Results for Tag: Surgery (9)
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය  පිළිබඳව මෙයට පෙර පල කල ලිපි මගින් දැනටමත් ඔබ දැනුවත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු. මෙවර ලිපියෙන් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ  එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳවය. මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව ගර්භාෂයේ පමණක් පිහිටන එන්ඩොමෙට්‍රියම් සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල එනම් ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලෝපීය නාල හෝ ඩිම්බ කෝෂ මත ඇතිවීමයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙම රෝග තත්ත්වය නිර්ණනය කරගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්ෂණය මගින් නිවැරදිවම මෙම තත්ත්වය හඳුනා ගත හැකිය. ඒ අනුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය නිසා ඇති වන වේදනාව සඳහා වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගත හැකි වුවත් දරුඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට නම් වේදනා නාශක වලින් සාර්ථක විසඳුමක් ලබා ගත නොහැකිය. එනිසා එවැනි රෝගී කාන්තාවකට ශල්‍යකර්ම මගින් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ඇත. ලැපරොස්කොපි ශල්‍යකර්මය දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කල හැකියි. මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. මෙමගින් වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබේ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති විට පැලෝපීය නාල අවහිර වීමත් පටක එකිනෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නොහැකිවේ. එ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වීමට විසඳුමක් ලෙස මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය වෙත පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ලැපරොස්කොපි ශල්‍යකර්මයක දී හැකියාව ඇත. මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියොසිස් සෛල ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඇතැම් විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවේ. හෝමෝන ප්‍රතිකාර මගින් මාස 3-9 දක්වා කාලයක් ඔසප් නැවතීමට ප්‍රතිකාර කරනු ලබයි. මෙහිදී බලාපොරොත්තු වනුයේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වන එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වර්ධනය නතර කිරීමයි. එසේ වර්ධනය නතර කිරීමෙන් ඒවා විනාශ වේ. ප්‍රතිකාර පටන් ගත් පසු අඛණ්ඩව මාස 09ක් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා සාමාන්‍ය උපත් පාලන පෙති, ප්‍රොජෙස්ටරෝන් මෙන්ම GnRH analogues නැමැති හෝර්මෝන ඉන්ජෙක්ෂන් යොදා ගනියි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අතුරු ආබාධ අවමය. සාර්ථක සැත්කමකින් පසුව වසර 2- 3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව සඳහා විසඳුමක් ලැබෙන අතරම දරුඵල අපේක්ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව ද වැඩිවේ. මෙම එන්ඩොමෙට්‍රියෝසිස් සෛල නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති නිසා, ප්‍රතිකාර කිරීමෙන් පසු  ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුය. ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමඉහත ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නොලැබිය හැකි පරිදි රෝගය ඉතා දරුණු නම් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබා දිය හැකිය. මෙම ක්‍රමය සුදුසු වන්නේ නැවත දරුපළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන කාන්තාවන්ටයි.   සටහන -  දිශාන්ති වෙදගේ..
ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts
ලැපරොස්කොපි සැත්කම් පිළිබඳව බොහෝ කරුණු මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනව.  මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්න ඩිම්බ කෝෂවල ගෙඩි ඉවත් කරන සැත්කම් ගැන ඔබ දැනුවත් කිරීමයි. දැනට කාන්තා රෝග වලට සිදු කරන සැත්කම් වලින් බොහොමයක්ම ලැපරොස්කොපි ක්‍රමයට ඉතාමත් ආරක්ෂිව සිදුකරන්න පුළුවන්. එහිදී සිරුරට සිදු වන හානිය සහ අතුරු ආබාධ අඩු නිසා සැත්කමෙන් පසු ඉතා ඉක්මණින් පූර්ණ සුවය ලැබෙනව.බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම. මෙලෙස හඳුනා ගනු ලබන ගෙඩි වලින් බහුතරයක්ම කිසිම ප්‍රතිකාරයකින් තොරව ඉබේම හැකිලී යනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකදී ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත් පමණින් එයට සැත්කමක් සිදු කිරීම හෝ හැකිලීමට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් ඩිම්බ කෝෂ වල ඇති වෙන සමහර ගෙඩි මෙලෙස ඉබේ හැකිලී යන්නෙ නැහැ. ඒවා ක්‍රමයෙන් විශාල වීමට, සංකූලතා ඇති වීමට හෝ පිළිකා බවට පත්වීමට අවදානමක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාට නිගමනය කරන්න පුළුවන්. එවැනි අවදානමක් ඇති විට ඊට සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂ වල පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර අනිකුත් සියළුම සැත්කම් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදුකරන්න පුළුවන්. එවැනි සැත්කමකදී සිරුරට සිදුවෙන හානිය අවමයි. ඒ වගේම ඩිම්බ කෝෂයේ සාමාන්‍ය සෛල ඉවත් කිරීමකින් තොරව ගෙඩිය පමණක් ඉවත් කල හැකි  නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බාධාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම සැත්කම සිදු කරන දිනයේම හෝ පසු දින රෝහලෙන් බැහැර වීමටත් දින කිහිපයක් ඇතුලත සාමාන්‍ය වැඩකටයුතු නැවත ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙනව. ලැපරොස්කොපි සැත්කමකදී උදරයේ සෙන්ටිමීටරයකට වඩා කුඩා කැපුම් තුනක් පමණක් සිදු කර උදරය ඇතුලත සජීවී වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර ඒ ආධාරයෙන් ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කරමින් සැත්කම සිදු කරන්නෙ. ඩිම්බ කෝෂ වල ඇති වෙන ඉතා විශාල ගෙඩියක් වුවත් මෙම ක්‍රමයට ආරක්ෂිතව සිරුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණය දැන් තිබෙනව. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් වලින් බලා ගන්න පුළුවන්.ඩිම්බ කෝෂ වල ගෙඩි1. ලිපිය - ඩිම්බ කෝෂ වල ඇති වෙන ගෙඩි2. රූපවාහිනී වැඩසටහන3. ගුවන් විදුලි වැඩසටහනලැපරොස්කොපි සැත්කම්1. ලිපිය - විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් 2. රූපවාහිනී වැඩසටහන..
කැපුම් තුවාල රහිතව ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)
ස්වභාවිකව දරුවෙකු බිහි වීම සිදු වන්නෙ යෝනි මාර්ගය හරහායි. ඒ වගේම ගර්භාෂය ඉවත් කරන සැත්කම වුවත් යෝනි මාර්ගය හරහා සිදු කිරීමට හැකියාව තිබෙනව. එහිදී උදරයේ කිසිම කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම කැපුම් සහ මැහුම් යොදන්නෙ යෝනි මාර්ගය ඇතුළතින් පිටතට නො පෙනෙන ආකාරයටයි. ගර්භාෂය ඉවත් කරන ලැපරොස්කොපි ක්‍රමයට සහ උදරය විවෘත කර සිදු කරන සැත්කම් පිළිබඳ ව විස්තර වෙනත් ලිපියක අඩංගු වෙනව. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ යෝනි මාර්ගය හරහා සිදු කරන ගර්භාෂය ඉවත් කරන සැත්කම පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගර්භාෂය පහත් වීමට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීම බහුලව සිදු කරන සැත්කමක්. ඊට අමතරව වෙනත් හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කිරීමට අවශ්‍ය වන විටකත්, එම සැත්කමත් යෝනි මාර්ගය හරහා ම සිදු කිරීමට හැකියාව තිබෙනව. කෙසේ වෙතත් ගර්භාෂය පහත් වීමක් නොමැති විට බොහෝ වෛද්‍ය වරු මෙම සැත්කම සිදු කරන්නේ උදරය විවෘත කිරීමෙනුයි. යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමේ ඇති වාසි. 1. උදරයේ කිසිම කැපුමක් හෝ මැහුම් යෙදීමක් අවශ්‍ය නොවීම 2. සිහි නැති කිරීමට අවශ්‍ය නොවීම. මෙය සිසේරියන් සැත්කමක දී මෙන් හිරි වැටීම සඳහා කොන්දට නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දී සිදු කරන්න පුළුවන්. 3. සැත්කම සඳහා ගතවන කාල වේලාව සහ වියදම ලැපරොස්කොපි සැත්කමකට සාපේක්ෂව අඩු වීම නමුත් මෙම සැත්කම ලැපරොස්කොපි සැත්කම වගේම සෑම කාන්තාවකට සුදුසු නැහැ. සමහර අවස්තා වලදී විවෘත සැත්කමක් හෝ ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. උදා. 1. ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වීම නිසා යෝනි මාර්ගය හරහා ඉවත් කිරීම අපහසු වීම. 2. කලින් සැත්කම් නිසා උදර කුහරය ඇතුළත ඇලීම් ඇතිවී තිබෙනම් මේ ක්‍රමයට ඒවා ආරක්ෂිත ව ඉවත් කිරීම අපහසුයි. 3. මේ සඳහා පුහුණු නාරිවේද වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. සෑම වෛද්‍ය වරයෙකුටම මෙවැනි සැත්කමක් කිරීමට අවශ්‍ය නිපුණතාවය නැහැ. 4. කලාතුරකින් සැත්කම සිදු කරන අවස්තාවේ අභන්තර රුධිර වහනයක් ඇති බව දැන ගැනීම. මොකක්ද මේ සැත්කමේ දී සිදු වෙන්නෙ? මුලින් ම සැත්කම සඳහා නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දීම සිදු කරනව. එය සිසේරියන් සැත්කමක දී මෙන් කොන්දට ලබා දෙන නික්ෂේපණයක් ලෙසයි ලබා දෙන්නෙ. පියවි සිහිය තිබිය දීම මෙම සැත්කම සිදු කරන්න මේ ඖෂධ මගින් ලැබෙන නිර්වින්දනය ප්‍රමාණවත් වෙනව. නමුත් සමහර විට පූර්ණ නිර්වින්දනය (සිහි නැති කිරීම) අවශ්‍ය වෙන්න පුළුවන්. ඉන් පසු යෝනි මාර්ගය ඇතුළත කුඩා කැපුමක් යොදා ගර්භාෂය කොටසින් කොටස සිරුරෙන් වෙන් කිරීම සිදු කරනව. අවසානයේ ගර්භාෂය යෝනි මාර්ගය තුලින් ම පිටතට ගැනීම සිදු කරනව. මෙහි දී රුධිර වාහිනි අවහිර කර සැත්කම අවස්තාවේදී සහ ඉන් පසුව ඇතිවිය හැකි රුධිර වහනයන් නතර කිරීමට කටයුතු යොදනව. ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු අවශ්‍ය නම් පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කමත් ඒ අවස්තාවේදීම සිදු කරන්න පුළුවන්. මෙම සැත්කමෙන් පසු මුත්‍රා පිට වීමට මුත්‍රා බටයක් දැමීම බොහෝ විට සිදු කරනව. එය පැය 12කදී පමණ ඉවත් කිරීමට හැකියාව තිබෙනව. නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරිත්වය අවසන් වන විට වේදනාවක් දැනෙන්න පුළුවන් නිසා වේදනා නාශක ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඉන් පසු සම්පූර්ණ සුවය ලැබෙන තෙක් දින 2 සිට 4 දක්වා කාලයක් රෝහලේ රැඳී සිටීමට අවශ්‍ය වෙන අතර යෝනි මාර්ගයේ ඇතුළත කැපුම සති දෙකක් පමණ වන විට සිදු වෙනව. ගර්භාෂය ඉවත් කරන සැත් කම සිදු කල හැකි වෙනත් ආකාර ගැන පහත ලිපියේ තොරතුර දැක්වෙනව. Laparoscopic Hysterectomy..
විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් සිරුරට අවම හානියක් වෙන ලෙස සිදු කරන හැටි.
ජීවිත කාලය තුල කිසියම් හේතුවක් නිසා සැත්කමට භාජනය වීමට බොහෝ කාන්තාවන්ට සිදුවෙනව. ඒ වගේ අවස්ථාවක ඕනෑම කෙනෙකුගෙ හිතට බියක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි සැත්කමකට බිය වෙන්නේ? ඔබ අසා ඇති සැත්කම් නිසා ඇතිවෙන දරුණු සංකූලතාවයන්. අධික රුධිර වහනය, විෂබීජ ආසාදන වගේම සැත්කමෙන් පසු ඇති වෙන වේදනාවත් මේ අතර වෙනව. මේ වගේ බොහෝ සංකූලතා වලට හේතු වෙන්නෙ උදරය විවෘත කර සිදු කරන විවෘත සැත්කම්. මෙහි දී ශරීරයට සිදු වෙන හානිය වැඩි නිසා නැවත සාමාන්‍ය තත්වයට පැමිණීමට බොහෝ කාලයක් ගත වෙනව. මේ වගේ අවදානම් ඇතිවීම අඩු කර ගන්න ඇති නවීන සැත්කම් ක්‍රමයක් තමයි ලැපරෛාස්කොපි සැත්කම් කියන්නේ. ලැපරොස්කොපි සැත්කමකදී උදරය මතුපිට ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරන්නේ. මින් විශාලතම කැපුම සෙන්ටි මීටර් 1ක් පමණ වෙන්නේ. ඒ තුලින් කුඩා බටයක් වැනි කැමරාවක් (laparoscope) උදරය තුලට ඇතුඵ කර උදරය තුල රූප රාමු තිරයක් මතට ලබා ගන්නව. ඊට අමතරව ඉතා සියුම් ශල්‍ය උපකරණ උදරය තුලට ඇතුළු කර සැත්කම සිදු කරන්නේ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි. මොනවද මේ ලැපරොස්කොපි සැත්කමකින් ඇති වෙන වාසි? මෙහි දී උදරයේ ඉතා කුඩා කැපුම් පමණක් ඇති කරන නිසා සැත්කමෙන් පසු සමේ ඇතිවෙන තුවාල කැලැල් ඉතාමත් කුඩායි. ඒ වගේම සැත්කම අවස්ථාවේ සිදු වෙන රුධිර වහනය ඉතාමත් අවමයි. මෙවැනි සැත්කමකින් පසු විවෘත සැත්කමකදී මෙන් අධික වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය සැත්කමකට පසු මෙන් දින ගණනාවක් රෝහල් ගතව සිටීමට අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙක් ලැපරොස්කොපි සැත්කමකින් පසුව එදින ම හෝ පසු දින රෝහලෙන් බැහැර යනව. ඉන් පසු ඉතා ඉක්මනින් සාමාන්‍ය වැඩකටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනව. ලැපරොස්කොපි සැත්කමකින් පසු විෂබීජ ආසාදන ඇතිවීමට ඇති අවදානම විවෘත සැත්කමකට සාපේක්ෂව ඉතා අඩුයි. මෙවැනි සැත්කමකින් පසු උදර කුහරය තුල ඇලීම ඇතිවීම වැනි සංකූලතා ඉතා අඩු නිසා පසුකාලීන ව දරු ඵල නැති වීමට, උදරයේ වේදනා ඇතිවීමට ඇති අවදානම අඩුයි. ඕනෑම සැත්කමකදී මෙන් ලැපරොස්කොපි සැත්කමක දීත් කලාතුරකින් සංකූලතාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි සිදුවීම, රුධිර වහනය, විවෘත සැත්කමක් අවශ්‍ය වීම වැනි සංකූලතා තිබෙන නමුත් මේ සඳහා ඇති අවදානම විවෘත සැත්කමකදී ඇතිවිය හැකි සංකූලතාවලට සාපේක්ෂව ඉතාමත් අඩුයි. ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්නේ කුමන අවස්ථා වලද? දැන් කාන්තා රෝග සඳහා සිදු කරන සැත්කම් සියල්ලම පාහේ ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔබට කිසියම් හේතුවකට සැත්කමක් අවශ්‍ය නම් එය ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමට හැකියාව බොහෝ විට තිබෙනව. දරු ඵල ප්‍රමාද වීමට හේතු සොයා බැලීම, පැලෝපීය නාලවල අවහිරතා ඇති දැයි සොයා බැලීම මෙලෙස ලැපරොස්කොපි ක්‍රමයට බහුලව සිදු කරන සැත්කමක්. එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ වේදනාවට, දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට ලැපරොස්කොපි සැත්කම් මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ගර්භාෂයෙන් පිටත පිහිටි අවදානම් දරු ගැබක් ඉවත් කිරීම ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමෙන් ඉදිරියේ දී දරු පිළිසිඳ ගැනීමට බාධා වීම අවම කර ගන්න පුළුවන්. ඩිම්බ කෝෂ වල ඇතිවෙන ගෙඩි ඉවත් කිරීම ලැපරොස්කොපි ක්‍රමය මගින් ශරීරයට අවම හානියක් වෙන ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනව. ඒ වගේම ගර්භාෂයේ ඇතිවෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමේ මයෝමෙක්ටොමි සැත්කමත්, ගර්භාෂය ඉවත් කරන හිස්ටරෙක්ටොමි සැත්කමත් දැන් සම්පූර්ණයෙන් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. නමුත් මෙවැනි සැත්කමක් සඳහා නවීන වෛද්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරුන් අවශ්‍යයි. බොහෝ රෝහල් වල මේ සඳහා දැන් පහසුකම් තිබෙන නමුත් විවිධ හේතු නිසා තවමත් බොහෝ කාන්තාවන්ට ලැපරොස්කොපි ක්‍රමයට තම සැත්කම සිදු කරවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබට කිසියම් හේතුවක් මත විවෘත සැත්කමක් අවශ්‍ය යැයි නිර්දේශ කල හොත්, එම සැත්කමම ලැපරොස්කොපි ක්‍රමයට අවම හානියක් වෙන පරිදි සිදු කිරීමේ හැකියාව ඇති දැයි විමසා බලන්න. මේ ගැන ලැපරොස්කොපි සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවීමෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්...
ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන්න හොඳම ක්‍රමය මොකක්ද? Laparoscopic Myomectomy සැත්කම ගැන දැන ගන්න.
  ගර්භාෂයේ ඇතිවෙන ෆයිබොයිඩ් ගෙඩි නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් ම එක් අයෙකුට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් (Fibroids) ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනව. මේ නිසා ඔසප් වීම සමග අධික වේදනාව, අධික රුධිර වහනය, දරු පිළිසිඳ ගැනීම සිදු නොවීම, ගබ්සා වීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර කලින් ලිපියක පල කරනු ලැබුව. මේ සඳහා ප්‍රතිකාර කරන ආකාර කිහිපයක් තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නේ මයෝමෙක්ටොමි (Myomectomy) සැත්කම පිළිබඳ ව. මයෝමෙක්ටොමි කියන්නේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන සැත්කම. මෙය සිදු කල හැකි ආකාර තුනක් තිබෙනව. 1. විවෘත ශල්‍යකර්මය (Open myomectomy) මෙය බොහෝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබුවේ විවෘත සැත්කමක් ලෙස. මෙහි දී ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් වුවත් ඉවත් කිරීමට හැකියාව ඇති අතර ශල්‍යකර්මය අතරතුර රුධිර වහනයට ඇති අවදානම වැඩියි. ඒ වගේම පසුකාලීන ව උදරයේ අනිකුත් අවයව ගර්භාෂයට ඇලීම නිසා සංකූලතා ඇතිවීමටත් ඉඩ කඩ තිබෙනව. සාමාන්‍යයෙන් මේ සැත්කමට සහභාගි වීමට පෙර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුව හොත් ගර්භාෂය පවා ඉවත් කිරීමට කැමැත්ත දීමට සිදුවෙනව. එම නිසා බොහෝ කාන්තාවන් මේ සැත්කමට භාජනය වීමට බියක් දක්වනව. නමුත් දැන් මේ සැත්කම නවීන ලැපරොස්කොපි ක්‍රමයට කිරීමට හැකියාව ලැබී තිබෙනව. 2. ලැපරොස්කොපි ශල්‍ය කර්මය (Laparoscopic myomectomy) ලැපරොස්කොපි ක්‍රමය කියන්නේ රෝගියාට ඉතාමත් පහසු සැත්කම් ක්‍රමයක්. මෙහි දී බඩේ ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරනව. මින් විශාලතම කැපුම සෙන්ටි මීටරයක් තරම් වෙන්නේ. ඒ තුලින් සිහින් කැමරාවක් බඩ ඇතුළතට යොමු කර වෛද්‍යවරයා ඉන් ලැබෙන දර්ශනය යොදා ගෙන සැත්කම සිදු කරන්නේ. ඒ සඳහා භාවිතා කරන්නෙ ඉතාමත් සියුම් ශල්‍ය උපකරණ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි. මේ විදියට ෆයිබ්‍රොයිඩ් ඉවත් කරන විට පිටවෙන ලේ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම ගර්භාෂයට වෙන හානියත් අඩුයි. ඉවත් කරන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ශල්‍ය උපකරණයක් ආධාරයෙන් සිහින් කොටස් බවට පත් කර සෙන්ටි මීටරයක් කුඩා කැපුම තුලින් ම යොමු කරන බටයක් තුලින් උදර කුහරයෙන් පිටතට ගනු ලබනව. ගර්භාෂයේ ගෙඩි ඉවත් කල ස්ථාන වැසීමට යොදා ගන්නේ දිය වෙන මැහුම්. මෙම ශල්‍ය කර්මයෙන් පසු ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ වෙනත් අවයව වලට ඇලී සංකූලතා ඇතිවීමට ඇති අවදානම විවෘත ශල්‍ය කර්මයකට වඩා ඉතා අඩුයි. එම නිසා දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු වෙන කාන්තාවකට වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ ලැපරොස්කොපි ක්‍රමයට මයෝමෙක්ටොමි ශල්‍යකර්මය සිදු කිරීමයි. නමුත් මේ ශල්‍යකර්මය සඳහා සෑම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ම සුදුසු වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔබ මේ සඳහා සුදුසු දැයි තීරණය කල හැකියි. සැත්කමෙන් පසු එදින ම ඔබට ඇඳෙන් නැගිට සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනව. බොහෝ විට පසු දින හෝ එදින ම රෝහලෙන් බැහැර යාමටත් හැකියාව තිබෙනව. 3. හිස්ටරොස්කොපි ශල්‍යකර්මය (Hysteroscopic resection of fibroids) දරු පිළිසිඳ ගැනීම පමා වීම හෝ නිතර නිතර ගබ්සා වීමට හේතු සොයා බලන විට සමහර කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා ඇති කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව දක්නට ලැබෙනව. එවැනි කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම බොහෝ විට අවශ්‍ය වෙනව. ඒ වගේ අවස්ථාවක විවෘත හෝ ලැපරොස්කොපි ශල්‍ය කර්මයකින් තොරව මෙම ගෙඩි ඉවත් කිරීමට හිස්ටරොස්කොපි ක්‍රමය මගින් පුළුවන්. එහිදී කුඩා කැමරාවක් සහිත හිස්ටරොස්කොපි උපකරණය ගැබ් ගෙල තුලින් ගර්භාෂයට ඇතුළු කර එමගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩිය උදරයේ කිසිම කැපුමක් නොමැතිව ඉවත් කිරීමට පුළුවන්. නැවත දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වෙන්නේ නැති කාන්තාවකට නම් මේ සඳහා ඇති ස්ථිර විසඳුම වෙන්නේ ගර්භාෂය සමග ෆයිබ්‍රොයිඩ් ගෙඩි සියල්ල එකවර ඉවත් කිරීමයි. මෙම ශල්‍යකර්මයත් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ ගැන විස්තර දැන ගන්න මෙතන ක්ලික් කරන්න. ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කම් සඳහා විශේෂිත ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. ඒ නිසා බොහෝ රෝහල්වල තවමත් මේ සඳහා පහසුකම් නැහැ. දැනට කොළඹ බොහෝ පුද්ගලික රෝහල් වලදී මේ සැත්කම් සිදු කර ගැනීමට හැකියාව තිබෙනව. Save..