සාමාන්‍ය ප්‍රසූතිය ඉක්මන් කරන ක්‍රම. (Induction of labour)

සාමාන්‍ය ප්‍රසූතිය ඉක්මන් කරන ක්‍රම. (Induction of labour)

සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා ගැබිනි මවකට ප්‍රසූත වේදනා ඇතිවෙන තෙක් සිටීමට අවශ්‍ය වෙනව. නමුත් සමහර අවස්තා වලදී ප්‍රසූත වේදනා ඇති වීම ප්‍රමාද වෙන්න පුළුවන්. තවත් සමහර මව් වරුන්ට කලින් දරුවා බිහි කිරීම අවශ්‍ය වෙන හේතු තිබෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී දී ප්‍රසූත වේදනාව කලින් ඇති කිරීම (Induction of labour) සඳහා වෛද්‍ය වරු උපදෙස් ලබා දෙනව.

Induction කියන්නෙ මොකක්ද? එ් ගැන මේ ලිපියෙන් ඔබට විස්තර කරන්නම්. සාමාන්‍ය ලෙස දරුවෙකු බිහි වීමට ගර්භාෂයේ පහලින් යෝනි මාර්ගයට නෙරා ඇති ගැබ් ගෙල කොටස විවෘත වීම අවශ්‍ය වෙනව. මෙහි දී ගැබ් ගෙල ප්‍රමාණයෙන් කෙටි වීම සහ විවෘත වීම ස්වභාවිකව සිදු වෙන ක්‍රියා වලියක්. මේ සඳහා සිරුරේ නිපදවෙන ප්‍රොස්ටගැන්ඩින් නම් රසායනික අවශ්‍ය වෙනව. ඒ වගේම ගර්භාෂය වරින් වර සංකෝචනය වී දරුවා උපත් මාර්ගය තුලින් පහලට තල්ලු කිරීම සාමාන්‍ය ප්‍රසූතියේ දී සිදු වෙනව. මෙලෙස සිදු වෙන ගර්භාෂයේ මාංශ පේෂි සංකෝචනය වීමත් ගැබ් ගෙල විවෘත වීමත් යන කරුණු දෙකම මත සාමාන්‍ය ප්‍රසූතියක් සිදු වෙන දිනය තීරණය වෙනව.

ගැබ් ගෙල විවෘත වීම සිදු නොවන විට එය උත්තේජනය කිරීම සඳහා ඖෂධ හෝ වෙනත් ක්‍රම භාවිතා කිරීම අවශ්‍ය වෙනව. මේ සඳහා භාවිතා කරන ප්‍රධාන ඖෂධ වර්ග කිහිපයක් තිබෙනව.

1. ප්‍රොස්ටගැන්ඩින් වර්ගයේ ඖෂධ

යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙත්තක් ලෙස හෝ ජෙල් වර්ගයක් ලෙස මෙම ඖෂධය භාවිතා කරනව. එමගින් ගැබ් ගෙල විවෘත වීම වගේම ගර්භාෂය සංකෝචනය වීමත් උත්තේජනය කරන නිසා ප්‍රසූතිය ඉක්මන් කරන්න පුළුවන්.

2. ඔක්සිටොසින් හෝමෝනය (Syntocin)

මෙම ඖෂධය සේලයන් සමග නික්ෂේපණයක් ලෙස ලබා දෙන්නෙ. සාමාන්‍යයෙන් ගැබ් ගෙල විවෘතව ඇති විට ගර්භාෂය සංකෝචනය වීම සහ ප්‍රසව වේදනා ඇති වීම උත්තේජනය කිරීම සඳහා මෙය බහුලව භාවිතා කරනව.

3. කලලාවාරික පටලය සිදුරු කිරීම (Water bag එක කැඩීම)

ගැබ් ගෙල විවෘතව පවතින විට වෛද්‍ය වරු විසින් සියුම් උපකරණයක් යොදා ගෙන water bag එකේ කුඩා විවරයක් ඇති කිරීම මෙහි දී සිදු කරනව. ඉන් පසු ගර්භ තරලය පිටතට ගලා ඒමක් සිදු වෙන අතර ඒ සමග ප්‍රසූත වේදනා ඇති වීම ඉක්මන් වෙනව. බොහෝ විට ඉන් පසු syntocinon  ඖෂධය ලබා දීමත් සිදු කරනව.

4. ගැබ් ගෙල හරහා කුඩා catheter එකක් ඇතුළු කිරීම.

ගැබ් ගෙල විවෘත වීම උත්තේජනය කිරීමට මෙම ක්‍රමය භාවිතා කරනව. මෙලෙස ඇතුළු කරන බටය ගර්භාෂය තුල පැය 12ක පමණ කාලයක් තිබෙන විට ගැබ් ගෙල ඉබේම විවෘත වී එය පිටතට පැමිණෙනවා. මෙය තරමක් මවට අපහසු නමුත් ඒ නිසා ප්‍රොස්ටග්ලැන්ඩින් ඖෂධ භාවිතයේ දී මෙන් අතුරු ආබාධ ඇති වෙන්නෙ නැති නිසා මෙය බබාට වඩාත් හිතකරයි

මෙම ක්‍රම භාවිතා කර ප්‍රසූතිය ඉක්මන් කිරීම සෑම මවකට අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් වෛද්‍ය වරු මෙවැනි ක්‍රමයක් අවශ්‍ය යැයි නිර්දේශ කරන විශේෂ අවස්තා තිබෙනව.

උදා

  1. නියමිත කාල සීමාව පසු වන තෙක් ප්‍රසූතිය සිදු නොවීම.

මවු කුස තුල දරුවා නියමිත ප්‍රමාණයට වර්ධනය සහ විකසනය වී අවසන් වූ පසු දරු ගැබ මවු කුස තුල රඳවා තබා ගැනීම තරමක් අවදානම් විය හැකියි. එයට හේතු වෙන්නේ මව් කුස තුල සිටින දරුවන්ගෙන් සුළු ප්‍රතිශතයක් කිසිම හේතුවක් නොමැතිවත් මිය යන්න පුළුවන් නිසා. මෙවැනි තත්වයන් වළක්වා ගන්න කලින් ප්‍රසූත වේදනා ඇති කිරීම යොදා ගත හැකියි.

  1. මවට කිසියම් රෝග තත්වයක් පැවතීම

අධික රුධිර පීඩනය, දියවැඩියාව, අක්මාවේ ආබාධ වැනි රෝග තත්වයන් මවට තිබෙන විට ඊට ප්‍රතිකාරයක් ලෙස දරුවා කලින් බිහි කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල දීත් ඉහත ක්‍රම දරුවා බිහි කිරීම ඉක්මන් කරන්න යොදා ගන්නවා.

  1. දරුවාට කිසියම් අවදානම් තත්වයක් පැවතීම.

දරුවා මව් කුස තුල තවදුරටත් තබා ගැනීම අවදානම් යැයි වෛද්‍ය වරු නිර්දේශ කරන අවස්තා වලදී කලින් ප්‍රසූත වේදනා ඇති කිරීම අවශ්‍ය වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තාවයන් සහ මල දරු උපත් වැනි තත්වයන් වල දීත් මෙම කලින් ප්‍රසූතිය සිදු කිරීම අවශ්‍ය වෙනව.

ප්‍රසූත වේදනා ඇතිවීම සහ ගැබ් ගෙල විවෘත කිරීම උත්තේජනය කිරීම සඳහා මෙම ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම බහුලව භාවිතා කරනව. ඒ නිසා අවශ්‍ය අවස්ථාවක සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙන නමුත් ඒ නිසා අතුරු ආබාධ ඇති වෙන්නත් ඉඩ තිබෙනව.

ප්‍රසූත වේදනා ඇති කිරීමට දෙන ඖෂධ නිසා සමහර විට ගර්භාෂය අවශ්‍ය ප්‍රමාණයට වඩා සංකෝචනය වීමෙන් දරුවාට රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයන් කලින් හඳුනා ගැනීමට දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණයට ලක් කරන අතර එවැනි අවදානමක් ඇති අවස්තාවල සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීමට සිදු වෙනව.

   
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON