Results for Tag: Fertility (15)
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය
කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 – 16 අතර දින 6ක කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකියාව තිබෙනව. ඔසප් චක්‍රය ආරම්භ වෙන්නෙ ඔසප් වීමත් සමගයි. එතැන් සිට ඩිම්බ කෝෂ වලින් ඊළඟ මාසය තුල පිට වීම සඳහා ඩිම්බ මේරීම ආරම්භ වෙනව. ඩිම්බයක් පිට වීමට සුදුසු තත්වයට මේරීම සඳහා සාමාන්‍යයෙන් දින 14ක් පමණ ගත වෙන අතර මෙය වෙනස් වෙන්න පුළුවන්. මෙලෙස ඩිම්බය පිටවූ දින සිට හරියටම දින 14කින් ඊළඟ ඔසප් වීම සිදු වෙනව. මෙම කාල සීමාව වෙනස් නොවන නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙන්නේ ඇයගේ ඩිම්බ මේරීමට සහ පිටයවීමට ගත වෙන කාල සීමාව අනුවයි. ශුක්‍රාණුවක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල දින 5ක් පමණ සජීවී ව තිබීමට හැකියාව ඇති අතර ඩිම්බයක් පිටවු පසු එය දින දෙකක් පමණ සජීවී ව තිබෙනව. ඒ නිසා ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවී සංසේචනය ක් සිදුවීමට ඩිම්බ පිටවෙන දිනයට ආසන්න දිනක දී ලිංගික එක්වීම ප්‍රමාණවත්. නමුත් පරීක්ෂන මගින් සොයා ගෙන ඇති පරිදි ගැබ් ගැනීමට වඩාත්ම වැඩි සම්භාවිතාවක් තිබෙන්නෙ ඩිම්බ පිටවෙන දිනයට (සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14 වන දිනය) දින 3 කට පෙර සහ දින දෙකකට පසු දින දක්වා කාලය තුලයි. ඒ නිසා ඔසප් චක්‍රයේ ඩිම්බ පිටවන දිනයට දින තුනකට පෙර දින සිට ඩිම්බ පිටවන දිනයට දින දෙකකට පසු දිනය දක්වා කාලය සරු කාලය ලෙස සලකන් පුළුවන්.  ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එයට හේතු වෙන්නෙ ඩිම්බ මේරීම සඳහා ගතවන කාල සීමාව වෙනස් වීම හෝ ඩිම්බ මේරීම සිදු නොවීමයි. එවිට ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න අපහසු නිසා සරු කාලය ගණනය කරන්න හැකියාවක් නැහැ. ඔසප් වීම ක්‍රමාණුකූලව නියමිත දින ගණනකට වරක් සිදු වේ නම් නැවත ඔසප්වීමට නියමිත දිනයට දින 14කට පෙර ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ මේරීමට සහ පිටවීමට ගතවන කාලය වෙනස් විය හැකි නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙනව. ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනය පහත ඇතුළු කිරීමෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. VOG.LK FERTILE PERIOD CALCULATOR ..
දරුඵල පමාවට හේතු වෙන කාන්තා රෝග 5ක්
දරු ඵල ප්‍රමාදයට හේතු සහ ප්‍රතිකාර ගැන අපි කලින් ලිපි කිහිපයකින්ම තොරතුරු ගෙනාව. ඔබ දන්නව මදසරුබව එකම හේතුව කාන්තා රෝග නොවෙයි කියල. සාමාන්‍යයෙන් මදසරු බව ඇති යුවල් අතරින් 1/3 කට පමණ කාන්තාවගේ රෝග තත්වයක් නිසා මදසරුබව ඇති වෙනව. මේ ලිපිය වෙන් වෙන්නෙ එවැනි කාන්තා රෝග තත්වයන් කිහිපයක් පිළිබඳවයි. 1. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය. (PCOS) ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිට වීම සිදු නොවී නොමේරූ ඩිම්බ අඩංගු ෆොලිකල් ගොඩක් ඩිම්බ කෝෂවල එක් රැස් වීම මෙහි දී දක්නට ලැබෙන ලක්ෂණයක්. මේ නිසා ඩිම්බ පිටනොවීමට අමතරව, සිරුරේ හෝමෝන ක්‍රියාවලියේ අසමතුලිත බවක් ඇතිවෙනව. කුරුලෑ අධික වීම, තරබාරු බව, උදරය ඉදිරියට නෙරා ඒම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සහ ශරීරයේ අධික ලෙස රෝම ඇති වීම මේ සමග ඇතිවිය හැකි රෝග ලක්ෂණයන්. මේ රෝග තත්වය පාලනය කිරීමට ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනව. ඊට අමතරව ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. 2. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය (Endometriosis) ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පිහිටි සෛල වලට සමාන සෛල වෙනත් ස්ථාන වල අසාමාන්‍ය ලෙස පිහිටීම මෙම රෝග තත්වයේ දී දක්නට ලැබෙනව. මේ නිසා උදරයේ වේදනාව සහ මදසරුබව ඇති වෙනව. ඩිම්බ කෝෂ වල chocolate cyst නමැති ගෙඩි හට ගැනීමටත් මෙය හේතු වෙනව. මෙම රෝග තත්වය සඳහා ප්‍රතිකාර වෙන්නෙ ලැපරොස්කොපි සැත්කමක් මගින් රෝගී පටක කොටස් ඉවත් කිරීමයි. ඉන් පසු ඉතා ඉක්මනින් ගැබ් ගැනීමට උත්සාහ කල යුතුයි. සැත්කමෙන් පසු නැවත රෝග තත්වය මතු වීම පාලනය කිරීම සඳහා නික්ෂේපණ ඖෂධ ප්‍රතිකාර භාවිතා කරන්න පුළුවන්. 3. ගර්භාෂයේ ගෙඩි (Fibroids) ගර්භාෂයේ මාංශපේෂී බිත්තියේ ඇති වෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඇති විය හැකි බලපෑම එම ගෙඩි සංඛ්‍යාව, ප්‍රමාණය සහ පිහිටි ස්ථානය අනුව වෙනස් වෙනව. සමහර විට මේවා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හෝ ගබ්සාව වීමට හේතු විය හැකියි. ඒ වගේ අවස්තාවකදී ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට මයෝමෙක්ටොමි සැත්කමක් අවශ්‍ය විය හැකියි. මෙම සැත්කමත් දැන් අවම හානියක් වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව. 4. පැලොපීය නාල අවහිර වීම ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක් වෙන්නෙ පැලෝපීය නාලයක් තුලදීයි. මෙම නාල වල අවහිරතාවක් ඇති නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මෙවැනි අවහිරතාවයන්ට බොහෝ විට හේතු වෙන්නෙ කලින් විෂබීජ ආසාදන නිසා ඇතිවූ සංකූලතාවයන්. ඒ වගේම කලින් සැත්කම් (විශේෂයෙන් විවෘත සැත්කම්) නිසා අති වෙන පටක ඇලීම් වැනි හේතුත් මෙයට බලපානව. මේ බව  HSG හෝ ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් දැන ගැනීමට හැකියාව තිබෙනව. පැලෝපීය නාලවල අවහිරතාවයන් නිවැරදි කිරීමට සැත්කම් තිබෙන නමුත් ඊට වඩා IVF ප්‍රතිකාරයට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. IVF සඳහා පැලෝපීය නාල අවහිර වීම ගැටළුවක් නොවෙයි. 5. ඩිම්බ කෝෂ වයස් ගත වීම කාන්තාවකගේ ජීවිත කාලය තුල පිටකල හැකි ඩිම්බ ගණන සීමිතයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 51ක් පමණ වෙන විට ඩිම්බ පිටවීම සම්පූර්ණයෙන් නතර වෙනව. නමුත් යම් යම් හේතු නිසා ඩිම්බ කෝෂ මීට වඩා කලින් අක්‍රිය වෙන අවස්තා තිබෙනව. එවැනි කාන්තාවන්ට ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මෙයට ප්‍රතිකාර කල හැක්කෙ වෙනත් කාන්තාවකගෙන් ඩිම්බ ලබා ගෙන IVF ක්‍රමයට දරු ගැබක් ඇගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි.    ..
දරු පිළිසිඳ ගැනීමකට ඔබ සූදානම්ද?
දරු පිළිසිඳ ගැනීමකට පෙර සූදානම් විය යුතු බව ඔබ දැන සිටියාද? ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව දැන ගත යුතු කරුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ. ගැබ් ගැනීමට සුදුසු වයස කුමක්ද? වයස අවුරුදු 18ට පෙර ගැබ් ගැනීම එතරම් සුදුසු නැහැ. වයස 18ක් පමණ වෙන තෙක් ගැහැණු දරුවෙක් ශාරීරිකව සහ මානසික වැඩීම සිදු වෙන නිසා ඊට පෙර ඇය ගැබ් ගැනීමට ශාරීරකව සහ මානසිකව සම්පූර්ණයෙන් සූදානම් නැහැ. ඒ වගේම වයස 18 අඩු මවකට ගර්භණී සමයේ සංකූලතා ඇතිවීමට ඇති අවදානමත් වැඩියි. වයස අවුරුදු 35ට වඩා වැඩි වෙන විට මවට රෝග තත්වයන් ඇතිවීමට ඇති අවදානම වැඩියි. ඒ නිසාම ගර්භණී සමයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකූලතා බහුලව ඇති වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමට ඇති අවදානමත් වයස වැඩිවීමත් සමග ටිකෙන් ටික වැඩි වෙනව. මවක් වීමට පෙර ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සිතිය යුතු ඇයි? මවට කිසියම් රෝග තත්වයක් ඇති නම් එය බිහිවෙන දරුවාට අවදානමක් වෙන්න පුළුවන්. එමෙන්ම ගර්භණී සමයේ මෙම රෝග තත්වයන් නිසා මවට සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අපස්මාරය, හෝමෝන අසමතුලිත බව වැනි රෝග තත්වයක් පවතීනම් එය හොඳින් පාලනය කර ගැනීම වැදගත්. ඔබ ගැබ් ගැනීමට බලා පොරොත්තු වෙන බව ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍ය වරයාට දැනුම් දී සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගන්න. උසට සරිලන බරක් තිබීම ගැබ් ගැනීමට වැදගත් බර අඩුවීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් බර අඩු කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන විට ඔබේ BMI අගය 18.5 ට වඩා වැඩියෙන් තබා ගැනීම වැදගත් වෙනව. මෙම අගය 25ට වඩා වැඩි නම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භණී සමයේ මෙන්ම දරු ප්‍රසූතියේදීත් සංකූලතා ඇතිවීමට අවදානම වැඩි වෙනව. බර වැඩි කාන්තාවන්ට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙන්නත් ඉඩ තිබෙනව. ඒ නිසා ඔබේ BMI අගය වැඩි නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ඔබේ BMI අගය මෙතනින් ගණනය කර ගන්න පුළුවන්. මවගේ පෝෂණය දරු පිළිසිඳ ගැනීමට වැදගත් වෙනව. මව පෝෂණීය ආහාර වේලක් ගැනීම වැදගත්. ඒ වගේම අපේ ආහාර වල අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය අඩංගු නොවෙන නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ගැබ් ගැනිමට බලාපොරොත්තු වෙන සෑම කාන්තාවක්ම ලබා ගත යුතු වෙනව. එමගින් දරුවාගේ මොලය සහ සුෂුම්නාව ආශ්‍රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා පහසුවෙන් වලක්වා ගැනීමට හැකියාව ලැබෙනව. ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගනිමු. මවට ගර්භණී කාලයේ සමහර රෝග තත්වයන් වැළඳෙන විට එය දරුවාට හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත්. රුබෙල්ලා රෝගය නිසා මවුකුස තුල දරුවන්ට දරුණු සංකූලතා ඇතිවෙනව. මෙය රුබෙල්ලා ප්‍රතිශක්ති කරන එන්නත ගැබ් ගැනීමට පෙර ලබා ගැනීමෙන් වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම පිටගැස්ම රෝගය උපතේදී දරුවාට වැළඳීමට ඇති අවදානම අඩු කරන්න ගර්භණී කාලයේ පිට ගැස්ම එන්නත ලබා ගැනීමට හැකියාව තිබෙනව. ගැබ් ගැනීමට සුදුසු කාලය. ඉහත කරුණු සැලකිල්ලට ගත් පසු මව නිරෝගීව සිටීනම් ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි. ඔසප් චක්‍රයේ දින ගණන අනුව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න පුළුවන්. ඊට ආසන්න ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම කාලය සරු කාලය ලෙස හඳුන්වනව. මෙතනින් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙසේ උත්සාහ කලද ගැබ් ගැනීමක් සිදු නොවේනම් අපි එයට මදසරු බව ලෙස හඳුන්වනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපි කිහිපයක දැක් වෙනව...
දරු ඵල නැති කරන, කැක්කුම් ඇති කරන  එන්ඩෝමේට්රියෝසිස් (Endometriosis)
එන්ඩෝමේට්‍රියෝසිස් යනු කුමක්ද? එන්ඩෝමේට්‍රියෝසිස් යනු කාන්තාවන්ගේ ප්‍රධාන වශයෙන් ඩිම්බ කෝෂ සහ ශ්‍රෝණි කුහරය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයකි. එය ඇතිවිය හැකි අනෙකුත් ස්ථාන නම්, ශල්‍යකර්ම කල ස්ථාන, කලාතුරකින් පෙනහළු, මුත්‍රාශය ආදී තැන්ය. ඔසප් වීමේදී ගර්භාශයේ ඇතුලත බිත්තියේ  පටක ගැලවී යාම සිදුවේ, ඔසප් රුධිරය ලෙස මසකට වරක් යෝනි මාර්ගයෙන් පිටවන්නේ මෙ පටක කොටස් සහ එහි අඩංගු රුධිරයයි. එන්ඩෝමේට්‍රියෝසිස් රෝගයේදී ගර්භාශයේ ඇතුලත බිත්තියේ  පටකවලට සමාන පටක කොටස් ශ්‍රෝණිය, ඩිම්බ කෝෂ හෝ සිරුරේ වෙනත් ඕනෑම ස්ථානයක පිහිටිය හැකිය. රෝග ලක්ෂණ මෙම පටක පිහිටි තැන්  වලින්ද ඔසප් වීමේදී මෙන් රුධිරය මඳ වශයෙන් වහනය වන අතර, ඒවා ශරීරයෙන් පිටතට ගැලීමක් සිදු නොවන බැවින් එම තැන් වලම තැම්පත් වී තදවෙයි. එම ගැටිති තුලට ස්නායු ද වර්ධනය වන බැවින් ඒවා අධික වේදනාවක් ඇති කරයි. එම වේදනාව මුලින් ඔසප් දිනවල පමණක් ඇතිවන අතර, කල් යාමේදී දිගටම පවතින බඩේ කැක්කුමක්, හෝ කොන්දේ කැක්කුමක් ලෙස පවතී. එය ඔසප් දින වලදී අධික වීම මෙහි ඇති විශේෂත්වයයි. ලේ කැටිවූ ගැටිති ඇතිවීම, ඩිම්බ කෝෂ වල ලේ ගෙඩි ඇතිවීම නිසා උදර කුහරයේ අවයව එකට ඇලීමක් සිදුවේ. මෙය Adhesions ලෙස හැඳින්වේ. මෙම ඇලීම් සහ ප්‍රතික්‍රියා මගින් නිපදවෙන රසායනික ද්‍රව්‍ය නිසා පැලෝපීය නාල අවහිරතා, ඩිම්බ මොචනයේ ගැටලු ආදිය ඇතිවේ. මේ හේතු සමුදාය නිසා එන්ඩෝමේට්‍රියෝසිස් රෝගය ඇති කාන්තාවන්ගේ  බොහෝවිට මඳසරු භාවය පිලිබඳ ගැටළු දැකිය හැකිය. තවද ශ්‍රෝණිය තුල ඇති ඇලීම් හා ගැටිති නිසා, ලිංගික සංසර්ගයේදී අධික වේදනයක් ඇතිවේ. මෙම රෝගයේ ඇති කල් පවතින රෝග ලක්‍ෂණත්, ප්‍රතිකාර කිරීමේ අපහසුවත්, ප්‍රතිකාර වලින් පසුව නැවත නැවත රෝග ලක්‍ෂණ පහල වීමත් නිසා, එන්ඩොමෙට්‍රියෝස්සි ඇති කාන්තාවන් බොහෝ පීඩාවට පත්වේ. එමෙන්ම දරු ඵල නැතිවීම, අධික උදරයේ වේදනාව සහ ලිංගිකව සතුටු වීමට බාධා ඇතිවීම යන  කරුණු නිසා මානසිකව විශාල පීඩාකාරී බවට පත්වීම දැකිය හැකිය. එය විෂාදය තත්වයක් දක්වා වුවවර්ධනය විය හැකිය. මෙය ඇතිවීමට හේතු මොනවද?  එන්ඩොමේට්‍රියෝසිස් රෝගී තත්වයට හේතුව 100%ක් නිශ්චය කර නැත. නමුත් අනුමාන කරන කරුණු කිහිපයකි. මාස් ශුද්ධියේදී, ගර්භාශයේ ඇතුලත පටක පැලෝපීය නාල ඔස්සේ ශෝනි කුහරයට සංක්‍රමණය වී, එහි තැම්පත් වීම. ඩිම්බ කෝෂ වල ඇති ජනක සෛල වලින් ගර්භාශයේ ඇතුලත පටක වලට සමාන පටක ඇතිවීම. මෙය හඳුනා ගන්නේ කෙසේද? ඉහත රෝග ලක්ෂණ ඇති විට, යෝනි පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂණයක් මගින් රෝගය හඳුනා ගත හැකිය. ඉන් පසුව laparoscopy ක්‍රමයට කරන ශල්‍ය කර්මයක් මගින් 100% රෝග නිශ්චයට පැමිණීමත් ප්‍රතිකාරයත් කල හැකිය. මෙය පිලිකා තත්වයක්ද? endometriosis යනු පිලිකා තත්වයක් නොවේ. නමුත් කල් පවතින රෝගී තත්වය මත ඩිම්බ කෝෂ පිලිකා වර්ධනය වීමේ අවදානමක් පවතී. එන්ඩොමේට්‍රියෝසිස් සුවකළ හැකිද? ප්‍රතිකාර මොනවාද? ප්‍රතිකාරය බොහෝවිට රෝග ලක්ෂණය මත රඳවා පවතී. වේදනා නාශක ඖෂධ, ඔසප් වීම ඖෂධ මගින් නතර කිරීම ආදී ප්‍රතිකාර තාවකාලිකව ප්‍රතිඵල අත්කරදෙයි. එන්ඩොමේට්‍රියෝසිස් රෝගය, රෝගයේ උත්සන්න බව අනුව අවධි හතරකට වර්ධනය වෙයි. ඉතා මද වශයෙන් ඇති රෝගය මද වශයෙන් ඇති රෝගය තරමක්‌ වර්ධනය වූ රෝගය තීව්‍ර රෝගී  තත්වය පළවන  සහ  දෙවන අවස්ථාවේදි ඖෂධ මගින්  රෝගය  පාලනය කල හැකිය .නමුත් තුන්වන හා හතරවන අවස්ථාවේදී laparascopy  ශල්‍යකර්මය අවශ්‍ය වේ . laparascopy  ශල්‍යකර්මය මගින් ශෝණි කුහරය තුල ඇති අනවශ්‍ය පටක ඉවත් කිරීම රෝගයට නිශ්චිතව ප්‍රතිකාරය වේ. Laparoscopy ශල්‍යකර්මය( Key hole surgery ) මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති endomtriosis පටක ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. රෝගයේ තීව්‍රතාවය අනුව සැත්කමේ සංකීර්ණතාවය තීරණය වෙයි. සාර්ථක සැත්කමකින් පසුව වසර 2-3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව නැතිවේ.  එමෙන්ම දරුඵල අපේක්‍ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිවේ. ශල්‍යකර්මයේ තවත් වාසියක් වන්නේ, ඉවත් කරන පටක පරීක්ෂාවෙන් ( Histology ) පිලිකා තත්වයක් ඇති දැයි සක හැර දැනගැනීමයි.  ..
දරු ඵල අහිමි කාන්තාවන්ගේ සිහින සැබෑකරන IUI ප්‍රතිකාරය.
දරු ඵල ප්‍රමාදවීම බොහෝ දෙනෙකුට පීඩා දෙන තත්වයක්. මේ සඳහා තිබෙන එක් ප්‍රතිකාර ක්‍රමයක් වෙන IUI (Intra Uterine Insemination) ක්‍රමය ගැන මේ ලිපියෙන් විස්තර කරන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ, ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනව. එක්වරකදී මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථකවීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. මෙම ප්‍රතිකාරය අවශ්‍යදැයි තීරණය කිරීමට පෙර ඔබ විශේෂඥ වෛද්‍ය වරයෙකු යටතේ පරීක්ෂාවට ලක්වීම අවශ්‍යයි. මෙය සාර්ථක වීම සඳහා, කාන්තාවගේ වයස, කාන්තාවට ඇති රෝග තත්වයන්, පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ එහි ගුණාත්මක බව වැනි කරුණු බලපානව. ඒ නිසා මෙම ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර මූලික පරීක්ෂණ කිහිපයකට යොමුවීම අවශ්‍යයි. එමගින් ශුක්‍රාණු වල තත්වය, කාන්තවගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවේද යන්න වැනි කරුණු සොයා බලනව. ඉන් අනතුරුව බොහෝවිට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනව. මෙම ඖෂධ පෙති වශයෙන් හෝ නික්ෂේපන ලෙස ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. පෙති වශයෙන් බහුලවම ලබා දෙන්නේ Clomiphene Citrate කියන ඖෂධය. මෙය ඔසප් වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් ලබා ගැනීමටයි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නෙ. සමහරවිට ඩිම්බ මේරීම උත්තේජනය සඳහා මීට අමතරව හෝමෝන ඖෂධ නික්ෂේපනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔසප්වීමෙන් දින 11කට පසු ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් මෙම ඖෂධ නිසි ලෙස ක්‍රියාත්මක වී ඇතිදැයි දැන ගන්න පුළුවන්. එම අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බ මේරීම සිදුවී ඇති බව දැන ගන්න පුළුවන්. ඉන් පසුව ඩිම්බ පිටවීම නියමිත වේලාවට සිදුකර ගැනීමට hCG (Human Chorionic Gonadotropin) හෝමෝනය නික්ෂේපනයක් ලෙස ලබාදීම සිදු කරනව. එම නික්ෂේපනය ලබා ගෙන පැය 36කින් පමණ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ පිටවෙන කාලය අනුව IUI ප්‍රතිකාරය සඳහා සුදුසු කාලය තීරණය කරනු ලබනව. IUI සඳහා මුලින්ම ශුක්‍රාණු සාම්පලයක් ලබා ගත යුතුයි. ඊට පෙර දින 3ක් පමණ ශුක්‍රාණු පිට කිරීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි. ශුක්‍රාණු සාම්පලය හැකි ඉක්මණින් රසායනාගාරයට බාර දීම එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට හේතු වෙනව. රසායනාගාරය තුල ශුක්‍රාණු පිරිසිදු කර තේරීමකට ලක් කරනව. නිසි ලෙස සකස් කල සාම්පලය පැයකින් පමණ ගර්භාෂය තුල තැන්පත් කිරීමට සූදානම් කර දෙනව. එය ඉතා සිහින් නාලයක් භාවිතා කර ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලට තැන්පත් කිරීමයි IUI ලෙස හඳුන්වන්නේ. මෙහිදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීමෙන් පසු සුළු වෙලාවක් වැතිර සිටීමට උපදෙස් ලබා දෙනව. ඉන් පසු සායනයෙන් බැහැර යා හැකියි. එවිට විශේෂයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය නැහැ. නිවසට යාමට පොදු ප්‍රවාහන මාද්‍යයක් භාවිතා කිරීම හෝ බයිසිකලයකින් ගමන් කිරීම හානිකර නැහැ. මෙම ප්‍රතිකාරයෙන් පසු සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් දිගට පවතින අධික වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. බොහෝ කාන්තාවන්ට කිසිම ඖෂධ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි පමණක් ඖෂධ ලබා ගන්න. IUI ප්‍රතිකාරයෙන් සති 3කට පසුව නැවත ඔසප්වීමක් සිදු වුනේ නැති නම් ගර්භණීදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි.    ..