ඔබේ දරු ප්‍රසූතිය සිහිනෙන් දැක්කා වගේ ලස්සන කරගන්න - උපත් සැලැස්මක් හදමු!

සෑම ගැබිනි මවක්ම තමන්ගේ දරුවා ආරක්ෂිතව බිහිකරන ආකාරය ගැන ඉතාමත්ම පරීක්ෂාකාරීව සැලසුම් කරනව. නමුත් ඒ පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කරන ආකාරය ගැනයි මේ ලිපියෙන් පැහැදිලි කරන්නෙ. Birth plan කියල කියන්නෙ ඔබේ දරු ප්‍රසූතිය සිදුවන ආකාරය සහ ඒ සම්බන්ධ ඔබේ මනාප ඔබේ වෛද්‍ය වරයා, පවුල් සෞඛ්‍ය නිලධාරිය සහ ඔබේ පවුලේ සාමාජිකයන් එක්ව සකස් කරන පුංචි සටහනක්. දියුණු රටවල සෑම මවක්ම මෙලෙස Birth plan එකක් සකස් කර තම දරු ප්‍රසූතිය එයට අනුව සිදුකරන්න සැලසුම් කරන නමුත් ලංකාවේ බොහෝ ගැබිණි මව් වරු මේ පිළිබඳව එතරම් දැනුවත් නැහැ.

දරු ප්‍රසූතිය සැලසුම කරද්දි මුලින්ම ඔබේ දරු ප්‍රසූතියට යාමට ඔබ කැමති රෝහල සහ වෛද්‍ය වරයා තෝරා ගැනීම ඉතාමත් වැදගත්. දරු ප්‍රසූතියට පෙර ඔබ සිටින කාමරයේ පහසුකම්, ප්‍රසූත වේදනාව අඩුකර ගැනීමට ඔබට ලැබෙන ප්‍රතිකාර ක්‍රම, දරු ප්‍රසූතිය අවස්තාවේදී ඔබ ලඟින් සිටින්නේ කවුරුන්ද, දරු ප්‍රසූතිය සිදු කිරීමට ඔබට සහාය වන්නේ කවුරුන්ද වැනි කරුණු ඔබ තෝරා ගන්නා රෝහල සහ වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. ඔබේ සැලැස්මට පහත කරුණු අඩංගු කරන ගන්න පුළුවන්

1. දරු ප්‍රසූතිය සිදු කරන රෝහල. මේ සඳහා පහසුකම් සහිත රෝහලක් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. හදිසි අවස්තාවකදී මවට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා ආරක්ෂිතව සමනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් තිබෙන රෝහලක් ඔබේ පදිංචි ස්ථානය සහ ඔබේ ආර්තික මට්ටම අනුව තෝරා ගන්න.

2. ඔබ සාමාන්‍ය දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වෙනවාද, නැත්නම් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වේවිදයන වග කලින් ඔබේ වෛද්‍ය වරයා සමග සාකචඡා කර තීරණය කර ගන්න.

3. දරු ප්‍රසූතිය සඳහා ඔබට සහය වන්නේ කවුරුන්ද යන වග. ඔබ පුද්ගලික රෝහලක දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන්නේ නම්, ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා දරු ප්‍රසූතිය අවස්තාවේ ඔබට සහය වීමට සිටීද යන්න කලින් ඔබේ වෛද්‍ය වරයා ගෙන් අසා දැන ගන්න. සාමාන්‍ය යෙන් රජයේ රෝගලක නම් දරු ප්‍රසූතියට මවට සහාය වන්නේ හෙදි හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක්.

4. ප්‍රසූතිය අවස්තාවේ ඔබේ සහකරුට හෝ පවුලේ කෙනෙකුට ඔබ සමග සිටිය හැකිදැයි කලින් අසා දැන ගෙන, ඔබ සමග සිටින කෙනා කලින් සැලසුම් කර ගන්න.

5. ප්‍රසූත වේදනාව සමනය කරන්න ඔබ කැමති ක්‍රමය. ඔබ තෝරා ගන්නා රෝහල අනුව ඔබේ ප්‍රසූත වේදනාව සමනය කිරීමට, ඔබට විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන්. ඔබේ රෝහලේ තිබෙන ක්‍රම වලින් වෛද්‍ය උපදෙස් අනුව ඔබට සුදුසුම ක්‍රමය කලින් තීරණය කර තබා ගන්න.

6. දරු ප්‍රසූතිය අවස්තාවේ විශේෂිත කරුණු පිළිබඳව සාමාන්‍යයෙන් සිදු කරන ආකාරය වඩා ඔබේ මනාපයන් වෙනස් වෙන්නේ නම් ඒ පිළිබඳ කලින් සාකච්ඡා කර ඔබේ සැලසුමට ඇතුලත් කරන්න. දරුවා උපන් ගමන්ම මවු කිරි දීම, සමෙන්-සමට ස්පර්ශය, දරු ප්‍රසූතිය පහසු කිරීමට එපිසියෝටොමි කැපුමක් යෙදීම, පෙකණි වැල කැපීම ප්‍රමාද කිරීම වැනි කරුණ මෙලෙස ඔබේ සැලසුමට එක් කරගන්න පුළුවන්.

7. දරු ප්‍රසූතියෙන් පසුව ඔබේ දරුවා පරීක්ෂා කර බලන විශේෂඥ වෛද්‍ය වරයා පුදගලික රෝහලකදී නම් ඔබේ මනාපය අනුව තෝරා ගන්න හැකියාව තිබෙනව.

8. සිසේරියන් සැත්කමක් අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව විශේෂිත විස්තරත් ඔබේ සැලසුමට ඇතුලත් කර ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම කරන ආකාරයට වඩා වෙනස් යමක් ඔබට අවශ්‍ය නම් ඒ ගැන වෛද්‍ය වරයා ගෙන් අසා තීරණය කරන්න. ඔබේ සැලසුමට අවශය කරුණු පිළිබඳව කලින්ම ඔබත පවුලේ සාමජිකයනුත් සාකච්ඡා කර ඔබේ රෝහල සහ වෛද්‍ය වරයා ඊට එකඟ වන්නේ දැයි සොයා බලන්න. සාමාන්‍යයෙන් උපත් සැලසුම දරු ගැබට සති 36 – 37 අතර කලාය වන විට සූදානම් කර තබා ගැනීම සුදුසුයි. මේ සඳහා ඔබට අවශ්‍ය දැනුම අප වෙබ් අඩවියේ තිබෙන ලිපි කියවීමෙන් ලබා ගන්න. පුළුවන්. ඔබට දැන ගන්න අවශ්‍ය විශේෂිත කරුණක තිබේ නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී සාකච්ඡා කරන්න. මේ සඳහා සුගැබි සායනයට පැමිණෙන ඔබට වැඩි කාලයක් වෙන් කිරීමට අපි සූදානම්.

උපත් සැලස්ම කියන්නෙ ස්ථිර සැලසුමක් නොවෙයි. ඔබේ හො දරුවාගේ ආරක්ෂාවට, සමහර විට මෙය හදිසියේ වෙනස් කරන්න සිදු වෙන්න පුළුවන්. ඒත් ඔබේ කැමැත්ත ලිඛිතව ඉදිරිපත් කර ඇති විට හැකි සෑම අවස්තාවකදීම ඊට සහාය දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON