ගර්භණී සමයේ ගුවන් ගමන් සුදුසුද? Air travel in pregnancy
ගර්භණී මවක් ගුවන් ගමනක යෙදීම අවදානම්ද? ගුවන් ගමන් නිසා මවට සහ කුසතුල සිටින දරුවාට ඇතිවිය හැකි සංකූලතා මොනාවාද? මෙවැනි ගැටළු බොහෝ දෙනෙක් විමසා සිටින නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කරන්නෙ. සාමාන්‍යයෙන් සති 36ට පෙර කලින් දරු ප්‍රසූතිය වැනි සංකූලතා ඇතිවීමට අවදානම ඉතා අඩු නිසා ගුවන් ගමනක යෙදී ආරක්ෂාකාරී ලෙස සලකනව. නමුත් ඔබ ගර්භණී කාලයේ ගුවන් ගමනක් සැලසුම් කිරීමට පෙර ඔබේ වෛද්‍ය වරයා හමුවී දරුවාගේත් ඔබෙත් සෞඛ්‍ය තත්වය මේ සඳහා සුදුසු මට්ටමක පවතීදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. සමහර අවදානම් තත්වයන් නිසා ගුවන් ගමන් වල යෙදීම නිර්දේශ නොකර අවස්තා තිබෙනව. එවැනි තත්වයන් නම්, පාද වල ලේ කැටි ඇති වෙන (Deep Vein Thrombosis) රෝග තත්වය. කලින් දරු පසූතියට අවදානමක් තිබීම. වෝටර් බෑග් එක කැඩීම තිබීම. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන ශ්වසන හෝ හෘද රෝග තත්වයක් තිබීම.ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇති විය හැකි සංකූලතා වලක්වා ගැනීමට පහත උපදෙස් පිළිපැදීම වැදගත් වෙනව.1. ගුවන් සේවයට ඔබ ගර්භණී බව කලින් දැනුම් දී උපදෙස් ලබා ගන්න. සමහර විට ඔබට ගුවන් ගමන ආරක්ෂිත දැයි වෛද්‍ය වාර්තාවක් ලබා දීමට සිදු වෙනව. 2. සැම විටම ආසන පටි භාවිතා කරන්න. ඉන් දරු ගැබට හානියක් සිදු වෙන්නෙ නැහැ. 3. හැකි පමණ දියර වර්ග පානය කරන්න. විජලනය වීම වලක්වා ගැනීමට ඉතා වැදගත් 4. පාද වල රුධිර කැටි ගැසීමට අවදානමක් ඇති නිසා එය වලක්වා ගන්න compression stockings පැලඳීම, පාදවලට ව්‍යායාම කිරීම සහ ආරක්ෂිතව කෙටි දුරක් ඇවිදීම සිදුකරන්න. ගමනාන්තයේදී හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් දරු ප්‍රසූතියට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු රොහලක් කලින් සැලසුම් කර තබා ගන්න. සෑම විටම ඔබේ ගර්භණී සටහන් පත සහ වෛද්‍ය වාර්තා ලඟ තබා ගන්න...
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන Vaginal Candidiasis රෝග තත්වය
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදන තත්වයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්වයන්. කාන්තාවන්ගෙන් 75%කටම කෙදිනක හෝ මෙම ආසාදන තත්වය ඇතිවෙන්න ඉඩ කඩ තිබෙනව. ඕනෑම වයසකදී දිලීර ආසාදන තත්වයන් ඇතිවිය හැකි නමුත් මෙම තත්වය වයස 30 – 49 ත් අතර කාන්තාවන් අතර බහුලයි. සමහර කාන්තාවන්ට මෙවැනි ආසාදන නිතර නිතර ඇතිවීම දක්නට ලැබෙනව. මෙම ආසාදනයට හේතු වෙන්නේ නමින් හඳුන්වන යීස්ට් වර්ගයට අයත් දිලීරයක්. vaginal candidiasis තත්වය නිසා ඇතිවන සුලබ රෝග ලක්ෂණ තමයි  යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම, ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම, ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම. මෙවැනි රෝග ලක්ෂණ ඇති විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්වය හඳුනා ගන්න වෛද්‍ය වරයෙකුට හැකියාව තිබෙනව. වැඩිදුර වෛද්‍ය පරීක්ෂාවන් අවශ්‍ය වෙන්නෙ නැවත නැවත දිලීර ආසාදන තත්වයන් ඇතිවෙන විටයි. සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩි වන විට යෝනි මාර්ගයේ දිලීර ආසාදන තත්වයන් ඇතිවීම බහුලයි. ඒ නිසා මේ තත්වය ඊස්ට්‍රජන් හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ට වගේම පොලිසිස්ටික් ඔවරි සින්ඩ්‍රෝම් වැනි රෝග තත්වයන් ඇතිවිටත් වැඩිපුර දක්නට ලැබනෙව. ඊට අමතරව දියවැඩියාව, ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වල වෙන HIV වැනි රෝග තත්වයන්, වෙනත් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම, ගර්භණී වීම වැනි හේතු vaginal candidiasis රෝග තත්වය ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුනා ගෙන තිබෙනව. නමුත් මේ කිසිම අවදානම් තත්වයක් නොමැතිවත් මෙම ආසාදනය ඕනෑම කාන්තාවකට ඇති වෙන්න පුළුවන්. ඔබට මෙවැනි ආසාදන තත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ඖෂධ වර්ගයක් ලබා ගන්න පුළුවන්. මෙම ඖෂධ ගිලින පෙති, යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙති, සහ ආලේපන වර්ග විදියට ලබා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් සුදුසු ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරාවි. මෙම දිලීර රෝගය බොහෝවිට ඖෂධ මගින් සුව කරන්න පුළුවන්. ඔබට මුලින්ම රෝගය සුව කිරීමට ඖෂධ ලබා දෙන අතර, ඉන් පසු නැවත ඇති වීම වැලැක්වීමට මාස 6ක පමණ කාලයක් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ කල සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා ගැනීම වැදගත් වෙනව. එසේ නොමැති නම් යෝනි මාර්ගය තුල දිලීර ඉතිරිව තිබී ඉක්මණින් නැවත ආසාදන තත්වය ඇතිවීමට වගේම ඖෂධ වලින් පාලනය කිරීම අපහසු වීමටත් අවදානමක් තිබෙනව. සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා නොගැනීම සහ කලින් සඳහන් කල දියවැඩියාව වැනි රෝග තත්වයන් මෙලෙස නැවත නැවත දිලීර ආසාදන ඇතිවීමට හේතු ලෙස සලකන අතර කිසිම අවදානම් තත්වයක් නෙමැතිවත් නැවත නැවත vaginal candidiasis රෝග තත්වය ඇති වෙන කාන්තාවන් සිටිනව. මෙම රෝග තත්වය ඇතිවීම වළක්වා ගැනීමට සැහැල්ලු කපු යට ඇඳුම් භාවිතා කිරීම, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වියලිව තබා ගැනීම, දියවැඩියාව වැනි රෝග තත්වයන් හොඳින් පාලනය කර ගැනීම වැනි පියවර වැදගත් වෙනව. ආසාදන තත්වයක් ඇති විය ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ රෝග ලක්ෂණ සමනය වීමත් සමග නතර නොකර සම්පූර්ණ කාල සීමාවටම ලබා ගන්න.ගර්භණී සමයේ මෙවැනි තත්වයක් ඇති වුව හොත් ඒ ගැන විශේෂයෙන් සලකා බැලීම අවශ්‍ය වෙනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපියක පල කර තිබෙනව. ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?..
ගැබිනි මවකට ව්‍යායාම සුදුසුද? (Exercise in Pregnancy)
දරු පිළිසිඳ ගැනීමත් සමග කාන්තාවකගේ මූලික අවධානය යොමු වෙන්නෙ කුස තුල වැඩෙන දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බවටයි. ඒ නිසා තම සෞඛ්‍ය තත්වය පිළිබඳ ව කටයුතු කිරීම අතපසු වෙන්න ඉඩ තිබෙනව. සමහර ගැබිනි කාන්තාවන් දරු ගැබට හානි වේ දැයි බියෙන් ව්‍යායාම වලින් බැහැරව සිටීමටත් පෙලඹෙනවා.  ඇත්තටම ගැබිනි මවකට ව්‍යායාම සුදුසු ද? මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ ගැබිනි කාලයේ ශාරීරික ව්‍යායාම ගැනයි. ඔබ කලින් සිටම ව්‍යායාම වල යෙදුණ ක්‍රියාශීලී කාන්තාවක් නම් ගැබිනි කාලයේ දීත් සුපුරුදු පරිදි ව්‍යායාම වල යෙදීම හානි කර නැහැ. ඒ වගේම අලුතින් ව්‍යායාම ආරම්භ කිරීමට අදහස් කරන කාන්තාවන්ට ගැබිනි බව ඊට බාධාවක් නොවෙයි. නමුත් කලින් නො කල ව්‍යායාමයක් ගර්භණී කාලයේ මුල් වරට පටන් ගන්නා විට එය සිරුරට හුරු වෙන තෙක් ටිකෙන් ටික සිදු කිරීම කල යුතු වෙනව. මුලදී විනාඩි කිහිපයක කාලයක් ව්‍යායාම ආරම්භ කර කාලයත් සමග කාලය වැඩි කිරීම සුදුසුයි. ශාරීරික අභ්‍යාස මගින් ගැබිනි මවට වාසි රැසක් ලැබෙනව අතර ඉන් කිහිපයක් පහත දැක්වෙනවා. ගැබිනි කාලයේ අනවශ්‍ය ලෙස සිරුරේ බර වැඩි වීම වළක්වා ගැනීම‍.  අධික රුධිර පීඩනය, ගැබිනි සමයේ ඇතිවෙන දියවැඩියාව වැනි සංකූලතාවවලට ඇති අවදානම අඩු වීම ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු වීම. සුව බර නින්දක් ලැබීම. මානසික සෞඛ්‍යය යහපත් වීම. දරු ප්‍රසූතියේ දී විඩාපත් වීමෙන් තොරව දරා ගැනීමට හැකියාව වැඩි වීම. ගැබිනි කාලය තුල සතියට දින 5ක් පමණ විනාඩි 30 ක කාලයක් ව්‍යායාම වල යෙදීම නිර්දේශ කරනව. ඒ අනුව සතියකට විනාඩි 150ක පමණ කාලයක් අවම වශයෙන් ව්‍යායාම කිරීම සුදුසුයි. මෙය ඔබ කැමති පරිදි වරකට විනාඩි 10ක් හෝ ඊට වැඩි කාල සීමාවක් ලෙස වෙන් කර ගන්න පුළුවන්.  උදරයේ මාංශ පේශී ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාමයක් සතියට දෙවරක් සිදු කිරීම සුදුසුයි. එමගින් උදරය ඉදිරියට එල්ලා වැටීම අවම කර ගන්න පුළුවන්. ව්‍යායාම වලින් දරු ගැබට කිසිම හානියක් වෙන බවට විද්‍යාත්මක ව සොයා ගෙන නැහැ. නමුත් කුසට පහරක් වැදීමට හෝ බිම ඇද වැටීමට හැකි ක්‍රීඩා සහ ව්‍යායාම ගැබිනි මවකට සුදුසු නැහැ. ගර්භාෂය තුල සිටින දරුවාට සහ වැදෑමහට ඉන් බලපෑම් ඇතිවිය හැකි නිසා ගැබිනි කාලය තුල එවැනි ව්‍යායාම වලින් වැලකී සිටිය යුතුයි. ඒ වගේම උඩුබැලි අතට වැතිර ව්‍යායාම වල යෙදීම දරු ගැබට රුධිර සැපයුම අඩු වීමට හේතු විය හැකි නිසා එම ඉරියව්වේ වැඩි වේලාවක් සිටීම සුදුසු නැහැ. මනා ශාරීරික යෝග්‍යත්වයක් ගැබිනි කාලය තුල පවත්වා ගන්නා මවකට ප්‍රසූතිය දරා ගැනීමේ හැකියාව වැඩියි. ඒ නිසා සාමාන්‍ය ප්‍රසූතියක දී ඇතිවිය හැකි අවදානම් තත්වයන් අවම වෙනව. සෞඛ්‍ය සම්පන්න දරුවෙකු සාමාන්‍ය ලෙස බිහි කර මවගේ සෞඛ්‍යයත් යහපත් ලෙස පවත්වා ගන්න ගැබිනි සමයේ ව්‍යායාම කිරීම මානා පිටිවහලක් වෙනව...
නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය
රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙනව. නමුත්  මෙම වෛරසය වැදෑමහ හරහා දරු ගැබ ආසාදනය කිරීමට හැකියි. ඒ  සමග දරුවාට ඇති වෙන බලපෑම වෛරසය ශරීර ගතවන කාල සීමාව අනුව වෙනස් වෙනව. ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල රුබෙල්ලා ආසාදනය ඇති වුව හොත් Congenital Rubella Syndrome නම් දරුණු රෝග තත්වය දරු ගැබට ඇති වෙන්න පුළුවන්. එවැනි දරුවන් හෘදය සහ ස්නායු පද්ධතියේ දරුණු ආබාධ, ඇස් පෙනීම සහ කන් ඇසීම ඉතා දුර්වල වීම, මන්ද බුද්ධික බව වැනි උපත් ආබාධ සහිතව උපදින්නෙ. ඊට අමතරව මල දරු උපත්, ගබ්සා වීම, බර අඩු වීම සහ නො මේරූ දරු උපත් වැනි තත්වයන් රුබෙල්ලා ආසාදනය නිසා ඇති වෙනව. මුල් මාස තුනෙන් පසුව රෝගය වැළදෙන විට එතරම් දරුණු සංකූලතා ඇති වීමට හැකියාව තරමක් අඩුයි. නමුත් කන් ඇසීම දුර්වල වීම වැනි තත්වයන් දරුවාට ඇති වෙන්න මේ නිසා ඉඩ තිබෙනව. රුබෙල්ලා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනව. එමගින් රෝගය වැළඳීම සහ ඉන් දරු ගැබට හානි වීම වළක්වා ගන්න පුළුවන්.  කලින් මෙම එන්නත ලබා ගැනීම මගින් හෝ රුබෙල්ලා රෝගය වැළඳීමෙන් ශරීරය තුළ මෙම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති වෙනව. එලෙස ප්‍රතිශක්තිය තිබෙන කාන්තාවන්ට ගර්භණී සමයේ දී රුබෙල්ලා රෝගය වැළඳීමට ඇති හැකියාව ඉතා අඩුයි. කලකට පෙර කාන්තාවන් සඳහා පමණක් රුබෙල්ලා එන්නත ලබා දුන් නමුත් දැන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් සෑම දරුවෙකුට ම MMR එන්නත ලබා දෙනව. එමගින් සරම්ප කම්මුල් ගාය සහ රුබෙල්ලා කියන රෝග තුනට ම ප්‍රතිශක්තිය ලැබෙනව. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු කාන්තාවක් නම් අනිවාර්යයෙන් ම රුබෙල්ලා රෝගයෙන් ආරක්ෂිත දැයි සොයා බලන්න. කලින් එන්නත ලබා ගත් බව ඔබට අමතක නම් නැවත වෛද්‍ය වරයෙකු හමුවී එන්නත ලබා ගන්න පුළුවන්. මාස තුනක් ඇතුළත ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්ට සහ ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා ගැනීම නිර්දේශ කරන්නෙ නැහැ. එවිට රුධිර පරීක්ෂාවක් (Rubella antibody test) මගින් දැනට රුබෙල්ලා රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති දැයි සොයා බලන්න පුළුවන්. එම පරීක්ෂණයෙන් රුබෙල්ලා ප්‍රතිදේහ ඇති බව තහවුරු වුව හොත් ඇයට ගැබිනි කාලයේ රුබෙල්ලා රෝගය වැළඳීමේ අවදානම ඉතා අඩුයි...
පුරුෂ මදසරුබව සොයා බලන ශුක්‍රාණු පරීක්ෂණය (SFA)
දරු ඵල ප්‍රමාද වෙන්න කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්වයනුත් බලපානව. සාමාන්‍ය යෙන් 15% ක පමණ පිරිසකට මදසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණු වල ගැට‍ළුවක්. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගන්න බැහැ. කාන්තාවගේ රෝග තත්වයන් ඉතිරි 1/3කට බලපානව. පුරුෂයෙකුගේ සරු බව රඳා පවතින්නෙ ලිංගික එක්වීමේ දී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතයි. ඒ නිසා පුරුෂ මදසරු බව ඔබට ඇති දැයි සරල පරීක්ෂණයක් මගින් අනුමාන කරන්න පුළුවන්. මේ බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයයි. එහිදී ප්‍රධාන කරුණු තුනක් සොයා බලනව. ඒ එක වරක දී පිට වෙන ශුක්‍රාණු ප්‍රමාණය, ඒවායේ ස්වරූපය සහ චලනය වීමට ඇති හැකියාව කියන කරුණු තුනයි. පරීක්ෂණාගාරයේ දී අන්වීක්ෂයක් ආධාරයෙන් ශුක්‍ර තරලය පරීක්ෂා කර බලා මෙම වාර්තාව ලබා දෙනව. ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු වල ස්වරූපය චලනය වීමේ හැකියාව ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සලකනව. ඊට අමතරව එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිළිබඳ වත් මෙම වාර්තාවෙ කරුණු අඩංගු වෙනව. මෙම සාමාන්‍ය වාර්තාවෙන් සොයා ගත නො හැකි සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීමෙන් දැන ගන්න දැන් හැකියාව තිබෙනව. ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීම සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂණාගාරයට ලබා දීම අවශ්‍ය වෙනව. ඊට පෙර දින 3ත් 10 ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඉන් පසු රසායනාගාරයට ගොස් ඒ සඳහා ලබා දෙන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. මෙය රසායනාගාරය තුල දීම ලබා දීම වැදගත් වෙන්නෙ එසේ නැති නම් බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු විය හැකි නිසයි. එවිට ලැබෙන වාර්තාව නිවැරදි නැහැ. පලමු වරට පරීක්ෂා කරන විට ශුක්‍රාණු ප්‍රමාණයේ හෝ ගුණාත්මක බවේ ඇති වෙන අඩුපාඩු ඇති නම් කලබල විය යුතු නැහැ. එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණය නැවත සිදු කර බලන අතර, එවිට වාර්තාව සාමාන්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. දිගින් දිගටම වාර්තාව අසාමාන්‍ය වෙන විට දරු පිළිසිඳ ගැනීම සඳහා IUI/ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම අවශ්‍ය විය හැකියි...