විවාහක යුවලකගේ ඊළඟ බලාපොරොත්තුව දරු සම්පතකි. එම අපේක්ෂාව ප්‍රමාද වීම මහත් කනස්සල්ලක් ඇති කරවයි. මෙම ගැටළුව ලංකාවේ විවාහක යුවල් වලින් සියයට 15කට (15%) පමණ බලපා ඇති සුලබ තත්වයකි. මේ සඳහා බලපා ඇති හේතු සොයා ප්‍රතිකාර කිරීමෙන් බොහෝ විට දරුවෙකුගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ඇත. එයට උපකාරී වන බොහෝ පරීක්ෂණ අතර වැදගත් අංගයකි ලැපරොස්කොපි පරීක්ෂණය.
ලැපරොස්කෝප් (laparoscope) යනු ඉතා සිහින් කැමරාවක් සහිත උපකරණයකි. ලැපරොස්කොපි පරීක්ෂණයේදී පලමුවෙන්ම කාන්තාවගේ උදරය කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුවෙන් පුරවා ගනු ලැබේ. ඉන් පසු නාභිය තුලින් ඇති කරන ලද කුඩා සිදුරක් මගින් එම සිහින් කැමරාව උදරයට ඇතුල් කරනු ලබයි. එවිට ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල ඇතුළු ප්‍රජනන පද්ධතියේ අංග විශේෂඥ වෛද්‍යවරයාට මනාව නිරීක්ෂණය කල හැක. එහි දී දරු ඵල ප්‍රමාද කරන සමහර රෝගී තත්වයන් වන ෆයිබ්‍රොයිඩ්ස් (Fibroids), එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) සහ ප්‍රජනන පද්ධතියේ ආසාදන (PID) වැනි තත්වයන් හඳුනා ගැනීම මෙන් ම එම අවස්ථාවේ ම සමහරකට ප්‍රතිකාර කිරීමද සිදුකල හැක. එපමණක් නොව ගැබ් ගෙල හරහා වර්ණකයක් ඇතුල් කර (dye test) එය පැලෝපීය නාල හරහා ගමන් කරන ආකාරය බලා පැලෝපීය නාල වල යම් අවහිරයක් ඇති දැයි සොයා ගත හැක.
ලැපරොස්කොපි පරීක්ෂාව යනු සම්පූර්ණ නිර්වින්දනයට ලක් කර සිදු කරන සුළු ශල්‍යකර්ම ගණයේ පරීක්ෂණයකි. එය සිදුකල යුතු වන්නේ අදාළ කාන්තාවට අත්‍යවශ්‍ය නම් පමණකි. රෝග ඉතිහාසය විමසීම උදරය පරීක්ෂා කිරීම ලේ සහ ස්කෑන් පරීක්ෂණ ලබා ගැනීම ආදියෙන් පසුව විශේෂඥ වෛද්‍ය වරයා විසින් ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය දැයි තීරණය කරනු ඇති.
සංකූලතාවයකින් තොර ලැපරොස්කොපි පරීක්ෂාවට විනාඩි 15ත් 30ත් අතර කාලයක් ගතවේ. නිවැරදි ක්‍රමවේද අනුගමනය කර සිදු කරන විට මෙය ඉතා ආරක්ෂාකාරී මෙන් ම අතුරු ආබාධ අඩු ශල්‍යකර්මයකි. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණයට ලක් වන කාන්තාවට පැය කිහිපයක් තුල දී සාමාන්‍ය තත්වයට පත්වී රෝහලෙන් පිටව යා හැකිය.
අනෙකුත් ශල්‍යකර්ම වලදී මෙන් ම ලැපරොස්කොපි පරීක්ෂණයේදීද සංකූලතා ඇතිවිය හැකිය. ශල්‍ය කර්මයෙන් පසුව ඇති වන වේදනාව සුලබ වුවත් එය උදරය විවෘත කර සිදු කරන ශල්‍ය කර්ම වලට වඩා ඉතා අඩු එකක් මෙන් ම කෙටි කාලයක් පවතින්නකි. විෂබීජ මගින් ඇතිවෙන ආසාදනද ලැපරොස්කොපි ක්‍රමය තුල සාපේක්ෂව අඩුය. මුත්‍රාශය, බඩවැල් වැන අවයව වලට හානි වීම, හර්නියා තත්ව ඇතිවීම වැනි බරපතළ සංකූලතා ඇති වන්නේ ඉතාම කලාතුරකිනි.
ලැපරොස්කොපි පරීක්ෂණය මගින් පැලෝපීය නාල වල අවහිරතාවක් නැති බව සනාථ කර ගත් පසුව දරුවකු ලබා ගැනීමේ ඉදිරි ක්‍රියාවලියට යොමු වීමට අවකාශය ලැබේ. එමෙන්ම ෆයිබ්‍රොයිඩ්, එන්ඩොමෙට්‍රියෝසිස්, ආසාදන වැනි රෝග තත්ව වලට එවෙලේම ප්‍රතිකාර කිරීමෙන් දරු ඵල ලබා ගැනීමේ හැකියාව වැඩි කර ගත හැකිය. මෙම එක් එක් රෝග තත්වයන් ගැන ඉදිරි ලිපි වලින් වෙන වෙනම සාකච්ඡා කරනු ඇත.
SHARE THIS WITH FRIENDS ON