ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු
කාන්තාවකට දරු ඵල අහිමි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂ වලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බ පිට නොවීම. මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඔසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුල ඩිම්බයක් නිසි ප්‍රමාණය මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බයක් මේරීම සිදුවන ආකාරය සහ එය නිසි ලෙස සිදු නොවීමට බලපාන කරුණු ගැන මේ ලිපිය වෙන් වෙන්නෙ.
ගැහැනු දරුවෙකු උපදින විටම ඩිම්බ කෝෂවල ඩිම්බ ලෙස මේරීමට හැකි ප්‍රාථමික සෛල සෑදී අවසන්. මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල සාමාන්‍යයෙන් මසකට එක ඩිම්බයක් පිටවීම සිදුවන අතර මෙලෙස ජීවිත කාලය තුල ඩිම්බ 400 කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පිටවෙනව. ඩිම්බයක් මේරීම ආරම්භ වෙන්නෙ ඔසප් චක්‍රය ආරම්භ වීමත් සමගයි. මෙයට කාන්තාවගේ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන FSH (Follicle stimulating hormone) නමැති හෝමෝනය අවශ්‍ය වෙනව. පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝනය පිටවීම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස කොටසින් නිපදවන GNRH නැමති තවත් හෝමෝනයක බලපෑමට අනුවයි.
ඩිම්බ මේරීම සිදු නොවන හේතු
- ඩිම්බ කෝෂ වල ප්‍රමාණවත් ලෙස ඩිම්බ නොමැති වීම. මෙවැනි තත්වයක් ඇති දැයි රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් සහ ස්කෑන් පරීක්ෂාවේ දී Antral follicle count සොයා බැලීමෙන් අනුමාන කරන්න පුළුවන්.
- අධික තරබාරු බව. BMI අගය මගින් මේ ගැන සොයා බලන්න පුළුවන්. සිරුරේ බර අඩු කර ගැනීම මගින් නැවත හෝමෝන ක්‍රියාවලිය යතා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව.
- අධික ලෙස කෙට්ටු වීම. සිරුරේ හෝමෝන නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රමාණයට මේද ස්තරයක් තිබීම වැදගත් වෙනව. එසේ නොමැති නම් ඔබේ බර වැඩි කර ගැනීම අවශ්‍යයි.
- ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම නිසාත් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී ඩිම්බ මේරීම අඩපණ වෙන්න පුළුවන්.
- Hyperprolactinemia: ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම ඉහල යාම ඩිම්බ මේරීමට බලපාන තත්වයක්.
- Hyperthyroidism and Hypothyroidism: තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයත් ඩිම්බ මේරීමට බලපානව. තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩි වීම මෙන්ම අඩු වීමත් ගැබ් ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්.
- PCOS: පොලිසිස්ටික් රෝග තත්වය නිසාත් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර වෙනම ලිපියක් සඳහන් වෙනව.
ඊට අමතරව ඩිම්බ මේරීම සිදු නොවෙන්න තවත් විවිධ හේතු බලපානව. සමහර විට කිසිම හඳුනා ගත හැකි හේතුවක් නොමැතිවත් ඩිම්බ මේරීම සිදු නොවන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් ඉහත බොහෝ රෝග තත්වයන් ඇති කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දී ඩිම්බ මේරීම උත්තේජනය කරන්න හැකියාව තිබෙනව. ඒ නිසා එවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව උපදෙස් ලබා ගන්න.