ගර්භාෂයේ ඇතිවෙන ෆයිබොයිඩ් ගෙඩි නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් ම එක් අයෙකුට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් (Fibroids) ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනව. මේ නිසා ඔසප් වීම සමග අධික වේදනාව, අධික රුධිර වහනය, දරු පිළිසිඳ ගැනීම සිදු නොවීම, ගබ්සා වීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර කලින් ලිපියක පල කරනු ලැබුව. මේ සඳහා ප්‍රතිකාර කරන ආකාර කිහිපයක් තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නේ මයෝමෙක්ටොමි (Myomectomy) සැත්කම පිළිබඳ ව.
මයෝමෙක්ටොමි කියන්නේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන සැත්කම. මෙය සිදු කල හැකි ආකාර තුනක් තිබෙනව.
1. විවෘත ශල්‍යකර්මය (Open myomectomy)
මෙය බොහෝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබුවේ විවෘත සැත්කමක් ලෙස. මෙහි දී ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් වුවත් ඉවත් කිරීමට හැකියාව ඇති අතර ශල්‍යකර්මය අතරතුර රුධිර වහනයට ඇති අවදානම වැඩියි. ඒ වගේම පසුකාලීන ව උදරයේ අනිකුත් අවයව ගර්භාෂයට ඇලීම නිසා සංකූලතා ඇතිවීමටත් ඉඩ කඩ තිබෙනව. සාමාන්‍යයෙන් මේ සැත්කමට සහභාගි වීමට පෙර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුව හොත් ගර්භාෂය පවා ඉවත් කිරීමට කැමැත්ත දීමට සිදුවෙනව. එම නිසා බොහෝ කාන්තාවන් මේ සැත්කමට භාජනය වීමට බියක් දක්වනව. නමුත් දැන් මේ සැත්කම නවීන ලැපරොස්කොපි ක්‍රමයට කිරීමට හැකියාව ලැබී තිබෙනව.
2. ලැපරොස්කොපි ශල්‍ය කර්මය (Laparoscopic myomectomy)
ලැපරොස්කොපි ක්‍රමය කියන්නේ රෝගියාට ඉතාමත් පහසු සැත්කම් ක්‍රමයක්. මෙහි දී බඩේ ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරනව. මින් විශාලතම කැපුම සෙන්ටි මීටරයක් තරම් වෙන්නේ. ඒ තුලින් සිහින් කැමරාවක් බඩ ඇතුළතට යොමු කර වෛද්‍යවරයා ඉන් ලැබෙන දර්ශනය යොදා ගෙන සැත්කම සිදු කරන්නේ. ඒ සඳහා භාවිතා කරන්නෙ ඉතාමත් සියුම් ශල්‍ය උපකරණ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි. මේ විදියට ෆයිබ්‍රොයිඩ් ඉවත් කරන විට පිටවෙන ලේ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම ගර්භාෂයට වෙන හානියත් අඩුයි. ඉවත් කරන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ශල්‍ය උපකරණයක් ආධාරයෙන් සිහින් කොටස් බවට පත් කර සෙන්ටි මීටරයක් කුඩා කැපුම තුලින් ම යොමු කරන බටයක් තුලින් උදර කුහරයෙන් පිටතට ගනු ලබනව. ගර්භාෂයේ ගෙඩි ඉවත් කල ස්ථාන වැසීමට යොදා ගන්නේ දිය වෙන මැහුම්.
මෙම ශල්‍ය කර්මයෙන් පසු ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ වෙනත් අවයව වලට ඇලී සංකූලතා ඇතිවීමට ඇති අවදානම විවෘත ශල්‍ය කර්මයකට වඩා ඉතා අඩුයි. එම නිසා දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු වෙන කාන්තාවකට වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ ලැපරොස්කොපි ක්‍රමයට මයෝමෙක්ටොමි ශල්‍යකර්මය සිදු කිරීමයි.
නමුත් මේ ශල්‍යකර්මය සඳහා සෑම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ම සුදුසු වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔබ මේ සඳහා සුදුසු දැයි තීරණය කල හැකියි. සැත්කමෙන් පසු එදින ම ඔබට ඇඳෙන් නැගිට සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනව. බොහෝ විට පසු දින හෝ එදින ම රෝහලෙන් බැහැර යාමටත් හැකියාව තිබෙනව.
3. හිස්ටරොස්කොපි ශල්‍යකර්මය (Hysteroscopic resection of fibroids)
දරු පිළිසිඳ ගැනීම පමා වීම හෝ නිතර නිතර ගබ්සා වීමට හේතු සොයා බලන විට සමහර කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා ඇති කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව දක්නට ලැබෙනව. එවැනි කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම බොහෝ විට අවශ්‍ය වෙනව. ඒ වගේ අවස්ථාවක විවෘත හෝ ලැපරොස්කොපි ශල්‍ය කර්මයකින් තොරව මෙම ගෙඩි ඉවත් කිරීමට හිස්ටරොස්කොපි ක්‍රමය මගින් පුළුවන්. එහිදී කුඩා කැමරාවක් සහිත හිස්ටරොස්කොපි උපකරණය ගැබ් ගෙල තුලින් ගර්භාෂයට ඇතුළු කර එමගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩිය උදරයේ කිසිම කැපුමක් නොමැතිව ඉවත් කිරීමට පුළුවන්.
නැවත දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වෙන්නේ නැති කාන්තාවකට නම් මේ සඳහා ඇති ස්ථිර විසඳුම වෙන්නේ ගර්භාෂය සමග ෆයිබ්‍රොයිඩ් ගෙඩි සියල්ල එකවර ඉවත් කිරීමයි. මෙම ශල්‍යකර්මයත් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ ගැන විස්තර දැන ගන්න මෙතන ක්ලික් කරන්න.
ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කම් සඳහා විශේෂිත ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. ඒ නිසා බොහෝ රෝහල්වල තවමත් මේ සඳහා පහසුකම් නැහැ. දැනට කොළඹ බොහෝ පුද්ගලික රෝහල් වලදී මේ සැත්කම් සිදු කර ගැනීමට හැකියාව තිබෙනව.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON