Results for Tag: Fertility (15)
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?
මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරනව. ෆෝලික් ඇසිඩ් (Folic acid/ Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මගින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් සාමාන්‍යයෙන් දිනකට අඩුම වශයෙන් ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනව. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාර වල සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය අඩංගු වන නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා සාමාන්‍ය ආහාර වේලක මෙතරම් විශාල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමට අපේක්ෂා වෙන් සිටින සෑම කාන්තාවකටම ෆෝලික් අම්ලය ආහාර වලට අමතරව ලබා ගැනීමට නිර්දේශ කරනව. ෆෝලික් අම්ලය අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරිත්වයන්ට වැදගත් විටමිනයක්. අප ශරීරයේ බොහෝ සෛල වල වර්ධනය සහ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනව. මේ අතර රතු රුධිරාණු නිෂ්පාදනය වැදගත් කර්තව්‍යයක්. සිරුරේ ෆෝලික් අම්ල ප්‍රමාණය අඩු වුවහොත් නිරක්තිය වැනි සංකූලතා පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවන කාලයේ සිරුරේ ෆෝලික් අම්ල ඌණතාවය පැවතුණ හොත්, එය දරුගැබට බලපානව. ඒ නිසා දරුවාට ස්නායු පද්ධතිය ආශ්‍රිත දරුණු සංකූලතා ඇතිවෙන්න පුළුවන්.  Anencephaly සහ Neural tube defects කියන්නෙ මෙවැනි දරුණු සංකූලතවයන් දෙකක්. Anencephaly ලෙස හඳුන්වන්නෙ හිස්කබල සහ මොලය වර්ධනය නොවන දරුවන්. එවැනි දරුවෙකුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ස්නායු පද්ධතියේ කොටස් හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙල ආශ්‍රිත පෙදෙසෙන් පිටතට පැමිණිය හැකි තත්වයන් (Neural tube defects) මේ නිසා ඇතිවෙන තවත් සංකූලතාවයක්. මෙම සංකූලතාවයන් ඇතිවීම නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මගින් වලක්වා ගන්න පුළුවන්.  ඒ සඳහා ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම දිනපතා ෆෝලික් අම්ලය අමතරව ගැනීම කල යුතුයි. කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම ආරම්භ කල යුතුයි. එයට හේතුව වෙන්නෙ දරුවා පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිටම නිරෝගී වර්ධනයට ෆෝලික් ඇසිඩ් වැදගත් වන නිසයි. අප නිර්දේශ කරන්නෙ ගැබ් ගැනීමට අපේක්ෂා කරන සියළුම කාන්තාවන් ඊට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1 ක පෙත්තක් බැගින් දිනකට වරක් ලබා ගන්නා ලෙසයි. මෙය ලබා ගැනීමට විශේෂ වේලාවක් නැහැ. ඔබට පහසු පරිදි උදේ හෝ රාත්‍රි කාලයේ හෝ ලබා ගත හැකියි. දැනට වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ඔබට ඖෂධ හලකින් ෆෝලික් ඇසිඩ් පෙති මිලදී ගැනීමට පුළුවන්.  සමහර කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය වරුන් මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමට නිර්දේශ කරන විශේෂ අවස්තා ලෙස අධික තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවන්, අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්, කලින් වැනි සංකූලතා ඇති දරුවකු බිහි කල කාන්තාවන්, හැඳින්විය හැකියි.ෆෝලික් ඇසිඩ් මදසරු බවට ලබා දෙන ප්‍රතිකාරයක් නොවෙයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ ඉහත සඳහන් කල සංකූලතාවයන් සහිත දරුවන් බිහි වීම වළක්වා ගැනීමටයි. ඔබට ගැබ් ගැනීමට ප්‍රමාදබව හැඟේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ සහ සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ෆෝලික් ඇසිඩ් කියන්නෙ අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයක්. ඒ නිසා කිසිම ගැට‍ළුවක් නොමැතිව බොහෝ දෙනෙකුට මෙය ලබා ගත හැකියි. නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ගැනීමට අපහසු නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. එවිට ඔබට වෙනස් ෆෝලික් ඇසිඩ් වර්ගයක් වන L Methylfolate පෙති ලබා ගත හැකියි. එයට මිලෙන් වැඩි වුවත්, සාමාන්‍ය ෆෝලික් අම්ලයට වඩා වේගයෙන් සිරුරට උරා ගන්නා අතර අතුරු ආබාධ අඩුයි.  ..
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු
කාන්තාවකට දරු ඵල අහිමි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂ වලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බ පිට නොවීම. මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඔසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුල ඩිම්බයක් නිසි ප්‍රමාණය මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බයක් මේරීම සිදුවන ආකාරය සහ එය නිසි ලෙස සිදු නොවීමට බලපාන කරුණු ගැන මේ ලිපිය වෙන් වෙන්නෙ.ගැහැනු දරුවෙකු උපදින විටම ඩිම්බ කෝෂවල ඩිම්බ ලෙස මේරීමට හැකි ප්‍රාථමික සෛල සෑදී අවසන්. මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල සාමාන්‍යයෙන් මසකට එක ඩිම්බයක් පිටවීම සිදුවන අතර මෙලෙස ජීවිත කාලය තුල ඩිම්බ 400 කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පිටවෙනව. ඩිම්බයක් මේරීම ආරම්භ වෙන්නෙ ඔසප් චක්‍රය ආරම්භ වීමත් සමගයි. මෙයට කාන්තාවගේ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන FSH (Follicle stimulating hormone) නමැති හෝමෝනය අවශ්‍ය වෙනව. පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝනය පිටවීම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස කොටසින් නිපදවන GNRH නැමති තවත් හෝමෝනයක බලපෑමට අනුවයි. ඩිම්බ මේරීම සිදු නොවන හේතුඩිම්බ කෝෂ වල ප්‍රමාණවත් ලෙස ඩිම්බ නොමැති වීම. මෙවැනි තත්වයක් ඇති දැයි රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් සහ ස්කෑන් පරීක්ෂාවේ දී Antral follicle count සොයා බැලීමෙන් අනුමාන කරන්න පුළුවන්. අධික තරබාරු බව. BMI අගය මගින් මේ ගැන සොයා බලන්න පුළුවන්. සිරුරේ බර අඩු කර ගැනීම මගින් නැවත හෝමෝන ක්‍රියාවලිය යතා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව. අධික ලෙස කෙට්ටු වීම. සිරුරේ හෝමෝන නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රමාණයට මේද ස්තරයක් තිබීම වැදගත් වෙනව. එසේ නොමැති නම් ඔබේ බර වැඩි කර ගැනීම අවශ්‍යයි. ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම නිසාත් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී ඩිම්බ මේරීම අඩපණ වෙන්න පුළුවන්. Hyperprolactinemia: ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම ඉහල යාම ඩිම්බ මේරීමට බලපාන තත්වයක්. Hyperthyroidism and Hypothyroidism: තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයත් ඩිම්බ මේරීමට බලපානව. තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩි වීම මෙන්ම අඩු වීමත් ගැබ් ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. PCOS: පොලිසිස්ටික් රෝග තත්වය නිසාත් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර වෙනම ලිපියක් සඳහන් වෙනව. ඊට අමතරව ඩිම්බ මේරීම සිදු නොවෙන්න තවත් විවිධ හේතු බලපානව. සමහර විට කිසිම හඳුනා ගත හැකි හේතුවක් නොමැතිවත් ඩිම්බ මේරීම සිදු නොවන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් ඉහත බොහෝ රෝග තත්වයන් ඇති කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දී ඩිම්බ මේරීම උත්තේජනය කරන්න හැකියාව තිබෙනව. ඒ නිසා එවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව උපදෙස් ලබා ගන්න. ..
IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)
මදසරු බවට සිදු කරන ප්‍රතිකාර අතරින් IUI ප්‍රතිකාරය ප්‍රධාන තැනක් ගන්නව. මේ ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක පල කරල තිබෙනව. සමහර විට ඔබ මෙම ප්‍රතිකාරය ක්‍රමයට දැනටමත් යොමු වෙලා ඇති. මෙහිදී සිදු වෙන්නෙ රසායනාගාරය තුල තේරීමකට ලක් කල සජීවී ශුක්‍රාණු ඉතා සිහින් නාලයක් ආධාරයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීමයි. වසර 50 කට පමණ පෙර මෙම ක්‍රමය හඳුන්වා දුන් කාලයේදී සාර්ථකත්වය 5%ක පමණ පැවතුනත් දැන් භාවිතා කරන දියුණු ක්‍රම නිසා 30%ක පමණ සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාව තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නෙ ප්‍රතිකාරය අසාර්ථක වෙන්න හේතු පිළිබඳවයි. පලමුවම IUI ක්‍රමය ඔබට සුදුසුදැයි නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍ය වෙනව. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හැමෝටම මේ ප්‍රතිකාරය සුදුසු නැහැ. ඒ පිළිබඳව පළපුරුද්දක් ඇති වෛද්‍ය වරයෙකු සියළුදේ පරීක්ෂා කර බලා මෙම ක්‍රමය ඔබට සුදුසුදැයි තීරණය කල යුතුයි. මෙහිදී සලකා බලන ප්‍රධාන කාරණා වෙන්නෙ කාන්තාවගේ වයස - වයස අවුරුදු 40 ට වැඩිනම් මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීමට ඇති හැකියාව ඉතා අඩුයි BMI අගය - ඉතා තරබාරු කාන්තාවකට IUI මගින් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව අඩුයි. මදසරු බව පැවති කාල සීමාව. දිගු කාලයක් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවී ඇති කාන්තාවකට මෙම ප්‍රතිකාර ක්‍රමය එතරම් සාර්ථක නැහැ. මීට පෙර සිදු කල ප්‍රතිකාර. කලින් කිහිප වරක්ම IUI සිදුකර ඇති කාන්තාවකට නැවත නැවත IUI සිදු කිරීම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් 6 වරකට වඩා කිරීම නිර්දේශ කරන්නෙ නැහැ. මදසරු බවට හේතුව. පැලෝපීය නාල වල අවහිරතාවයක්, ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම වැනි හේතු නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන විට IUI කිරීම සුදුසු නැහැ.ඔබට IUI ප්‍රතිකාරය අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය වරයෙකු තීරණය කල පසු සාමාන්‍යයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා දෙනව. මෙලෙස ලබා දෙන ප්‍රතිකාර වර්ගය අනුව IUI සාර්ථක වීමට ඇති හැකියා වෙනස් වෙනව. නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බ මේරීමට ලක් කරන විට සාර්ථකත්වය වැඩි බව සොයා ගෙන තිබෙනව. ඊට අමතරව ඩිම්බ කලින් පිටවීම වැළැක්වීමට, ගර්භාෂයේ ඇතුල් බිත්තිය දරු පිළිසිඳ ගැනීමට සුදුසු මට්ටමට සකස් කිරීමට, නියමිත අවස්තාවේදී ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට වැනි කාරණා සඳහා වෙනත් ඖෂධ ලබා දෙනවා. ඩිම්බයක් මේරීමට ඖෂධ ලබා දීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක් සිදු කල යුතු වෙනව. මෙය සාමාන්‍යයෙන් ඔසප්වීමේ සිට දින 11-12 අතර සිදු කරනව. එහිදී ඩිම්බය වර්ධනය වෙන අවකාශයේ (follicle) විශ්කම්භය මැන බලන අතර එම අගය මිලි මීටර් 18කට වඩා වැඩිනම් ඩිම්බය පිටවීමට සුදුසු මට්ටමට මෝරා ඇති ලෙස සලකනව. ඒ බව දැන ගත් පසු, IUI සිදු කිරීමට වේලාව තීරණය කල හැකියි. ස්වභාවික ලෙස ඩිම්බයක් පිටවෙන්නෙ ඔසප් චක්‍රයේ 14 වන දින ආසන්නයේදීයි. මෙයට උත්තේජනය කරන්නෙ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන LH නම් හෝමෝනය මගිනුයි. ඩිම්බයක් හොඳින් මේරූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් මෙම හෝමෝනය විශාල ප්‍රමාණයක් එකවර පිටවෙනව. මෙය LH surge ලෙස හඳුන්වන අතර, එම හෝමෝන පිටවූ වෙලාවේ සිට ඩිම්බය පිටවීමට සාමාන්‍යයෙන් පැය 36ක් පමණ ගත වෙනව. මෙලෙස හෝමෝන මට්ටම වැඩි වෙන වෙලාව මුත්‍රාවල LH හෝමෝන පරීක්ෂා කිරීමෙන් හඳුනා ගන්න දැන් පුළුවන්. ඒ සඳහා මුත්‍රා පරීක්ෂණ LH STRIPS භාවිතා කල හැකියි. ස්වභාවිකව හෝමෝන වැඩි වෙන වෙලාව නිවැරදිව බලා ඒ සමග ඩිම්බ පිටවීමට ඖෂධ ලබා දීම මගින් IUI සිදු කරන අවස්ථාවේදී ඩිම්බය නිවැරදි වේලාවට පිටවෙන බව තහවුරු කර ගන්න පුළුවන්. එලෙස ඩිම්බය පිටවෙන විට උදරයේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අවශ්‍ය නම් නැවත ස්කෑන් පරීක්ෂාවකින් ඩිම්බය පිටවී ඇති බව තහවුරු කර ගන්න හැකියාව තිබෙනව.ඩිම්බ පිටවීම උත්තේජනය කිරීම සඳහා හෝමෝනය නික්ෂේපණයක් ලෙස භාවිතා කරනව. මෙලෙස භාවිතා කරන ඖෂධ වර්ගය සහ මාත්‍රාව අනුව ඩිම්බ නියමිත වේලාවට පිටවීම තීරණය වෙන නිසා එයත් IUI සාර්ථක වීමට බලපානව.  තාක්ෂණික දියුණුවත් සමග රසායනාගාරයේදී ශුක්‍රාණු නිසි ලෙස සැකසීමේ ක්‍රියාවලිය විශාල ලෙස වෙනස් වී තිබෙනව. ඒ නිසා නවීන පහසුකම් සහිත රසායනාගාරයක් තුල ප්‍රමිතියෙන් උසස් උපකරණ සහ අවශ්‍ය තරල වර්ග (sperm processing media) යොදා ගෙන ශුක්‍රාණු සැකසීම සිදු කරන විට සාර්ථක වීමට ඇති හැකියාව ඉහල යනව. මේ සියළුම කරුණු වලට අමතරව ඉතා වැදගත් දෙයක් තමයි මෙම ප්‍රතිකාරය සිදු කරන ආකාරය. පලපුරුදු වෛද්‍ය වරයෙකු විසින් ගර්භාෂය සංකෝචනය නොවෙන ලෙස සියුම් නාලයක් ගැබ් ගෙල තුලින් ඇතුළු කර ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරන්නෙ. මේ අවස්තාවේ ගර්භාෂය සංකෝචනය වීම උත්තේජනය වුවහොත් ශුක්‍රාණු නැවත පිටතට පැමිණීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ප්‍රමිතියෙන් උසස් IUI catheter එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණක්. IUI සිදු කිරීමේදී විශාල තරල ප්‍රමාණයක් යොදා නොගෙන ගර්භාෂය තුල පමණක් ශුක්‍රාණු තැන්පත් කිරීමට සැලකිලිමත් වීම වැදගත්. එසේ නොවුන හොත් පිටතින් ඇතුළු කරන තරලය පැලෝපීය නාල වලට ඇතුළුවී විෂබීජ ආසාදන තත්වයක් ඇතිවුවහොත් නැවත ගැබ් ගැනීමට නොහැකි ලෙස පැලෝපීය නාල අවහිර වීමට පවා අවදානමක් තිබෙනව. IUI තරම් සාර්ථක නොවන පැලෝපීය නාල තුලට ශුක්‍රාණු ඇතුළු කරන fallopian tube sperm perfusion ක්‍රමය දැන් නිර්දේශ කරන්නෙ නැහැ. IUI සිදු කරන අවස්ථාවේ ගැබ් ගෙල හරහා විෂබීජ ආසාදනය වීම වැළැක්වීම සඳහා සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනව. සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට පසුව විනාඩි 15ක පමණ කාලයක් උඩුබැලි අතර වැතිර සිටීම මගින් IUI සාර්ථක වීමට ඇති හැකියාව වැඩි වෙනව. ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම සාමාන්‍යයෙන් වැඩි වෙනව. මේ නිසා ගර්භාෂය තුල තැන්පත් වෙන කලලය රඳවා ගැනීමට හැකියාව ලැබෙනව. මෙම හෝමෝන මට්ටම නියමිත ප්‍රමාණයට නොමැති නම් කලලය මුල් අවස්ථාවේදීම පිටවීමට අවදානමක් ඇති බැවින් IUI ප්‍රතිකාරයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පෙති ලබා දීමක් සිදුකරනව. මෙලෙස නියමිත ප්‍රමිතියෙන් IUI යුතුව සිදු කිරීම මගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.  ..
පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව
දරු ඵල ප්‍රමාද වීම නැතහොත් දරු ඵල අහිමි වීම සඳහා බලපාන තවත් රෝග තත්වයක් වන පැලෝපීය නාලවල සිදුවන අවහිරතා සහ ඒවා හඳුනා ගන්නා පරීක්ෂණයක් ගැනයි මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ.සාමාන්‍යයෙන් කාන්තාවකට පැලෝපීය නාල දෙකක් පිහිටා තිබෙනවා. ඒවා ගර්භාෂය දෙපැත්තේ පිහිටාතිබෙන අතර ඉතාමත්ම සියුම් නාල ලෙසයි පවතින්නේ. ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිටවූ අවස්තාවකදී එම ඩිම්බය ගර්භාෂය දක්වා රැගෙන ඒමයි පැලෝපීය නාලයක ප්‍රධාන කර්තව්‍යය. ඊට අමතරව ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතුවීම ස්වභාවිකව සිදුවන්නේත් මෙම පැලෝපීය නාල තුල දීයි. ඇත්තටම දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ පැලෝපීය නාලයක් තුලදී කිව්වොත් නිවැරදියි. මෙයට අවශ්‍ය අභ්‍යන්තර පරිසරය පැලෝපීය නාලයක් තුල ස්වභාවයෙන් ම මැනවින් පිහිටා තිබෙනවා. එම නාල තුළ ඇත්තේ ඉතාමත් ම සියුම් බිත්තියක්. එම නාල තුල පිහිටි ඉතා සියුම් සීලියා (පක්ෂම) හෙවත් සියුම් රෝමකූප වල ක්‍රියාකාරීත්වයෙන් තමයි පැලෝපීය නාලයක් තුල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතු වීමෙන් සෑදෙන යුක්තාණුව ගර්භාෂය දෙසට ගමන් කිරීම සිදුවෙන්නේ. යම් කිසි හේතුවක් නිසා කාන්තාවකගේ පැලෝපීය නාලවල අවහිරතාවක් සිදුවුවහොත් මේ ක්‍රියාවලිය අඩපණ වීම ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරු පිළිසිඳ ගැනීමේ අවස්ථාව එම කාන්තාවට අහිමි වෙන්න පුළුවන්.අපි හොයල බලමු මේ ආකාරයෙන් පැලෝපීය නාලවල අවහිර තත්වයන් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල.පළමු කරුණ තමයි පැලෝපීය නාල ආශ්‍රිතව ඇතිවන ආසාදිත තත්වයන්. එය තවදුරටත් පැහැදිලි කළොත්, පැලෝපීය නාල වලට විෂ බීජ ඇතුල්වීම නිසා Pelvic Inflammatory Disease කියන රෝග තත්වය ඇතිවීම. ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලින් පැලෝපීය නාල වලට ඇතුල්වන විෂ බීජයක් හේතුවෙන් හටගන්නා ආසාදනයක් නිසා සැරව ගැලීමක් පැසවීමක් ඇතිවුවහොත්, නැවත යථා තත්වයට පත්කිරීමට නොහැකි තත්වයට පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. මෙවැනි විෂබීජ ආසාදනයක් ඇතිවූ පමණින්ම පැලෝපීය නාල අවහිර වෙන්නේ නැහැ, එහෙත් එවැනි අවස්ථාවක මුලික අදියරේදීම ඊට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් පැලෝපීය නාල අවහිරවීමේ අවදානම පවතින බව සිහිපත් කළ යුතුයි.පැලෝපීය නාල අවහිර වෙන්න බලපාන තවත් ප්‍රධානතම හේතුවක් ලෙස Endometriosis යන රෝග තත්වය සලකන්න පුළුවන්. මෙම රෝග තත්වය තිබෙන විට උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීම් සිදු වෙනවා. පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව මෙවැනි ඇලීම් සිදු වෙන්න පුළුවන්. එවැනි ඇලීමක් සිදුවුවහොත් පැලෝපීය නාලයේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට බාධා ඇති වී එමගින් පැලෝපීය නාලය අවහිර වන අවස්ථා දකින්න පුළුවන්.උදරය ආශ්‍රිතව සිදුකරන වෙනත් සැත්කමක් නිසාත් පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා උදර කුහරය ඇතුළත සැත්කමක් සිදුකළහොත් එම සැත්කම නිසාම පැලෝපීය නාල අවහිර වන අවස්ථා තිබෙනවා. එවැනි සැත්කමකින් පසුව උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීමට ඉඩ තිබෙන බැවින් පැලෝපීය නාල අවහිර වීමේ වැඩි අවදානමක් තියෙනවා.එමෙන්ම LRT වැනි සැත්කම් වලදීත් සිදුවෙන්න් පැලෝපීය නාලවල ක්‍රියාකාරිත්වයට බාධාවක ලෙස පැලෝපීය නාල අවහිර කිරීම. එවැනි සැත්කමක දී කාන්තාවකට ගැබ් ගැනීමේ හැකියාව නැති වී යාමයි සිදු වෙන්නේ.දැන් අපි සොයා බලමු පැලෝපීය නාලයක් අවහිරවී තිබේද යන්න හඳුනා ගන්නේ කෙසේද කියා. ඒ සඳහා ඇති ප්‍රධානතම හා සාර්ථකම පරීක්ෂණය ලෙස ලැපරොස්කොපි පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. උදර කුහරය ඇතුළත ඉතාමත් සියුම් අවයව ඉතාමත් පැහැදිලි ලෙස පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයක් ලෙසයි ලැපරොස්කොපි පරීක්ෂණය භාවිතා කරන්නේ. විශාල කැපුම් නොයොදා, ඉතා කෙටි කාලයක් තුල වඩාත් නිවැරදි ලෙස උදරය ඇතුළත රෝග තත්වයන් හදුනා ගැනීමට හැකි වීමත්, රෝග තත්වයක් හදුනාගතහොත් එම අවස්ථාවේදීම උදරය විවෘත කිරීමකින් තොරව සැත්කමකින් පවතින තත්වය නිවැරදි කිරීමේ හැකියාවත්, සැත්කමෙන් පසු රෝගියාට දැඩි වේදනාවන් නො දැනීමත්, වෙනත් සංකූලතා නොමැති අවස්ථාවල සැත්කමෙන් දිනකට පසු නිවෙස බලා යාමට හැකි වීමත් මෙම ලැපරොස්කොපි පරීක්ෂණය හා ලැපරොස්කොපි සැත්කම්වල වාසිදායක තත්වයන් වනවා.මෙහි දී සිදු කරනු ලබන්නේ ඉතා සියුම් කැමරාවක් උදර කුහරය තුලට යොමු කර එම කැමරාවෙන් ලැබෙන සජීවී දර්ශන යොදා ගෙන වෛද්‍යවරයා උදර කුහරය පරීක්ෂා කර බැලීමයි. එහිදී පැලෝපීය නාලවල කිසියම් ඇලීම් තත්වයක් පවතීද, Endometriosis රෝග තත්වය තිබේ ද යන්න පිළිබඳව පැහැදිලිව හදුනා ගැනීමට හා සොයා ගැනීමට හැකියාව ලැබෙයි .ඊට අමතරව මෙම පරීක්ෂණයේ දී ගැබ් ගෙල හරහා වර්ණයක් ඇතුල් කිරීමත් සිදු කරනු ලබනවා.එහිදී ගැබ් ගෙල හරහා ඇතුල්වන මෙම වර්ණක ගර්භාෂය තුලට ගමන් කර එතුලින් පැලෝපීය නාල දක්වා ගමන් කර පැලෝපීය නාලවලින් පිටතට පැමිණීම සිදු වෙනවා. මේ ගමන් මග නිවැරදිව අවහිරතාවකින් තොරව පවතිනවා නම් ඒ බව ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයාට දැක ගන්නට පුළුවන්. පැලෝපීය නාල දෙකින්ම මෙම වර්ණක පිටතට පැමිණෙනවා නම් එම නාලවල අවහිරතාවයක් නොමැති බව හා නිවැරදිව ක්‍රියාකරන බව තහවුරු කර ගැනීමට පිළිවන්.මෙම ලැපරොස්කොපි පරීක්ෂණය විනාඩි 15 ත් 30 ත් අතර කාලයක දී සිදු කළ හැකි වන අතර පූර්ණ නිර්වින්දනය හෙවත් සිහිනැති කිරීමකින් පසුව සිදු කළ යුතු වනවා. එහිදී කාන්තාවගේ නාභිය හෙවත් බුරිය ප්‍රදේශයේ සෙන්ටි මීටරයක පමණ කුඩාවට කැපුමක් යොදා ඉතා සියුම් කැමරාවක් සහිත ලැපරොස්කොපි ශල්‍ය උපකරණය ඇතුල් කරනු ලබනවා. ඊට අමතරව ලැපරොස්කොපි පරීක්ෂණයේ පහසුව වෙනුවෙන් උදරයේ ඇති වෙනත් අවයව පිහිටා ඇති ආකාරය අනුව කැමරාවෙන් පරීක්ෂා කිරීමේ පහසුව සඳහා උදරයේ පහල ප්‍රදේශයෙන් සෙන්ටි මීටර 1/2 ක කැපුමක් යොදා තවත් සියුම් ශල්‍ය උපකරණයක් ඇතුල් කරනු ලබනවා. ඒ සඳහා පහසුකම් ඇති රෝහලකට යොමු වීමෙන් මෙවැනි කුඩා කැපුම් 2 ක් පමණක් යොදා ගනිමින් ලැපරොස්කොපි පරීක්ෂණය ඉතාමත් ම පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා. දරුණු ලෙස පැලෝපීය නාල ඇලී තිබෙන Endometriosis වැනි රෝග තත්වයක් හෝ එසේත් නැත්නම් ඩිම්බ කෝෂවල ගෙඩි හට ගෙන ඇති තත්වයක් එම පරීක්ෂණයේ දී හදුනා ගැනීමට හැකිවුවහොත් උදරය විවෘත කිරීමකින් තොරව යථා තත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බවත් සඳහන් කළ යුතුයි.සටහන - ප්‍රියන්ත හීන්පැල්ල..
පුරුෂ මදසරුබව සොයා බලන ශුක්‍රාණු පරීක්ෂණය (SFA)
දරු ඵල ප්‍රමාද වෙන්න කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්වයනුත් බලපානව. සාමාන්‍ය යෙන් 15% ක පමණ පිරිසකට මදසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණු වල ගැට‍ළුවක්. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගන්න බැහැ. කාන්තාවගේ රෝග තත්වයන් ඉතිරි 1/3කට බලපානව. පුරුෂයෙකුගේ සරු බව රඳා පවතින්නෙ ලිංගික එක්වීමේ දී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතයි. ඒ නිසා පුරුෂ මදසරු බව ඔබට ඇති දැයි සරල පරීක්ෂණයක් මගින් අනුමාන කරන්න පුළුවන්. මේ බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයයි. එහිදී ප්‍රධාන කරුණු තුනක් සොයා බලනව. ඒ එක වරක දී පිට වෙන ශුක්‍රාණු ප්‍රමාණය, ඒවායේ ස්වරූපය සහ චලනය වීමට ඇති හැකියාව කියන කරුණු තුනයි. පරීක්ෂණාගාරයේ දී අන්වීක්ෂයක් ආධාරයෙන් ශුක්‍ර තරලය පරීක්ෂා කර බලා මෙම වාර්තාව ලබා දෙනව. ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු වල ස්වරූපය චලනය වීමේ හැකියාව ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සලකනව. ඊට අමතරව එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිළිබඳ වත් මෙම වාර්තාවෙ කරුණු අඩංගු වෙනව. මෙම සාමාන්‍ය වාර්තාවෙන් සොයා ගත නො හැකි සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීමෙන් දැන ගන්න දැන් හැකියාව තිබෙනව. ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීම සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂණාගාරයට ලබා දීම අවශ්‍ය වෙනව. ඊට පෙර දින 3ත් 10 ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඉන් පසු රසායනාගාරයට ගොස් ඒ සඳහා ලබා දෙන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. මෙය රසායනාගාරය තුල දීම ලබා දීම වැදගත් වෙන්නෙ එසේ නැති නම් බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු විය හැකි නිසයි. එවිට ලැබෙන වාර්තාව නිවැරදි නැහැ. පලමු වරට පරීක්ෂා කරන විට ශුක්‍රාණු ප්‍රමාණයේ හෝ ගුණාත්මක බවේ ඇති වෙන අඩුපාඩු ඇති නම් කලබල විය යුතු නැහැ. එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණය නැවත සිදු කර බලන අතර, එවිට වාර්තාව සාමාන්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. දිගින් දිගටම වාර්තාව අසාමාන්‍ය වෙන විට දරු පිළිසිඳ ගැනීම සඳහා IUI/ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම අවශ්‍ය විය හැකියි...