ගර්භණී මවකට වමනය සහ ඕක්කාරය ඇතිවීම
ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ලක්ෂණයක් ලෙස පවතින මතය තරමක් දුරට සත්‍යයක්. මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක් අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන තිබෙනව. ඕක්කාරය සහ වමනය ඇතිවෙන ආකාරය හරියටම පැහැදිලි නැහැ. නමුත් වැදෑමහ මගින් නිපදවන Human Chorionic Gonadotropin (hCG) නම් හෝමෝනය මෙයට හේතුව ලෙස සලකනව. මෙම හෝමෝන මට්ටම වැඩි වෙන නිවුන් දරුවන්, Molar pregnancy වැනි තත්වයන් අති විට වමනය සහ ඕක්කාරය සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩියෙන් දක්නට ලැබෙනව. ගර්භණී මවකට මුල්වරට සති 8දී පමණ වමනය ඕක්කාරය ඇති වෙන්න පුළුවන්.  සාමාන්‍යයෙන් දරු ගැබට සති 16 -18 පමණ කාලය වන විට මෙම රෝග ලක්ෂණ නැතිව යනව. කෙසේ වෙතත් සති 12කට පසු පලමු වරට මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වීම සාමාන්‍ය නැහැ. එසේ වුවහොත් එය වෙනත් රෝගයක ලක්ෂණයක් දැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. මේ තත්වය නිසා බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් වමනය ඉතා දරුණු ලෙස පවතින Hyperemesis Gravidarum නම් රෝග තත්වය නිසි ලෙස පාලනය නොකල හොත් ඉන් දරු ගැබට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා වමනය නතර නොවන අවස්තා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙවැනි අවස්තාවක මවට සාමාන්‍ය ආහාර ගැනීම අපහසු වෙන අතර අධික වමනය සමග පහත රෝග ලක්ෂණ ඇතිවේනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. මුත්‍රා වල වර්ණය තද පැහැ වීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩු වීම. වමනය සමග ලේ පිටවීම උදරයේ අධික වේදනාවක් ඇති වීම. උණ. නැවත නැවත නතර නොවී වමනය කිරීම. ක්ලාන්ත ගතිය. ගර්භණී කාලයේ ඕක්කාරය දැනීම සහ ඉඳ හිට වමනය අති වීම ඉතාමත් බහුල තත්වයක්. ඒ සඳහා කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන පරිදි රෝග ලක්ෂණ පවතී නම් මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දරු ගැබට කිසිම හානියක් නොවන පරිදි මෙම රෝග ලක්ෂණ වලින් සහනය ලබන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ප්‍රතිකාර වලට අමතරව මෙම රෝග ලක්ෂණ ඇති වීමට හේතු වෙන සාධක (උදා. සමහර ආහාර වල සුවඳ) වලින් ඈත්ව සිටීම, මානසික ආතතියෙන් මිදීම වැනි දේ  රෝග ලක්ෂණ පාලනය සඳහා වැදගත් වෙනව. මෙම කාලය තුල ඔබට සාමාන්‍ය ලෙස ආහාර ගැනීම අපහසු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඉන් ඔබට හෝ දරුවාට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබට පුළුවන් පරිදි සැහැල්ලු ආහාරයක් ගෙන රෝග ලක්ෂණ පහව යන තෙක් සිටීම සුදුසුයි...
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය
කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 – 16 අතර දින 6ක කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකියාව තිබෙනව. ඔසප් චක්‍රය ආරම්භ වෙන්නෙ ඔසප් වීමත් සමගයි. එතැන් සිට ඩිම්බ කෝෂ වලින් ඊළඟ මාසය තුල පිට වීම සඳහා ඩිම්බ මේරීම ආරම්භ වෙනව. ඩිම්බයක් පිට වීමට සුදුසු තත්වයට මේරීම සඳහා සාමාන්‍යයෙන් දින 14ක් පමණ ගත වෙන අතර මෙය වෙනස් වෙන්න පුළුවන්. මෙලෙස ඩිම්බය පිටවූ දින සිට හරියටම දින 14කින් ඊළඟ ඔසප් වීම සිදු වෙනව. මෙම කාල සීමාව වෙනස් නොවන නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙන්නේ ඇයගේ ඩිම්බ මේරීමට සහ පිටයවීමට ගත වෙන කාල සීමාව අනුවයි. ශුක්‍රාණුවක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල දින 5ක් පමණ සජීවී ව තිබීමට හැකියාව ඇති අතර ඩිම්බයක් පිටවු පසු එය දින දෙකක් පමණ සජීවී ව තිබෙනව. ඒ නිසා ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවී සංසේචනය ක් සිදුවීමට ඩිම්බ පිටවෙන දිනයට ආසන්න දිනක දී ලිංගික එක්වීම ප්‍රමාණවත්. නමුත් පරීක්ෂන මගින් සොයා ගෙන ඇති පරිදි ගැබ් ගැනීමට වඩාත්ම වැඩි සම්භාවිතාවක් තිබෙන්නෙ ඩිම්බ පිටවෙන දිනයට (සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14 වන දිනය) දින 3 කට පෙර සහ දින දෙකකට පසු දින දක්වා කාලය තුලයි. ඒ නිසා ඔසප් චක්‍රයේ ඩිම්බ පිටවන දිනයට දින තුනකට පෙර දින සිට ඩිම්බ පිටවන දිනයට දින දෙකකට පසු දිනය දක්වා කාලය සරු කාලය ලෙස සලකන් පුළුවන්.  ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එයට හේතු වෙන්නෙ ඩිම්බ මේරීම සඳහා ගතවන කාල සීමාව වෙනස් වීම හෝ ඩිම්බ මේරීම සිදු නොවීමයි. එවිට ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න අපහසු නිසා සරු කාලය ගණනය කරන්න හැකියාවක් නැහැ. ඔසප් වීම ක්‍රමාණුකූලව නියමිත දින ගණනකට වරක් සිදු වේ නම් නැවත ඔසප්වීමට නියමිත දිනයට දින 14කට පෙර ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ මේරීමට සහ පිටවීමට ගතවන කාලය වෙනස් විය හැකි නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙනව. ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනය පහත ඇතුළු කිරීමෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. VOG.LK FERTILE PERIOD CALCULATOR ..
ගර්භණී සමයේ ලිංගික එක්වීම අවදානම්ද?
ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැට‍ළුව නිතරම ‍වෛද්‍ය වරුන්  වෙත යොමු වෙනව. මේ කාලය තුල මව සහ පියා ලඟින් ඇසුරු කිරීම මවගේ මානසික තත්වයට මෙන්ම දරුවාගේ වර්ධනය සහ විකසනයටත් වැදගත් වෙනව. ගර්භණී වීමත් සමග කාන්තාවකට ඇතිවෙන ඕක්කාරය, පියයුරුවල තද ගතිය, මානසික වෙනස්කම් වැනි රෝග ලක්ෂණත් සමග මුල් මාස කිහිපය තුල ලිංගික ආශාවන් අඩු වීම සාමාන්‍ය තත්වයක්. ඉන් පසු යම් යම් අවස්තා වලදී ලිංගික ආශාවන් අඩු හෝ සාමාන්‍ය වෙන්න පුළුවන්. ගර්භාෂය තුල දරුවා සිටින්නෙ තරල පිරුණු අවකාශයක් වන water bag එක ඇතුළත නිසා පිටත ඇතිවෙන කම්පනයන් සහ ගැස්සීම් වැනි දේ දරුවාට දැනෙන්නෙ ඉතා සුළු වශයෙන්. ඒ වගේම ගැබ් ගෙල සම්පූර්ණයෙන් වැසී ඇති විට water bag එක සහ ගැබ් ගෙල අතර සෙන්ටි මීටර් 2 1/2කට වැඩි දුරක් තිබෙනව. වෙනත් කිසිම සංකූලතාවයක් නිසා වෛද්‍ය වරු ලිංගික එක්වීමෙන් වැළකී සිටීමට ඔබට උපදෙස් ලබා දී නොමැති නම්, ගර්භණී කාලයේ ලිංගික එක්වීම හෝ සුරාන්තයට පත් වීම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් ලිංගික එක්වීම දරු ගැබට මෙන්ම මවටත් අවදානම් විය හැකි සංකූලතා තත්වයන් තිබෙනව. පහත සඳහන් තත්වයන් ඔබට ඇති බව වෛද්‍ය වරු දැනුම්දී ඇති නම් ලිංගික එක්වීමෙන් වැළකී සිටිය යුතු වෙනව. වැදෑමහ පහතින් පිහිටීම ගර්භණී කාලයේ රුධිර වහනයට අවදානමක් තිබෙන Placenta previa (වැදෑමහ පහතින් පිහිටීම) තත්වය ඇති විට ලිංගික එක් වීම අවදානම්. මේ තත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. බොහෝ විට මාස 7ක් පමණ වෙන විට ගර්භාෂය විශාල වීමත් සමග වැදෑමහ ඉහලට ගමන් කරන නිසා මෙම ගැට‍ළුව දිගටම පවතින්නෙ නැහැ. ඒ බව නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා තෙක් ලිංගික එක්වීමෙන් සම්පූර්ණයෙන් වැලකීම අවශ්‍ය වෙනව. කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාම කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාමක් සිදුවූ විට ගැබ් ගෙල හරහා දරු ගැබට විෂබීජ ඇතුළු වීමට අවදානමක් තිබෙනව. ඒ නිසා ලිංගික එක්වීම සුදුසු නැහැ. ගබ්සා වීමට හෝ කලින් දරුවා බිහි වීමට අවදානම් තත්වයක් ඇති විට රුධිර වහනය, ගැබ් ගෙල විවෘත වීම, විටින් විට ඇති වෙන වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විට වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනව. එවැනි අවස්ථාවක ලිංගික එක්වීමෙන් වැලකී සිටීම සුදුසුයි. ගර්භණී කාලය තුල ලිංගික සංසර්ගයේ යෙදීම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු වෙන බවට මතයක් තිබුනත් එහි විද්‍යාත්මක පදනමක් නැහැ. ගර්භණී කාලයේ මව සහ පියා දෙදෙනා ම සහයෝගයෙන් මවගේ මානසික තත්වය ඉතා හොඳින් පවත්වා ගැනීම කුස තුල සිටින දරුවාගේ නිසි වර්ධනයට සහ විකසනයට අත්‍යවශ්‍ය කරුණක්. ගර්භාෂය විශාල වීමත් සමග මව උඩුබැලි අතට සිටීම සුදුසු නැති නිසා ලිංගික එක්වීමේදී වෙනත් පහසු ඉරියව්වක් යොදා ගැනීම අවශ්‍ය වෙන අතර ලිංගික  එක්වීම අහිතකර බවට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර නොමැති නම් ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ...
ගබ්සාවකට පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්.
ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක සඳහන් කලා. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දීමයි. බොහෝ විට ගබ්සාවන් සිදු වෙන්නෙ මුල් මාස තුන ඇතුළතයි. මෙය ස්වභාවික වරනය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. ජීවත් වීමට සුදුසු ජානමය සංයුතියකින් තොරව පිළිසිඳ ගන්නා කලලයන් ස්වභාවිකවම මිය යන අතර එය ඉවත් වීම ගබ්සාවක් ලෙස සිදු වෙනව. එවැනි ගබ්සාවන් වැළැක්වීමට ක්‍රමයක් නැහැ. එකවරක් එලෙස ගබ්සා වීම නැවත නැවත ගබ්සා වීමට හේතු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබට නැවත පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. නමුත් ගබ්සාවක් වැනි අමිහිරි අත් දැකීමකට පසු ඔබ ඉක්මණින්ම නැවත පිළිසිඳ ගැනීමකට මානසික ව සූදානම් නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මානසික තත්වය පිළිබඳ අවධානය යොමු කරන්න. ගර්භාෂයේ ඇතුළත ස්තරය සෑම ඔසප් චක්‍රයක දීම අලුතින් ගැබ් ගැනීමට සුදුසු පරිදි සකස් වෙන නිසා ගබ්සාවෙන් පසු නැවත ගැබ් ගැනීමට ශාරීරිකව බාධාවක් නැහැ. ඔබේ මාසික ඔසප් චක්‍රය නැවත ආරම්භ වූ වහාම නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් පමණක් කෙටි කාලයකට උපත් පාලන ක්‍රමයක් භාවිතා කල හැකියි. ඉක්මනින් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන විට ෆෝලික් අම්ලය දිගටම ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඒ වගේම ගබ්සාව අවස්ථාවේ අධික රුධිර වහනයක් සිදු වුනි නම් ඒ ගැන සොයා බලා නවත ගැබ් ගැනීමට පෙර රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය කර ගැනීමට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙහි දී ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව යකඩ පෙති ලබා ගැනීම වැනි ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීම වැදගත්. ගබ්සා වීමෙන් පසු උණ, උදරයේ වේදනාව, දිගින් දිගට රුධිර වහනය සිදු වීම වැනි ලක්ෂණ තිබුනි නම් වෛද්‍ය වරයා ඒ පිළිබඳ දැනුවත් කර විෂබීජ ආසාදන තත්වයක් ඇති දැයි පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. විෂබීජ ආසාදන තත්වයක දී එය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුව ලබා ගැනීමට සිදු වෙනව. කලාතුරකින් ගබ්සාවකින් පසු දිගින් දිගටම රුධිර වහනය පවතින්න පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. වෛද්‍ය පරීක්ෂාවන් පසු ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එලෙස ප්‍රතිකාර අවශ්‍ය වූ විටෙක වෛද්‍ය වරයා උපදෙස් ලබා දෙන තෙක් නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසු නැහැ. කලාතුරකින් ගබ්සාවට හේතුව මවගේ රෝග තත්වයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයන් සොයා ගැනීමට පරීක්ෂණ අවශ්‍ය දැයි ඔබේ වෛද්‍ය වරයා තීරණය කරනව. පරීක්ෂණ වලදී කිසියම් ගැට‍ළුවක් හඳුනා ගතහොත් එය නිවැරදි කිරීම සඳහා නැවත ගැබ් ගත් පසු ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. රුධිර කැටි ගැසීමේ අසාමාන්‍යතා ඇති කාන්තාවන්ට නැවත ගැබ් ගත් පසු රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ ලබා දීම, ගැබ් ගෙල දුර්වලතාවයක් ඇති කාන්තාවන්ට එය ශක්තිමත් කිරීමට මැහුමක් යෙදීම වැනි ප්‍රතිකාර ක්‍රම නැවත ගබ්සා වීම වළක්වා ගන්න සමහර විට භාවිතා කරනව. නමුත් බොහෝ විට නැවත වරක් ගබ්සාවක් වෙන්නෙ නැති නිසා එක් ගබ්සාවකට පසු බහුතරයකට වැඩිදුර පරීක්ෂණ හෝ ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැහැ. ඔබට කැමති කාල සීමාවක දී නැවත ගැබ් ගන්න උත්සාහ කරන්න පුළුවන්. පහත ලිපි වලින් වැඩිදුර විස්තර දැන ගන්න පුළුවන්. ගබ්සාවන් ගැන වැඩි විස්තර දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් වැදගත් උපදෙස්.    ..
කැපුම් තුවාල රහිතව ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)
ස්වභාවිකව දරුවෙකු බිහි වීම සිදු වන්නෙ යෝනි මාර්ගය හරහායි. ඒ වගේම ගර්භාෂය ඉවත් කරන සැත්කම වුවත් යෝනි මාර්ගය හරහා සිදු කිරීමට හැකියාව තිබෙනව. එහිදී උදරයේ කිසිම කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම කැපුම් සහ මැහුම් යොදන්නෙ යෝනි මාර්ගය ඇතුළතින් පිටතට නො පෙනෙන ආකාරයටයි. ගර්භාෂය ඉවත් කරන ලැපරොස්කොපි ක්‍රමයට සහ උදරය විවෘත කර සිදු කරන සැත්කම් පිළිබඳ ව විස්තර වෙනත් ලිපියක අඩංගු වෙනව. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ යෝනි මාර්ගය හරහා සිදු කරන ගර්භාෂය ඉවත් කරන සැත්කම පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගර්භාෂය පහත් වීමට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීම බහුලව සිදු කරන සැත්කමක්. ඊට අමතරව වෙනත් හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කිරීමට අවශ්‍ය වන විටකත්, එම සැත්කමත් යෝනි මාර්ගය හරහා ම සිදු කිරීමට හැකියාව තිබෙනව. කෙසේ වෙතත් ගර්භාෂය පහත් වීමක් නොමැති විට බොහෝ වෛද්‍ය වරු මෙම සැත්කම සිදු කරන්නේ උදරය විවෘත කිරීමෙනුයි. යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමේ ඇති වාසි. 1. උදරයේ කිසිම කැපුමක් හෝ මැහුම් යෙදීමක් අවශ්‍ය නොවීම 2. සිහි නැති කිරීමට අවශ්‍ය නොවීම. මෙය සිසේරියන් සැත්කමක දී මෙන් හිරි වැටීම සඳහා කොන්දට නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දී සිදු කරන්න පුළුවන්. 3. සැත්කම සඳහා ගතවන කාල වේලාව සහ වියදම ලැපරොස්කොපි සැත්කමකට සාපේක්ෂව අඩු වීම නමුත් මෙම සැත්කම ලැපරොස්කොපි සැත්කම වගේම සෑම කාන්තාවකට සුදුසු නැහැ. සමහර අවස්තා වලදී විවෘත සැත්කමක් හෝ ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. උදා. 1. ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වීම නිසා යෝනි මාර්ගය හරහා ඉවත් කිරීම අපහසු වීම. 2. කලින් සැත්කම් නිසා උදර කුහරය ඇතුළත ඇලීම් ඇතිවී තිබෙනම් මේ ක්‍රමයට ඒවා ආරක්ෂිත ව ඉවත් කිරීම අපහසුයි. 3. මේ සඳහා පුහුණු නාරිවේද වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. සෑම වෛද්‍ය වරයෙකුටම මෙවැනි සැත්කමක් කිරීමට අවශ්‍ය නිපුණතාවය නැහැ. 4. කලාතුරකින් සැත්කම සිදු කරන අවස්තාවේ අභන්තර රුධිර වහනයක් ඇති බව දැන ගැනීම. මොකක්ද මේ සැත්කමේ දී සිදු වෙන්නෙ? මුලින් ම සැත්කම සඳහා නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දීම සිදු කරනව. එය සිසේරියන් සැත්කමක දී මෙන් කොන්දට ලබා දෙන නික්ෂේපණයක් ලෙසයි ලබා දෙන්නෙ. පියවි සිහිය තිබිය දීම මෙම සැත්කම සිදු කරන්න මේ ඖෂධ මගින් ලැබෙන නිර්වින්දනය ප්‍රමාණවත් වෙනව. නමුත් සමහර විට පූර්ණ නිර්වින්දනය (සිහි නැති කිරීම) අවශ්‍ය වෙන්න පුළුවන්. ඉන් පසු යෝනි මාර්ගය ඇතුළත කුඩා කැපුමක් යොදා ගර්භාෂය කොටසින් කොටස සිරුරෙන් වෙන් කිරීම සිදු කරනව. අවසානයේ ගර්භාෂය යෝනි මාර්ගය තුලින් ම පිටතට ගැනීම සිදු කරනව. මෙහි දී රුධිර වාහිනි අවහිර කර සැත්කම අවස්තාවේදී සහ ඉන් පසුව ඇතිවිය හැකි රුධිර වහනයන් නතර කිරීමට කටයුතු යොදනව. ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු අවශ්‍ය නම් පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කමත් ඒ අවස්තාවේදීම සිදු කරන්න පුළුවන්. මෙම සැත්කමෙන් පසු මුත්‍රා පිට වීමට මුත්‍රා බටයක් දැමීම බොහෝ විට සිදු කරනව. එය පැය 12කදී පමණ ඉවත් කිරීමට හැකියාව තිබෙනව. නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරිත්වය අවසන් වන විට වේදනාවක් දැනෙන්න පුළුවන් නිසා වේදනා නාශක ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඉන් පසු සම්පූර්ණ සුවය ලැබෙන තෙක් දින 2 සිට 4 දක්වා කාලයක් රෝහලේ රැඳී සිටීමට අවශ්‍ය වෙන අතර යෝනි මාර්ගයේ ඇතුළත කැපුම සති දෙකක් පමණ වන විට සිදු වෙනව. ගර්භාෂය ඉවත් කරන සැත් කම සිදු කල හැකි වෙනත් ආකාර ගැන පහත ලිපියේ තොරතුර දැක්වෙනව. Laparoscopic Hysterectomy..