Skip to main content

එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම

Published Updated 17,178 views

එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය  පිළිබඳව මෙයට පෙර පල කල ලිපි මගින් දැනටමත් ඔබ දැනුවත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු. මෙවර ලිපියෙන් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ  එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳවය.

මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව ගර්භාෂයේ පමණක් පිහිටන එන්ඩොමෙට්‍රියම් සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල එනම් ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලෝපීය නාල හෝ ඩිම්බ කෝෂ මත ඇතිවීමයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙම රෝග තත්ත්වය නිර්ණනය කරගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්ෂණය මගින් නිවැරදිවම මෙම තත්ත්වය හඳුනා ගත හැකිය. ඒ අනුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය නිසා ඇති වන වේදනාව සඳහා වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගත හැකි වුවත් දරුඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට නම් වේදනා නාශක වලින් සාර්ථක විසඳුමක් ලබා ගත නොහැකිය. එනිසා එවැනි රෝගී කාන්තාවකට ශල්‍යකර්ම මගින් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ඇත.

ලැපරොස්කොපි ශල්‍යකර්මය

දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කල හැකියි. මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. මෙමගින් වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබේ.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති විට පැලෝපීය නාල අවහිර වීමත් පටක එකිනෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නොහැකිවේ. එ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වීමට විසඳුමක් ලෙස මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය වෙත පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ලැපරොස්කොපි ශල්‍යකර්මයක දී හැකියාව ඇත.

මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියොසිස් සෛල ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඇතැම් විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවේ. හෝමෝන ප්‍රතිකාර මගින් මාස 3-9 දක්වා කාලයක් ඔසප් නැවතීමට ප්‍රතිකාර කරනු ලබයි. මෙහිදී බලාපොරොත්තු වනුයේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වන එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වර්ධනය නතර කිරීමයි. එසේ වර්ධනය නතර කිරීමෙන් ඒවා විනාශ වේ. ප්‍රතිකාර පටන් ගත් පසු අඛණ්ඩව මාස 09ක් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා සාමාන්‍ය උපත් පාලන පෙති, ප්‍රොජෙස්ටරෝන් මෙන්ම GnRH analogues නැමැති හෝර්මෝන ඉන්ජෙක්ෂන් යොදා ගනියි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අතුරු ආබාධ අවමය.

සාර්ථක සැත්කමකින් පසුව වසර 2- 3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව සඳහා විසඳුමක් ලැබෙන අතරම දරුඵල අපේක්ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව ද වැඩිවේ. මෙම එන්ඩොමෙට්‍රියෝසිස් සෛල නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති නිසා, ප්‍රතිකාර කිරීමෙන් පසු  ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුය.

ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්යකර්මයක් මගින් ඉවත් කිරීම

ඉහත ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නොලැබිය හැකි පරිදි රෝගය ඉතා දරුණු නම් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබා දිය හැකිය. මෙම ක්‍රමය සුදුසු වන්නේ නැවත දරුපළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන කාන්තාවන්ටයි.

 

සටහන -  දිශාන්ති වෙදගේ

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න