IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)
මදසරු බවට සිදු කරන ප්‍රතිකාර අතරින් IUI ප්‍රතිකාරය ප්‍රධාන තැනක් ගන්නව. මේ ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක පල කරල තිබෙනව. සමහර විට ඔබ මෙම ප්‍රතිකාරය ක්‍රමයට දැනටමත් යොමු වෙලා ඇති. මෙහිදී සිදු වෙන්නෙ රසායනාගාරය තුල තේරීමකට ලක් කල සජීවී ශුක්‍රාණු ඉතා සිහින් නාලයක් ආධාරයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීමයි. වසර 50 කට පමණ පෙර මෙම ක්‍රමය හඳුන්වා දුන් කාලයේදී සාර්ථකත්වය 5%ක පමණ පැවතුනත් දැන් භාවිතා කරන දියුණු ක්‍රම නිසා 30%ක පමණ සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාව තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නෙ ප්‍රතිකාරය අසාර්ථක වෙන්න හේතු පිළිබඳවයි. පලමුවම IUI ක්‍රමය ඔබට සුදුසුදැයි නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍ය වෙනව. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හැමෝටම මේ ප්‍රතිකාරය සුදුසු නැහැ. ඒ පිළිබඳව පළපුරුද්දක් ඇති වෛද්‍ය වරයෙකු සියළුදේ පරීක්ෂා කර බලා මෙම ක්‍රමය ඔබට සුදුසුදැයි තීරණය කල යුතුයි. මෙහිදී සලකා බලන ප්‍රධාන කාරණා වෙන්නෙ කාන්තාවගේ වයස - වයස අවුරුදු 40 ට වැඩිනම් මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීමට ඇති හැකියාව ඉතා අඩුයි BMI අගය - ඉතා තරබාරු කාන්තාවකට IUI මගින් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව අඩුයි. මදසරු බව පැවති කාල සීමාව. දිගු කාලයක් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවී ඇති කාන්තාවකට මෙම ප්‍රතිකාර ක්‍රමය එතරම් සාර්ථක නැහැ. මීට පෙර සිදු කල ප්‍රතිකාර. කලින් කිහිප වරක්ම IUI සිදුකර ඇති කාන්තාවකට නැවත නැවත IUI සිදු කිරීම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් 6 වරකට වඩා කිරීම නිර්දේශ කරන්නෙ නැහැ. මදසරු බවට හේතුව. පැලෝපීය නාල වල අවහිරතාවයක්, ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම වැනි හේතු නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන විට IUI කිරීම සුදුසු නැහැ.ඔබට IUI ප්‍රතිකාරය අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය වරයෙකු තීරණය කල පසු සාමාන්‍යයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා දෙනව. මෙලෙස ලබා දෙන ප්‍රතිකාර වර්ගය අනුව IUI සාර්ථක වීමට ඇති හැකියා වෙනස් වෙනව. නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බ මේරීමට ලක් කරන විට සාර්ථකත්වය වැඩි බව සොයා ගෙන තිබෙනව. ඊට අමතරව ඩිම්බ කලින් පිටවීම වැළැක්වීමට, ගර්භාෂයේ ඇතුල් බිත්තිය දරු පිළිසිඳ ගැනීමට සුදුසු මට්ටමට සකස් කිරීමට, නියමිත අවස්තාවේදී ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට වැනි කාරණා සඳහා වෙනත් ඖෂධ ලබා දෙනවා. ඩිම්බයක් මේරීමට ඖෂධ ලබා දීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක් සිදු කල යුතු වෙනව. මෙය සාමාන්‍යයෙන් ඔසප්වීමේ සිට දින 11-12 අතර සිදු කරනව. එහිදී ඩිම්බය වර්ධනය වෙන අවකාශයේ (follicle) විශ්කම්භය මැන බලන අතර එම අගය මිලි මීටර් 18කට වඩා වැඩිනම් ඩිම්බය පිටවීමට සුදුසු මට්ටමට මෝරා ඇති ලෙස සලකනව. ඒ බව දැන ගත් පසු, IUI සිදු කිරීමට වේලාව තීරණය කල හැකියි. ස්වභාවික ලෙස ඩිම්බයක් පිටවෙන්නෙ ඔසප් චක්‍රයේ 14 වන දින ආසන්නයේදීයි. මෙයට උත්තේජනය කරන්නෙ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන LH නම් හෝමෝනය මගිනුයි. ඩිම්බයක් හොඳින් මේරූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් මෙම හෝමෝනය විශාල ප්‍රමාණයක් එකවර පිටවෙනව. මෙය LH surge ලෙස හඳුන්වන අතර, එම හෝමෝන පිටවූ වෙලාවේ සිට ඩිම්බය පිටවීමට සාමාන්‍යයෙන් පැය 36ක් පමණ ගත වෙනව. මෙලෙස හෝමෝන මට්ටම වැඩි වෙන වෙලාව මුත්‍රාවල LH හෝමෝන පරීක්ෂා කිරීමෙන් හඳුනා ගන්න දැන් පුළුවන්. ඒ සඳහා මුත්‍රා පරීක්ෂණ LH STRIPS භාවිතා කල හැකියි. ස්වභාවිකව හෝමෝන වැඩි වෙන වෙලාව නිවැරදිව බලා ඒ සමග ඩිම්බ පිටවීමට ඖෂධ ලබා දීම මගින් IUI සිදු කරන අවස්ථාවේදී ඩිම්බය නිවැරදි වේලාවට පිටවෙන බව තහවුරු කර ගන්න පුළුවන්. එලෙස ඩිම්බය පිටවෙන විට උදරයේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අවශ්‍ය නම් නැවත ස්කෑන් පරීක්ෂාවකින් ඩිම්බය පිටවී ඇති බව තහවුරු කර ගන්න හැකියාව තිබෙනව.ඩිම්බ පිටවීම උත්තේජනය කිරීම සඳහා හෝමෝනය නික්ෂේපණයක් ලෙස භාවිතා කරනව. මෙලෙස භාවිතා කරන ඖෂධ වර්ගය සහ මාත්‍රාව අනුව ඩිම්බ නියමිත වේලාවට පිටවීම තීරණය වෙන නිසා එයත් IUI සාර්ථක වීමට බලපානව.  තාක්ෂණික දියුණුවත් සමග රසායනාගාරයේදී ශුක්‍රාණු නිසි ලෙස සැකසීමේ ක්‍රියාවලිය විශාල ලෙස වෙනස් වී තිබෙනව. ඒ නිසා නවීන පහසුකම් සහිත රසායනාගාරයක් තුල ප්‍රමිතියෙන් උසස් උපකරණ සහ අවශ්‍ය තරල වර්ග (sperm processing media) යොදා ගෙන ශුක්‍රාණු සැකසීම සිදු කරන විට සාර්ථක වීමට ඇති හැකියාව ඉහල යනව. මේ සියළුම කරුණු වලට අමතරව ඉතා වැදගත් දෙයක් තමයි මෙම ප්‍රතිකාරය සිදු කරන ආකාරය. පලපුරුදු වෛද්‍ය වරයෙකු විසින් ගර්භාෂය සංකෝචනය නොවෙන ලෙස සියුම් නාලයක් ගැබ් ගෙල තුලින් ඇතුළු කර ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරන්නෙ. මේ අවස්තාවේ ගර්භාෂය සංකෝචනය වීම උත්තේජනය වුවහොත් ශුක්‍රාණු නැවත පිටතට පැමිණීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ප්‍රමිතියෙන් උසස් IUI catheter එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණක්. IUI සිදු කිරීමේදී විශාල තරල ප්‍රමාණයක් යොදා නොගෙන ගර්භාෂය තුල පමණක් ශුක්‍රාණු තැන්පත් කිරීමට සැලකිලිමත් වීම වැදගත්. එසේ නොවුන හොත් පිටතින් ඇතුළු කරන තරලය පැලෝපීය නාල වලට ඇතුළුවී විෂබීජ ආසාදන තත්වයක් ඇතිවුවහොත් නැවත ගැබ් ගැනීමට නොහැකි ලෙස පැලෝපීය නාල අවහිර වීමට පවා අවදානමක් තිබෙනව. IUI තරම් සාර්ථක නොවන පැලෝපීය නාල තුලට ශුක්‍රාණු ඇතුළු කරන fallopian tube sperm perfusion ක්‍රමය දැන් නිර්දේශ කරන්නෙ නැහැ. IUI සිදු කරන අවස්ථාවේ ගැබ් ගෙල හරහා විෂබීජ ආසාදනය වීම වැළැක්වීම සඳහා සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනව. සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට පසුව විනාඩි 15ක පමණ කාලයක් උඩුබැලි අතර වැතිර සිටීම මගින් IUI සාර්ථක වීමට ඇති හැකියාව වැඩි වෙනව. ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම සාමාන්‍යයෙන් වැඩි වෙනව. මේ නිසා ගර්භාෂය තුල තැන්පත් වෙන කලලය රඳවා ගැනීමට හැකියාව ලැබෙනව. මෙම හෝමෝන මට්ටම නියමිත ප්‍රමාණයට නොමැති නම් කලලය මුල් අවස්ථාවේදීම පිටවීමට අවදානමක් ඇති බැවින් IUI ප්‍රතිකාරයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පෙති ලබා දීමක් සිදුකරනව. මෙලෙස නියමිත ප්‍රමිතියෙන් IUI යුතුව සිදු කිරීම මගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.  ..
පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව
දරු ඵල ප්‍රමාද වීම නැතහොත් දරු ඵල අහිමි වීම සඳහා බලපාන තවත් රෝග තත්වයක් වන පැලෝපීය නාලවල සිදුවන අවහිරතා සහ ඒවා හඳුනා ගන්නා පරීක්ෂණයක් ගැනයි මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ.සාමාන්‍යයෙන් කාන්තාවකට පැලෝපීය නාල දෙකක් පිහිටා තිබෙනවා. ඒවා ගර්භාෂය දෙපැත්තේ පිහිටාතිබෙන අතර ඉතාමත්ම සියුම් නාල ලෙසයි පවතින්නේ. ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිටවූ අවස්තාවකදී එම ඩිම්බය ගර්භාෂය දක්වා රැගෙන ඒමයි පැලෝපීය නාලයක ප්‍රධාන කර්තව්‍යය. ඊට අමතරව ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතුවීම ස්වභාවිකව සිදුවන්නේත් මෙම පැලෝපීය නාල තුල දීයි. ඇත්තටම දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ පැලෝපීය නාලයක් තුලදී කිව්වොත් නිවැරදියි. මෙයට අවශ්‍ය අභ්‍යන්තර පරිසරය පැලෝපීය නාලයක් තුල ස්වභාවයෙන් ම මැනවින් පිහිටා තිබෙනවා. එම නාල තුළ ඇත්තේ ඉතාමත් ම සියුම් බිත්තියක්. එම නාල තුල පිහිටි ඉතා සියුම් සීලියා (පක්ෂම) හෙවත් සියුම් රෝමකූප වල ක්‍රියාකාරීත්වයෙන් තමයි පැලෝපීය නාලයක් තුල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතු වීමෙන් සෑදෙන යුක්තාණුව ගර්භාෂය දෙසට ගමන් කිරීම සිදුවෙන්නේ. යම් කිසි හේතුවක් නිසා කාන්තාවකගේ පැලෝපීය නාලවල අවහිරතාවක් සිදුවුවහොත් මේ ක්‍රියාවලිය අඩපණ වීම ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරු පිළිසිඳ ගැනීමේ අවස්ථාව එම කාන්තාවට අහිමි වෙන්න පුළුවන්.අපි හොයල බලමු මේ ආකාරයෙන් පැලෝපීය නාලවල අවහිර තත්වයන් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල.පළමු කරුණ තමයි පැලෝපීය නාල ආශ්‍රිතව ඇතිවන ආසාදිත තත්වයන්. එය තවදුරටත් පැහැදිලි කළොත්, පැලෝපීය නාල වලට විෂ බීජ ඇතුල්වීම නිසා Pelvic Inflammatory Disease කියන රෝග තත්වය ඇතිවීම. ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලින් පැලෝපීය නාල වලට ඇතුල්වන විෂ බීජයක් හේතුවෙන් හටගන්නා ආසාදනයක් නිසා සැරව ගැලීමක් පැසවීමක් ඇතිවුවහොත්, නැවත යථා තත්වයට පත්කිරීමට නොහැකි තත්වයට පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. මෙවැනි විෂබීජ ආසාදනයක් ඇතිවූ පමණින්ම පැලෝපීය නාල අවහිර වෙන්නේ නැහැ, එහෙත් එවැනි අවස්ථාවක මුලික අදියරේදීම ඊට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් පැලෝපීය නාල අවහිරවීමේ අවදානම පවතින බව සිහිපත් කළ යුතුයි.පැලෝපීය නාල අවහිර වෙන්න බලපාන තවත් ප්‍රධානතම හේතුවක් ලෙස Endometriosis යන රෝග තත්වය සලකන්න පුළුවන්. මෙම රෝග තත්වය තිබෙන විට උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීම් සිදු වෙනවා. පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව මෙවැනි ඇලීම් සිදු වෙන්න පුළුවන්. එවැනි ඇලීමක් සිදුවුවහොත් පැලෝපීය නාලයේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට බාධා ඇති වී එමගින් පැලෝපීය නාලය අවහිර වන අවස්ථා දකින්න පුළුවන්.උදරය ආශ්‍රිතව සිදුකරන වෙනත් සැත්කමක් නිසාත් පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා උදර කුහරය ඇතුළත සැත්කමක් සිදුකළහොත් එම සැත්කම නිසාම පැලෝපීය නාල අවහිර වන අවස්ථා තිබෙනවා. එවැනි සැත්කමකින් පසුව උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීමට ඉඩ තිබෙන බැවින් පැලෝපීය නාල අවහිර වීමේ වැඩි අවදානමක් තියෙනවා.එමෙන්ම LRT වැනි සැත්කම් වලදීත් සිදුවෙන්න් පැලෝපීය නාලවල ක්‍රියාකාරිත්වයට බාධාවක ලෙස පැලෝපීය නාල අවහිර කිරීම. එවැනි සැත්කමක දී කාන්තාවකට ගැබ් ගැනීමේ හැකියාව නැති වී යාමයි සිදු වෙන්නේ.දැන් අපි සොයා බලමු පැලෝපීය නාලයක් අවහිරවී තිබේද යන්න හඳුනා ගන්නේ කෙසේද කියා. ඒ සඳහා ඇති ප්‍රධානතම හා සාර්ථකම පරීක්ෂණය ලෙස ලැපරොස්කොපි පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. උදර කුහරය ඇතුළත ඉතාමත් සියුම් අවයව ඉතාමත් පැහැදිලි ලෙස පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයක් ලෙසයි ලැපරොස්කොපි පරීක්ෂණය භාවිතා කරන්නේ. විශාල කැපුම් නොයොදා, ඉතා කෙටි කාලයක් තුල වඩාත් නිවැරදි ලෙස උදරය ඇතුළත රෝග තත්වයන් හදුනා ගැනීමට හැකි වීමත්, රෝග තත්වයක් හදුනාගතහොත් එම අවස්ථාවේදීම උදරය විවෘත කිරීමකින් තොරව සැත්කමකින් පවතින තත්වය නිවැරදි කිරීමේ හැකියාවත්, සැත්කමෙන් පසු රෝගියාට දැඩි වේදනාවන් නො දැනීමත්, වෙනත් සංකූලතා නොමැති අවස්ථාවල සැත්කමෙන් දිනකට පසු නිවෙස බලා යාමට හැකි වීමත් මෙම ලැපරොස්කොපි පරීක්ෂණය හා ලැපරොස්කොපි සැත්කම්වල වාසිදායක තත්වයන් වනවා.මෙහි දී සිදු කරනු ලබන්නේ ඉතා සියුම් කැමරාවක් උදර කුහරය තුලට යොමු කර එම කැමරාවෙන් ලැබෙන සජීවී දර්ශන යොදා ගෙන වෛද්‍යවරයා උදර කුහරය පරීක්ෂා කර බැලීමයි. එහිදී පැලෝපීය නාලවල කිසියම් ඇලීම් තත්වයක් පවතීද, Endometriosis රෝග තත්වය තිබේ ද යන්න පිළිබඳව පැහැදිලිව හදුනා ගැනීමට හා සොයා ගැනීමට හැකියාව ලැබෙයි .ඊට අමතරව මෙම පරීක්ෂණයේ දී ගැබ් ගෙල හරහා වර්ණයක් ඇතුල් කිරීමත් සිදු කරනු ලබනවා.එහිදී ගැබ් ගෙල හරහා ඇතුල්වන මෙම වර්ණක ගර්භාෂය තුලට ගමන් කර එතුලින් පැලෝපීය නාල දක්වා ගමන් කර පැලෝපීය නාලවලින් පිටතට පැමිණීම සිදු වෙනවා. මේ ගමන් මග නිවැරදිව අවහිරතාවකින් තොරව පවතිනවා නම් ඒ බව ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයාට දැක ගන්නට පුළුවන්. පැලෝපීය නාල දෙකින්ම මෙම වර්ණක පිටතට පැමිණෙනවා නම් එම නාලවල අවහිරතාවයක් නොමැති බව හා නිවැරදිව ක්‍රියාකරන බව තහවුරු කර ගැනීමට පිළිවන්.මෙම ලැපරොස්කොපි පරීක්ෂණය විනාඩි 15 ත් 30 ත් අතර කාලයක දී සිදු කළ හැකි වන අතර පූර්ණ නිර්වින්දනය හෙවත් සිහිනැති කිරීමකින් පසුව සිදු කළ යුතු වනවා. එහිදී කාන්තාවගේ නාභිය හෙවත් බුරිය ප්‍රදේශයේ සෙන්ටි මීටරයක පමණ කුඩාවට කැපුමක් යොදා ඉතා සියුම් කැමරාවක් සහිත ලැපරොස්කොපි ශල්‍ය උපකරණය ඇතුල් කරනු ලබනවා. ඊට අමතරව ලැපරොස්කොපි පරීක්ෂණයේ පහසුව වෙනුවෙන් උදරයේ ඇති වෙනත් අවයව පිහිටා ඇති ආකාරය අනුව කැමරාවෙන් පරීක්ෂා කිරීමේ පහසුව සඳහා උදරයේ පහල ප්‍රදේශයෙන් සෙන්ටි මීටර 1/2 ක කැපුමක් යොදා තවත් සියුම් ශල්‍ය උපකරණයක් ඇතුල් කරනු ලබනවා. ඒ සඳහා පහසුකම් ඇති රෝහලකට යොමු වීමෙන් මෙවැනි කුඩා කැපුම් 2 ක් පමණක් යොදා ගනිමින් ලැපරොස්කොපි පරීක්ෂණය ඉතාමත් ම පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා. දරුණු ලෙස පැලෝපීය නාල ඇලී තිබෙන Endometriosis වැනි රෝග තත්වයක් හෝ එසේත් නැත්නම් ඩිම්බ කෝෂවල ගෙඩි හට ගෙන ඇති තත්වයක් එම පරීක්ෂණයේ දී හදුනා ගැනීමට හැකිවුවහොත් උදරය විවෘත කිරීමකින් තොරව යථා තත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බවත් සඳහන් කළ යුතුයි.සටහන - ප්‍රියන්ත හීන්පැල්ල..
පලමු ත්‍රෛමාසිකයෙන් පසු සිදු වෙන ගබ්සාවන්.
පුංචි පැටියෙක් කුසට වැඩි බව දැනගත් පසු මවටත් පියාටත් ඇතිවන සතුට කොයි තරම්දැයි වචනයෙන් කිව නොහැක.. ඒත්... අවාසනාවකට පැටියා ඉපදෙන්න කලින් ගබ්සාවක් වීමෙන් අහිමි වීම ඉතා වේදනාකාරී අත්දැකීමක්. මීට පෙර ගබ්සාව පිළිබඳව ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කළෙමු. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නට සූදානම් වන්නේ පළමු ත්‍රෛයිමාසිකයෙන් පසු සිදු වන ගබ්සාවීම පිළිබඳවයි. ගර්භණී සමය අපි ත්‍රෛයිමාසික තුනකට බෙදා දැක්විය හැකිය. ඒ මෙසේය සති 1 සිට සති 12 දක්වා පළමු ත්‍රෛයිමාසිකය සති 13 සිට සති 28 දෙවන ත්‍රෛයිමාසිකය සති 29 සිට 36 දක්වා තුන්වන ත්‍රෛයිමාසිකය සාමාන්‍යයෙන් පළමු ත්‍රෛයිමාසිකය තුල ගබ්සාවක් සිදුවීමේ වැඩි ඉඩ කඩක් හා අවදානමක් ඇත. එහෙත් දෙවන හා තෙවන ත්‍රෛයිමාසිකයන් වලදී ගබ්සාවීමේ අවදානම අවම වන අතර එසේ සිදුවන්නේද කලාතුරකින්. පළමු ත්‍රෛයිමාසිකයෙන් පසු ගබ්සාවක් සිදුවන්නේ ඇයි?මේ සඳහා කාරණා කිහිපයක්ම බලපෑ හැකියි. 1 - දරු ගැබ යම් අසාමාන්‍යතාවක් සමග වැඩෙන අවස්ථාවක. කළලයේ ජාන එසේත් නැත්නම් දේහ ලක්ෂණ පාරම්පරිකව ගෙන යන වර්ණ දේහ වල ඇති වන යම් යම් විකෘතිතාවයන් හේතු කොටගෙන ගබ්සාවක් සිදුවිය හැකිය. ඒ අනුව මවගේ කුසෙහි උපතින්ම දරුවකු ජානමය ගැටලූ සහිතව වර්ධනය වන විට ඇති වන ශාරීරික අඩු පාඩු හේතු කොට ගෙන තව දුරටත් දරුවාට ජීවත්වීම අපහසු බැවින් දරුවා කුස තුලදීම මියයන්නට හෝ ඉපදී දින කිහිපයකට පසුව මිය යාහැකිය. මෙය ස්වභාවිකවම සිදු වන ක්‍රියාදාමයකි. 2 - දරු ගැබෙහි ඇති වන යම් රෝග තත්ත්වයන් නිසා දරුවාගේ හෘදය වස්තුව, මොළය, සුසුම්නාව හා ස්නායු පද්ධතිය නිසියාකාරව වර්ධනය නොවීම නිසා ගබ්සා විය හැකිය. සමහර විට මෙම තත්ත්වය ෆෝලික් ඇසිඞ් හා විටමින් නිසියාකාරව නොගැනීම නිසා සිදු විය හැකිය. 3 - මවගේ ගර්භාෂයේ යම් අසාමාන්‍යතාවයක් නිසා සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇත්තේ එක් ගර්භාෂයක් පමණි. එහෙත් ඇතැම් අවස්ථාවක මවගේ ගර්භාෂය දෙකට බෙදීමකට ලක්ව හෝ වෙනයම් අසාමන්‍ය තත්ත්වයක් සහිතව පිහිටා ඇති අවස්ථාවක දරුවාගේ වර්ධනය එය බාධාවක් වන නිසා දරුවා නීරෝගීව වැඞීම අඩාල වී ගබ්සා විය හැකිය. 4 - ගර්භාෂයේ ඇති වන ෆයිබ්‍රොයිඞ් ගෙඩි නිසා ෆයිබ්‍රොයිඞ් ගෙඩි ති‍බෙන කාන්තාවක් ගැබ් ගත් පසු අසාමාන්‍ය ලෙස ෆයිබ්‍රෙයිඞ් ගෙඩි ගර්භාෂය තුලට නෙරා ඒමෙන් දරුවාගේ වර්ධනයට බාධාවක් වී දරුවාගේ වැඩීම අඩාල වී ගබ්සා විය හැකිය. නමුත් කළලයට බාධාවක් නොවන ලෙස ෆයිබ්‍රොයිඞ් ගෙඩි ඇත්නම් ගබ්සා වීමක් සිදුනොවේ. 5 - මවගේ ගැබ් ගෙලෙහි ඇති අසාමාන්‍යතාවයක් නිසා. ගැබ් ගෙල යනු ගර්භාෂය යෝනීමාර්ගයට විවර වන ස්ථානයයි. දරු ගැබ වර්ධනය වන විට දරා ගත හැකිවන්නේ ගැබ් ගෙල ශක්තිමත්ව තිබුණහොත්ය. යම් හෙයකින් ගැබ් ගෙල ඉතා කුඩා හෝ දුර්වල නම් කළලය පිටතට පැමිණීම නිසා ගබ්සාවීමේ අවදානමක් ඇත. 6 - මව රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගයකින් පෙලීම. රුධිරය කැටි ගැසීම නිසා ගර්භාෂය හා වැදෑමහ අතර රුධිරය කැටි ගැසීම නිසා කළලය පෝෂණයට බාධාවක් වේ. කළලයේ වර්ධනයට බාධාවක් වන හෙයින් ගබ්සාවක් සිදු විය හැකිය. 7 - කළලවාරික තරලයට විෂ බීජයක් ඇතුල්වීම නිසා සාමාන්‍ය ලෙස පවසන පරිදි වෝටර් බෑගය බීදී යාමෙන් ගර්භාෂය තුලට විෂ බීජ ඇතුල්වීමේ අවදානමක් ඇත යම් හෙයකි වෝටර් බෑගය බිඳී විෂබීජ ඇතුල්වීම නිසා ගබ්සාවීමට අවදානමක් ඇත.පළමු ත්‍රෛයිමාසිකයන්ට පසුව ඇති වන ගබ්සාවක පූර්ව ලක්ෂණ සාමාන්‍යයෙන් නීරෝගී මවකට සති 13ත් 28ත් අතර උදරයේ වේදනාවක් ඇති නොවේ. එනිසා අසාමාන්‍ය ලෙස උදරයේ වේදනාවත් සමග යෝනී මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු වුවහොත් වහාම ඔබේ ප‍්‍රසව හා නාරි වෛද්‍යවරයා වෙත දන්වා සිටිය යුතුය. විෂබීජයක් ආසාදනය වූ අවස්ථාවක නම් මවට තද උණ ඇති වීම, යෝනී මාර්ගයෙන් ශ‍්‍රාවයක් පිටවීම වැනි රෝග ලක්ෂණ ඇතිවේ. මෙවැනි ගබ්සා වීම් වලක්වා ගත හැකිද? දරු ගැබ යම් අසාමාන්‍යතාවක් සමග වැඩෙන අවස්ථාවක එවැනි ගබ්සාවක් වලක්වාලීමට හැකියාවක් නැත. එය කලින් දැක්වූවා සේම ස්වභාව ධර්මයේ නියමට අනුව සිදුවන්නකි. කෙසේ වෙතත් ඇතැම් දරුවන් බොහෝ අඩු පාඩු සහිතව උපත ලබා කෙටි කලක් හෝ දීර්ඝ කාලයක් ජීවත් වන අවස්ථා ද ඇත. දරු ගැබෙහි අසාමාන්‍යතායක් නොමැති අවස්ථාවක ගබ්සා වීම වලක්විය හැකි ප්‍රතිකාර ක්‍රම තිබේ. ගර්භාෂය තුල ඇති කළලය පිටතට ඒම වලක්වා ලමින් අගුලූ දැමූ දොරටුවක් සේ කියා කරන්නේ ගැබ් ගෙලය. ප‍්‍රසූතිය සිදු වන විට ගැබ් ගෙල අගුලූ හැර සෙමෙන් සෙමෙන් විස්තාරණය වේ. ගැබ්ගෙල දුර්වලතාවයක් ඇති බව කල් ඇතිව දැන ගැනීමෙන් ගැබ් ගෙලට මැහුම් දැමීමෙන් අනවශ්‍ය ලෙස ගැබ් ගෙල විවිර වීම වලක්වා ගබ්සා වීම වැලැක්වීමට පුළුවන්. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නෙ යෝනි මාර්ගය හරහායි. නමුත් එවැනි මැහුම් අසාර්ථක වෙන අවස්තාවලදී ලැපරොස්කොපි ක්‍රමයට ගැබ්ගෙලේ ඉහල කොටසට මැහුමක් දැමීමට දැන් නවීන තාක්ෂණ පහසුකම් ඇත. මව රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගයකින් පෙලෙන විට ඒ සඳහා ඇස්ප‍්‍රීන් වැනි ඖෂධ සහ වෙනත් ප‍්‍රතිකාර ක‍්‍රම මගින් ගබ්සා වීමේ අවදානම අවම කර ගත හැකිය. කළලවාරික තරලයට විෂ බීජයක් ඇතුල්වී ඇති විට මව රෝහල් ගත කොට යම් යම් පරික්ෂණ වලට භාජනය කරමින් විෂබීජ ආසාදන වලක්වා ගැනීමට ප්‍රතිජීවක් ප‍තිජීවක ඖෂධ ලබා දෙයි. එසේම දරුවාගේ පෙනහඵ වර්ධනය කිරීමට ප‍්‍රතිකාර ලබා දීමත් සිදු කරයි. හැකිතාක් මවගේ කුස තුල දරුවාගේ වර්ධනය ඇති කිරීමට උත්සහ දරන නමුත් මවගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වී ඇති අවස්ථාවකදී දරුවා කොපමණ වර්ධනය වී තිබේ දැයි පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වා කලලය මවගෙන් ඉවත් කරන අවස්ථාද ඇත. මෙය Chorioamnionitis ලෙස හැඳින්වෙන අතර මෙවන් අවස්ථා ඇති වන්නේ ඉතාම කලාතුරකිනි. සටහන දිශාන්ති වෙදගේ..
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය  පිළිබඳව මෙයට පෙර පල කල ලිපි මගින් දැනටමත් ඔබ දැනුවත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු. මෙවර ලිපියෙන් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ  එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳවය. මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව ගර්භාෂයේ පමණක් පිහිටන එන්ඩොමෙට්‍රියම් සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල එනම් ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලෝපීය නාල හෝ ඩිම්බ කෝෂ මත ඇතිවීමයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙම රෝග තත්ත්වය නිර්ණනය කරගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්ෂණය මගින් නිවැරදිවම මෙම තත්ත්වය හඳුනා ගත හැකිය. ඒ අනුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය නිසා ඇති වන වේදනාව සඳහා වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගත හැකි වුවත් දරුඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට නම් වේදනා නාශක වලින් සාර්ථක විසඳුමක් ලබා ගත නොහැකිය. එනිසා එවැනි රෝගී කාන්තාවකට ශල්‍යකර්ම මගින් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ඇත. ලැපරොස්කොපි ශල්‍යකර්මය දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කල හැකියි. මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. මෙමගින් වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබේ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති විට පැලෝපීය නාල අවහිර වීමත් පටක එකිනෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නොහැකිවේ. එ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වීමට විසඳුමක් ලෙස මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය වෙත පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ලැපරොස්කොපි ශල්‍යකර්මයක දී හැකියාව ඇත. මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියොසිස් සෛල ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඇතැම් විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවේ. හෝමෝන ප්‍රතිකාර මගින් මාස 3-9 දක්වා කාලයක් ඔසප් නැවතීමට ප්‍රතිකාර කරනු ලබයි. මෙහිදී බලාපොරොත්තු වනුයේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වන එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වර්ධනය නතර කිරීමයි. එසේ වර්ධනය නතර කිරීමෙන් ඒවා විනාශ වේ. ප්‍රතිකාර පටන් ගත් පසු අඛණ්ඩව මාස 09ක් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා සාමාන්‍ය උපත් පාලන පෙති, ප්‍රොජෙස්ටරෝන් මෙන්ම GnRH analogues නැමැති හෝර්මෝන ඉන්ජෙක්ෂන් යොදා ගනියි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අතුරු ආබාධ අවමය. සාර්ථක සැත්කමකින් පසුව වසර 2- 3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව සඳහා විසඳුමක් ලැබෙන අතරම දරුඵල අපේක්ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව ද වැඩිවේ. මෙම එන්ඩොමෙට්‍රියෝසිස් සෛල නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති නිසා, ප්‍රතිකාර කිරීමෙන් පසු  ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුය. ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමඉහත ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නොලැබිය හැකි පරිදි රෝගය ඉතා දරුණු නම් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබා දිය හැකිය. මෙම ක්‍රමය සුදුසු වන්නේ නැවත දරුපළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන කාන්තාවන්ටයි.   සටහන -  දිශාන්ති වෙදගේ..
ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts
ලැපරොස්කොපි සැත්කම් පිළිබඳව බොහෝ කරුණු මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනව.  මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්න ඩිම්බ කෝෂවල ගෙඩි ඉවත් කරන සැත්කම් ගැන ඔබ දැනුවත් කිරීමයි. දැනට කාන්තා රෝග වලට සිදු කරන සැත්කම් වලින් බොහොමයක්ම ලැපරොස්කොපි ක්‍රමයට ඉතාමත් ආරක්ෂිව සිදුකරන්න පුළුවන්. එහිදී සිරුරට සිදු වන හානිය සහ අතුරු ආබාධ අඩු නිසා සැත්කමෙන් පසු ඉතා ඉක්මණින් පූර්ණ සුවය ලැබෙනව.බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම. මෙලෙස හඳුනා ගනු ලබන ගෙඩි වලින් බහුතරයක්ම කිසිම ප්‍රතිකාරයකින් තොරව ඉබේම හැකිලී යනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකදී ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත් පමණින් එයට සැත්කමක් සිදු කිරීම හෝ හැකිලීමට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් ඩිම්බ කෝෂ වල ඇති වෙන සමහර ගෙඩි මෙලෙස ඉබේ හැකිලී යන්නෙ නැහැ. ඒවා ක්‍රමයෙන් විශාල වීමට, සංකූලතා ඇති වීමට හෝ පිළිකා බවට පත්වීමට අවදානමක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාට නිගමනය කරන්න පුළුවන්. එවැනි අවදානමක් ඇති විට ඊට සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂ වල පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර අනිකුත් සියළුම සැත්කම් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදුකරන්න පුළුවන්. එවැනි සැත්කමකදී සිරුරට සිදුවෙන හානිය අවමයි. ඒ වගේම ඩිම්බ කෝෂයේ සාමාන්‍ය සෛල ඉවත් කිරීමකින් තොරව ගෙඩිය පමණක් ඉවත් කල හැකි  නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බාධාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම සැත්කම සිදු කරන දිනයේම හෝ පසු දින රෝහලෙන් බැහැර වීමටත් දින කිහිපයක් ඇතුලත සාමාන්‍ය වැඩකටයුතු නැවත ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙනව. ලැපරොස්කොපි සැත්කමකදී උදරයේ සෙන්ටිමීටරයකට වඩා කුඩා කැපුම් තුනක් පමණක් සිදු කර උදරය ඇතුලත සජීවී වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර ඒ ආධාරයෙන් ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කරමින් සැත්කම සිදු කරන්නෙ. ඩිම්බ කෝෂ වල ඇති වෙන ඉතා විශාල ගෙඩියක් වුවත් මෙම ක්‍රමයට ආරක්ෂිතව සිරුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණය දැන් තිබෙනව. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් වලින් බලා ගන්න පුළුවන්.ඩිම්බ කෝෂ වල ගෙඩි1. ලිපිය - ඩිම්බ කෝෂ වල ඇති වෙන ගෙඩි2. රූපවාහිනී වැඩසටහන3. ගුවන් විදුලි වැඩසටහනලැපරොස්කොපි සැත්කම්1. ලිපිය - විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් 2. රූපවාහිනී වැඩසටහන..