තීරණය කරන්නෙ ඔබේ වෛද්‍යවරයා.

අතුරු ආබාධ

ප්‍රොජෙස්ටරෝන් ඖෂධ සාමාන්‍යයෙන් ආරක්ෂිත ඖෂධ වර්ගයක්. නිදිමත ගතිය, පියයුරු වල තද ගතිය, සුළු ක්ලාන්ත ගතිය සහ යෝනි මාර්ගයෙන් ලබා ගන්නා විට ස්‍රාවයක් පිටවීම ඇති විය හැකි අතුරු ආබාධ අතර තිබෙනව. මේව බොහෝවිට සුළු මට්ටමේ ඒව. දරුවාට හානියක් වෙයි කියල බිය විය යුතු නැහැ — ගැබ් ගැනීමේ මුල් කාලයේ භාවිතයට මේ ඖෂධ දිගු කලක සිට යොදා ගෙන තිබෙනව.

මතක තබා ගත යුතු කරුණු

  • ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ගත යුත්තෙ වෛද්‍ය නිර්දේශයක් මතම පමණයි. සෑම ගැබ් ගැනීමකටම මේ ඖෂධ අවශ්‍ය වෙන්නෙ නැහැ.
  • ඖෂධය නියමිත වේලාවට දිගටම ලබා ගැනීම වැදගත්. නතර කල යුතු කාලය තීරණය කරන්නෙත් වෛද්‍යවරයා — බොහෝවිට ගැබ් ගැනීමේ සති 12 පමණ වන විට වැදෑමහ හෝමෝන නිපදවීම භාර ගන්නා නිසා ඉන් පසු ඖෂධය අවශ්‍ය වෙන්නෙ නැහැ.
  • ගබ්සාවකට හේතු බොහොමයක් තිබෙන අතර සෑම ගබ්සාවක්ම ප්‍රොජෙස්ටරෝන් ඖෂධයකින් වළක්වන්න බැහැ. ඖෂධය ගත්තත් ගබ්සාවක් සිදු වුවහොත් එය ඔබේ වරදක් නොවෙයි.

ගැබ් ගැනීමේ මුල් කාලයේ රුධිර වහනයක් හෝ වේදනාවක් ඇති වුවහොත් බලා නොසිට ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න