ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම — Letrozole මුලින්ම දෙන්නෙ ඇයි?
ඩිම්බ කෝෂවලින් මසකට වරක් ඩිම්බයක් නිසි ලෙස පිට නොවීම දරු ඵල පමා වීමට ඇති ප්‍රධාන හේතුවක්. ඒ සඳහා හේතු ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. සතුටුදායක කරුණ තමයි මෙය සරුභාවය ගැටළු අතරින් වඩාත්ම පහසුවෙන් ප්‍රතිකාර කල හැකි එකක් වීම. ඖෂධ මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කර ඩිම්බයක් මෙරවීම ovulation induction ලෙස හඳුන්වනව. මේ ප්‍රතිකාරය සිදු කරන ආකාරය, Letrozole ඖෂධය මුලින්ම යොදා ගන්නෙ ඇයි සහ ඉන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵල පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
ප්‍රතිකාරය පටන් ගැනීමට පෙර
ඩිම්බ මෙරවීමට ඖෂධ දීම මුලින්ම කරන දේ නොවෙයි. වැරදි ගැටළුවකට ප්‍රතිකාර කිරීමෙන් වටිනා කාලය නාස්ති වෙන නිසා පළමුව කරුණු කිහිපයක් තහවුරු කර ගන්නව:
- ඩිම්බ මෝචනය ඇත්තටම සිදු නොවෙන බව — ඔසප් චක්‍රයේ ඉතිහාසය සහ රුධිර පරීක්ෂාවකින්
- තයිරොයිඩ් සහ ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම් — මේ දෙක අසාමාන්‍ය නම් ඊට ප්‍රතිකාර කිරීමෙන්ම ඩිම්බ මෝචනය නැවත ආරම්භ වෙන්න පුළුවන්
- පැලෝපීය නාල විවෘත බව — නාල අවහිර නම් ඩිම්බයක් මෙරවීමෙන් ප්‍රයෝජනයක් නැහැ
- ස්වාමිපුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂණය — වාර්තාව දුර්වල නම් සැලැස්ම සම්පූර්ණයෙන් වෙනස් වෙනව
- සිරුරේ බර, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි — විශේෂයෙන් PCOS ඇති කාන්තාවන්ට
Letrozole — පළමු තේරීම
Letrozole ඔසප් චක්‍රයේ මුල් දිනවල (බොහෝවිට 2 වන දිනයේ සිට 6 වන දිනය දක්වා) දින 5ක් ගන්නා පෙත්තක්. මෙය ඉතා කුඩා කාලයකට සිරුරේ oestrogen හෝමෝන මට්ටම අඩු කරනව. එවිට මොළය ඊට ප්‍රතිචාර දක්වා ඩිම්බ කෝෂ උත්තේජනය කරන FSH හෝමෝනය වැඩියෙන් නිපදවනව. ඒ නිසා ඩිම්බයක් මේරීමට පටන් ගන්නව.
වසර ගණනාවක් මේ සඳහා යොදා ගත්තෙ Clomifene ඖෂධය. නමුත් නවතම පර්යේෂණවලින් සොයා ගෙන තිබෙන්නෙ, විශේෂයෙන් PCOS ඇති කාන්තාවන්ට, Letrozole මගින් ජීවත් වෙන දරු උපත් වැඩි ගණනක් ලැබෙන බවයි. ඊට අමතරව Letrozole නිසා නිවුන් දරු ගැබ් ඇති වීමට ඇති අවදානම Clomifene වලට වඩා අඩුයි. ගර්භාෂයේ ඇතුළත බිත්තියට සහ ගැබ් ගෙලේ ස්‍රාවයට Clomifene නිසා ඇති වෙන අහිතකර බලපෑමත් Letrozole වලින් සිදු වෙන්නෙ නැහැ. ඒ හේතු නිසා තමයි දැන් ලෝකයේ ප්‍රධාන මාර්ගෝපදේශ සියල්ලම Letrozole පළමු තේරීම ලෙස නිර්දේශ කරන්නෙ.
Letrozole මුලින් හඳුන්වා දුන්නෙ පියයුරු පිළිකා ප්‍රතිකාරයක් ලෙස වීම නිසා ඖෂධ පත්‍රිකාවේ එය දැක බොහෝ දෙනෙක් බියට පත් වෙනව. සරුභාවය ප්‍රතිකාරයේදී යොදා ගන්නෙ දින 5ක් පමණක් ගන්නා ඉතා කෙටි කාලීන ප්‍රතිකාරයක්. එය ගැබ් ගැනීමට පෙර සිරුරෙන් සම්පූර්ණයෙන් බැහැර වෙන අතර දරුවාට අසාමාන්‍යතා ඇති කරන බවට සාක්ෂි නැහැ.
Clomifene සහ එන්නත් ප්‍රතිකාර
Clomifene තවමත් තෝරාගත් අවස්ථාවලදී යොදා ගන්නව. ඖෂධය ලැබෙන පහසුව සහ එක් එක් කාන්තාවගේ තත්වය අනුව එය තීරණය වෙනව. පෙති වලින් ඩිම්බ මෝචනය සිදු නොවෙන විට දෙවන පියවර ලෙස FSH හෝමෝන එන්නත් (gonadotrophins) යොදා ගන්නව. ඒවා ඩිම්බ කෝෂ වඩාත් ප්‍රබල ලෙස උත්තේජනය කරන නිසා වඩා සමීප නිරීක්ෂණයක් අවශ්‍ය වෙනව.
ස්කෑන් නිරීක්ෂණය අත්‍යවශ්‍යයි
ඖෂධ ගත් පසු ඔසප් චක්‍රයේ 11–12 වන දිනය පමණ වෙන විට ස්කෑන් පරීක්ෂාවකින් ඩිම්බය මේරෙන follicle එකේ විශ්කම්භය මැන බලනව. එය මිලිමීටර 18ක් පමණ වූ විට ඩිම්බය පිටවීමට සූදානම්. එවිට ඩිම්බය පිට කරන trigger එන්නතක් දී, ලිංගික එක්වීමට සුදුසුම දින ගැන උපදෙස් දෙනව. සමහර අවස්ථාවලදී මෙය IUI ප්‍රතිකාරය සමග එකට සිදු කරනව. ස්කෑන් නිරීක්ෂණය අතිරේකයක් නොවෙයි — ඖෂධ මාත්‍රාව නිවැරදිද, follicle වැඩි ගණනක් වර්ධනය වෙනවද කියල දැන ගන්න පුළුවන් එකම ක්‍රමය එයයි. ස්කෑන් නොකර මාස ගණනක් පෙති ගැනීම කාලය නාස්ති කිරීමක් වගේම අවදානම් දෙයක්.
සාර්ථකත්වය සහ අවදානම්
පෙති වලට ප්‍රතිචාර දක්වන කාන්තාවන්ගෙන් බහුතරයකට මුල් චක්‍ර කිහිපය තුලම ඩිම්බ මෝචනය සිදු වෙනව. ඩිම්බ මෝචනය සිදු වුනත් ගැබ් ගැනීම වයස සහ අනිත් සාධක මතත් රඳා පවතිනව. සාමාන්‍යයෙන් චක්‍ර 6ක් පමණ දක්වා උත්සාහ කර, සාර්ථක නොවුනොත් ඊළඟ පියවර ගැන සලකා බලනව — අසීමිත කාලයක් පෙති ගැනීම විසඳුමක් නොවෙයි.
- නිවුන් දරු ගැබ් — ඕනෑම ඩිම්බ උත්තේජන ප්‍රතිකාරයකින් මේ අවදානම වැඩි වෙනව. නිවුන් ගැබ් මවටත් දරුවන්ටත් අවදානම් වැඩි නිසා අඩු මාත්‍රාවකින් පටන් ගෙන ස්කෑන් නිරීක්ෂණය කරන්නෙ ඒ නිසයි.
- ඩිම්බ කෝෂ අධික ලෙස උත්තේජනය වීම (OHSS) — පෙති වලින් කලාතුරකින් සිදු වුවත් එන්නත් වලදී සැලකිලිමත් විය යුතුයි. දැඩි උදර වේදනාව, බඩ ඉදිමීම, වමනය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වුවහොත් වහාම වෛද්‍යවරයාට දන්වන්න.
- සුළු අතුරු ආබාධ — උණුසුම දැනීම, හිසරදය, මානසික වෙනස්කම් සහ බඩේ අපහසුතාව සාමාන්‍යයෙන් සුළු වන අතර ඉබේ පහව යනව.
ඔබටම කල හැකි දේ
PCOS ඇති කාන්තාවන්ට සිරුරේ බර කිලෝග්‍රෑම් කිහිපයක් අඩු කර ගැනීමෙන් පමණක් ඖෂධ නොමැතිවම ඩිම්බ මෝචනය නැවත ආරම්භ වෙන අවස්ථා තිබෙනව. බර අඩු වූ විට ඖෂධවලට ලැබෙන ප්‍රතිචාරයත් වැඩි වෙනව. දුම්පානය නතර කිරීම සහ ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් ඇසිඩ් ගැනීම වැදගත්.
වසරක් උත්සාහ කලත් දරු ඵල පමා නම් (වයස 35ට වැඩි නම් මාස 6ක්), නැතිනම් ඔසප් වීම ඉතා අක්‍රමවත් හෝ නතර වී ඇති නම් ඊට පෙරත්, වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. කලින් පැමිණෙන තරමට ඔබට තිබෙන විකල්ප වැඩියි.