ශුක්‍රාණු පරීක්ෂණ වාර්තාව හොඳ නැත්නම් ඊළඟට කල හැකි දේ
දරු ඵල පමා වීමට හේතු සොයන විට තුනෙන් එකක පමණ අවස්ථාවලදී හේතුව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පුරුෂ පාර්ශවයේ තිබෙනව. ඒ නිසා ශුක්‍රාණු පරීක්ෂණය (Seminal Fluid Analysis) දරු ඵල පමා වෙන සෑම යුවලකටම මුලින්ම කරන පරීක්ෂණයක්. එම පරීක්ෂණය සිදු කරන ආකාරය ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. නමුත් වාර්තාව දුර්වල බව දැන ගත් පසු බොහෝ දෙනෙකුට ඇති වෙන්නෙ මහත් කනස්සල්ලක්. එවැනි වාර්තාවකින් අදහස් වෙන දේ සහ ඉන් පසු ලබා ගත හැකි ප්‍රතිකාර මොනවද කියන කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
එක වාර්තාවකින් තීරණය කරන්න එපා
මුලින්ම දැන ගත යුතු වැදගත්ම කරුණ තමයි ශුක්‍රාණු වාර්තාවක් එක් වරක් දුර්වල වීම ස්ථිර මද සරු බවක් නොවන බව. උණ රෝගයක් වැළඳී තිබීම, දින කිහිපයක් ඇතුලත නැවත සාම්පලයක් ලබා දීම, සාම්පලය ලබා දීමේ ගැටළු වැනි තාවකාලික හේතු නිසාත් වාර්තාව දුර්වල වෙන්න පුළුවන්. ශුක්‍රාණුවක් නිපදවීමට සිරුරට මාස තුනකට ආසන්න කාලයක් ගත වෙනව. ඒ නිසා දුර්වල වාර්තාවක් ලැබුණු විට මාස තුනකට පමණ පසු නැවත පරීක්ෂණය කර බැලීම තමයි සාමාන්‍යයෙන් සිදු කරන්නෙ.
ජීවන රටාවෙන් කල හැකි වෙනස්කම්
ශුක්‍රාණු නිපදවීම වැඩි දියුණු කිරීමට ඔබටම කල හැකි දේවල් තිබෙනව. මේ වෙනස්කම්වල ප්‍රතිඵල පෙනෙන්නත් මාස තුනක පමණ කාලයක් ගත වෙනව:
- දුම්පානය සම්පූර්ණයෙන් නතර කිරීම. දුම්පානය ශුක්‍රාණු ප්‍රමාණයට වගේම ඒවායේ ක්‍රියාකාරිත්වයටත් හානි කරනව.
- මත්පැන් භාවිතය අඩු කිරීම හෝ නතර කිරීම.
- සිරුරේ බර වැඩි නම් අඩු කර ගැනීම. තරබාරු බව හෝමෝන ක්‍රියාකාරිත්වයට බලපා ශුක්‍රාණු නිපදවීම අඩු කරනව.
- වෘෂණ කෝෂ අධික උණුසුමට ලක් වීම වැලැක්වීම — ඉතා තද යට ඇඳුම්, දිගු වේලාවක් උණු වතුර ස්නානය වැනි දේ අඩු කිරීම සුදුසුයි.
- නිතිපතා ව්‍යායාම කිරීම සහ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
හේතුව සොයා බැලීම
වාර්තාව නැවතත් දුර්වල නම් ඊට හේතුවක් ඇති දැයි සොයා බැලීම වැදගත්. වෘෂණ කෝෂ ආශ්‍රිත රුධිර නාල ඉදිමෙන varicocele තත්වය, හෝමෝන අසමතුලිත බව, කලින් ඇති වූ විෂබීජ ආසාදන, සමහර ඖෂධ වර්ග දිගු කාලීනව භාවිතය වැනි හේතු මේ අතර තිබෙනව. සමහර පුරුෂයන්ට රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. හඳුනා ගත් හේතුවකට ප්‍රතිකාර කිරීමෙන් වාර්තාව වැඩි දියුණු වෙන අවස්ථා තිබෙනව. නමුත් බොහෝ අවස්ථාවලදී පැහැදිලි හේතුවක් හඳුනා ගන්න ලැබෙන්නෙ නැහැ. එය ඔබේ අඩුපාඩුවක් නොවෙයි.
ඖෂධ ප්‍රතිකාර ගැන ඇත්ත
ශුක්‍රාණු වැඩි කරන බව පවසන ඖෂධ සහ අතිරේක විශාල ප්‍රමාණයක් වෙළඳපොලේ තිබෙනව. නමුත් හෝමෝන අසමතුලිත බවක් වැනි හඳුනා ගත් හේතුවක් නොමැති විට ඒවායින් පැහැදිලි ප්‍රතිඵලයක් ලැබෙන බවට සාක්ෂි දුර්වලයි. වෛද්‍ය නිර්දේශයකින් තොරව මිල අධික අතිරේක සඳහා මුදල් වැය කිරීමට පෙර වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම සුදුසුයි.
සරුභාවය ප්‍රතිකාර
වාර්තාවේ දුර්වලතාවයේ ප්‍රමාණය අනුව සුදුසු ප්‍රතිකාරය වෙනස් වෙනව:
- සුළු දුර්වලතාවයක් නම් — සකස් කරන ලද ශුක්‍රාණු ගර්භාෂය තුලට තැන්පත් කරන IUI ප්‍රතිකාරය යොදා ගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අපේ IUI ලිපියේ තිබෙනව.
- දුර්වලතාවය වැඩි නම් — IVF ප්‍රතිකාරයේදී යොදා ගන්නා ICSI ක්‍රමය තමයි සාර්ථකම ප්‍රතිකාරය වෙන්නෙ. මෙහිදී තෝරා ගත් එක් ශුක්‍රාණුවක් ඩිම්බයක් තුලට කෙලින්ම ඇතුළු කරනව. ඒ නිසා ශුක්‍රාණු ප්‍රමාණය ඉතා අඩු පුරුෂයන්ටත් තම දරුවෙකු ලැබීමේ හැකියාව දැන් තිබෙනව.
- ශුක්‍රාණු කිසිවක් නොමැති නම් (azoospermia) — වෘෂණ කෝෂවලින් සුළු ශල්‍යකර්මයක් මගින් ශුක්‍රාණු ලබා ගෙන ICSI ප්‍රතිකාරය සිදු කල හැකි අවස්ථා තිබෙනව. ඊට අමතර ශුක්‍රාණු බැංකුවකින් සාම්පලයක් ගෙන ගර්භාෂයේ තැන්පත් කරන donor IUI ක්‍රමය, Donor embryo යොදා ගෙන IVF ප්‍රතිකාරය හෝ වෙනත් අයෙකුගේ දරුවෙකු හදා ගැනීම අවසන් විකල්ප ක්‍රම වෙනව.
ශුක්‍රාණු වාර්තාව දුර්වල වීම අද වෙන විට ප්‍රතිකාර කල හැකි තත්වයක්. වසරක් උත්සාහ කලත් දරු ඵල පමා නම් (බිරිඳගේ වයස අවුරුදු 35ට වැඩි නම් මාස 6ක්) දෙදෙනාම එකට වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.