දරු ගැබක් නැතුවත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන Molar pregnancy තත්වය.
දරු පිළිසිඳ ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින කාන්තාවකට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීම සමග ඇතිවෙන සියලු බලාපොරොත්තු ස්කෑන් පරීක්ෂණයත් සමග බිඳ වැටෙන්න පුළුවන්ද? සෑම ගැබ් ගැනීම 1000කට 1ක් මෙවැනි අවාසනාවන්ත තත්වයක් වෙන්න පුළුවන්. Gestational Trophoblastic Disease නැතිනම් Molar Pregnancy කියල හඳුන්වන තත්වය ගැනයි මේ ලිපිය වෙන් වෙන්නෙ. සාමාන්‍යයෙන් දරු ගැබට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය ලබා දෙන්නෙ වැදෑමහ හරහායි. මේ තත්වයට හේතු වෙන්නෙ වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක්. මේ වගේ තත්වයක් ඇති වෙන ආකාරය තරමක් සංකීර්ණයි. සාමාන්‍යයෙන් දරු ගැබක් හට ගන්නෙ එක ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එක් වීමෙන්. මෙම සෛල දෙකේ අඩංගු ජාන එකට එක්වී හට ගන්නා කලලයේ ජාන සංයුතිය සැකසෙන්නෙ. නමුත් අසාමාන්‍ය ජාන සංයුතියක් ඇති වෙන ලෙස සංසේචනය සිදුවී Molar Pregnancy එකක් ඇති විය හැකියි. Molar Pregnancy ප්‍රධාන වර්ග දෙකක් තිබෙනව. Complete Molar Pregnancy මෙහි දී වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීම දක්නට ලැබෙන අතර දරු ගැබක් ඇති වෙන්නෙ නැහැ. මෙයට හේතු වෙන්නෙ හිස් ඩිම්බයක් (ජාන රහිත) ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමයි. Partial Molar Pregnancy මෙහි දීත් වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන නමුත් ඊට අමතරව අසාමාන්‍ය දරු ගැබකුත් ඇති වෙනව. මෙම කලලයේ අසාමාන්‍ය තාවයන් නිසා සාමාන්‍ය දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. මේ තත්වයට හේතු වෙන්නෙ ඩිම්බයක් එක වර ශුක්‍රාණු දෙකක් සමග එක්ව සංසේචනය වීමයි. මෙවැනි තත්වයන් ඇති වෙන්න බලපාන අවදානම් සාධක කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. කාන්තාවගේ වයස (වයස 35ට වැඩි වීම සහ 20 අඩු වීම) කලින් Molar Pregnancy ඇතිවී තිබීම කලින් ගබ්සා වීම් සිදුව තිබීම ජානමය බලපෑම. ආසියාතික කාන්තාවන්ට මේ තත්වයට ඇති අවදානම තරමක් වැඩියි. Molar Pregnancy එකක් නිසා බොහෝ විට රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ පලමු ස්කෑන් පරීක්ෂණයේ දී දරු ගැබක් නො පෙනීම සහ අසාමාන්‍ය ලෙස වැදෑමහ වර්ධනය වීම සොයා ගැනීමෙන්. ස්කෑන් පරීක්ෂණයක් සිදු නො කරන අවස්තාවකදී සති 12ක් පමණ වෙන විට ගර්භණී ලක්ෂණ අධික ලෙස දැනීම (උදා. වමනය, ඕක්කාරය), යෝනි මාර්ගයෙන් රුධිර වහනය වැනි ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. දරු ගැබක් වර්ධනය වීම සිදු නොවෙන නිසා සහ සංකූලතාවයන් ඇති විය හැකි නිසා මෙම තත්වය ඉතා ඉක්මනින් ඉවත් කල යුතු වෙනව.  සුළු ශල්‍යකර්මයක් මගින් Molar Pregnancy එක සම්පූර්ණයෙන් ගැබ් ගෙල හරහා ඉවත් කිරීම තමයි මෙයට ඇති ප්‍රතිකාරය. මේ සඳහා සිහි නැති කිරීමට අවශ්‍ය වෙනව. කලාතුරකින් මේ අවස්තාවේදී අධික රුධිර වහනයක් වැනි සංකූලතා ඇතිවීමට ඉඩ තිබෙනව. ඉවත් කිරීමෙන් පසු ගර්භාෂය තුල ඉතිරි වෙන සෛල කොටස් ඉබේම හැකිළී යනව. කලාතුරකින් මෙම සෛල පිළිකාවක් ලෙස හැසිරීමට ඉඩක් තිබෙනව. ඒ නිසා මෙය වරින් වර HCG හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම මගින් සොයා බැලීමට අවශ්‍යයි. HCG හෝමෝන මට්ටම සාමාන්‍ය වීමට කල් ගත වේ නම් මේ සඳහා වැඩි දුර ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. හෝමෝන මට්ටම සාමාන්‍ය වී ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන තෙක් නැවත ගැබ් ගැනීමට සුදුසු නැහැ. මේ නිසා එම කාලය තුල සුදුසු උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුයි. ඉන් පසුව නැවත ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙන්නෙ නැහැ. නමුත් නැවත Molar Pregnancy තත්වයක් ඇති වීමට 1-2%ක පමණ අවදානමක් තිබෙනව...
ගැබිනි මවක් වහාම රෝහල් ගත විය යුතු අවදානම් ලක්ෂණ 5ක්
දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගැබිනි මවකට හදිසියේ රෝහල් ගත විය යුතු අවස්තා ඇති වෙනව. මොනවද මේ අවදානම් ලක්ෂණ කියල කලින් දැන ගෙන සිටියොත් මේ වගේ අවස්තාවකදී මවටත් දරු ගැබටත් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් සලකා බලන්නේ ගැබිනි මවකට හදිසියේ ම රෝහල් ගත වෙන්න සිදු වෙන අවදානම් ලක්ෂණ 5ක් පිළිබඳ වයි. ප්‍රසූත වේදනාවන් ඇති වීම ගර්භණී කාලයේ වරින් වර උදරයේ සහ කොන්දේ වේදනාවන් ඇති වීම සුලබ ලක්ෂණයක්. නමුත් දරු ප්‍රසූතිය ආසන්න වෙන විට මව ප්‍රසූත වේදනා පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතු වෙනව. වරින් වර ඇති වෙන තද වේදනාවක් උදරයේ සහ පිට කොන්ද ආශ්‍රිතව මවට දැනෙයි නම් මෙය ප්‍රසූත වේදනාවල මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වෙන්නෙ වේදනාව එක දිගටම නො පැවතීමයි. වේදනාවක් ඇති වී එය පහව ගොස් නැවත වේදනාවක් ඇතිවෙන තෙක් මවට පහසුවෙන් සිටීමට හැකියාව තිබෙනව. මෙවැනි වේදනාවන් විනාඩි 5කට වරක් පමණ ඇති වේ නම් රෝහලට ඉක්මනින් ගොස් පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. ප්‍රසූත වේදනාවන් විනාඩි 2-3කට වරක් ඇති වෙන විට ඇය සූතිකාගාරයට ඇතුළු කිරීමට සිදු විය හැකියි. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම දරු ප්‍රසූතිය ආසන්න වෙන විට ගැබ් ගෙල විවෘත වීමක් සිදු වෙනව. එවිට ගැබ් ගෙල වසා තිබෙන ශ්ලේෂ්මල රුධිරය සමග පිටවීමක් සිදුවෙනව. මෙය යෝනි මාර්ගය තුලින් රුධිරය මුසු ශ්ලේෂ්මල ස්‍රාවයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙයත් දරු ප්‍රසූතිය ආසන්න බව හඳුනා ගන්න තවත් ලක්ෂණයක්. එවැනි තත්වයක දී ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගන්න. ගර්භ තරලය පිටතට පැමිණීම Water bag එක කැඩීම ලෙස හඳුන්වන්නේ මේ තත්වයයි. ගර්භාෂය තුල දරුවා සිටින්නේ ගර්භ තරලය තුල කිමිදී. මෙම තරලය පිටතට පැමිණීම වැළැක්වීමට කලලාවාරික පටල (water bag) තිබෙනව. මෙය බිඳී යාමක් සිදුවුව හොත් යෝනි මාර්ගයෙන් වතුර වැනි තරලයක් පිටවීම හඳුනා ගත හැකියි. මෙය ඉතා අවදානම් තත්වයක් විය හැකි වෙන්නේ ඒ සමග දරුවාගේ පෙකණි වැල පිටතට පැමිණිය හැකි නිසා. ඒ වගේම තරලය අඩු වීමට නිසා ගර්භාෂය තුල දරුවාට ආරක්ෂාව අඩු වීමත්, යෝනි මාර්ගය හරහා දරු ගැබට සහ ගර්භාෂයට විෂබීජ ඇතුළු වීමත් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙම ලක්ෂණ හඳුනා ගත් වහාම රෝහල් ගත වීම වැදගත් වෙනව. දරුවාගේ දැඟලීම අඩු වීම මවකට දරුවා කුස තුල නිරෝගී ව සිටී දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමය දරුවාගේ දැඟලීම ගැන අවධානයෙන් සිටීමයි. බබා දැඟලීම එක් එක් මවට දැනෙන ආකාරය වෙනස්. ඒ වගේම එක් එක් දරුවා දඟලන වාර ගණන සහ රටාව එකිනෙකාට වෙනස්. නමුත් මවකට තමාගේ දරුවා දඟලන සුපුරුදු රටාව ගැන අවබෝධයක් තිබෙනව. මෙහි අඩු වීමක් ඇති වුව හොත් ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. රුධිර වහනය ගැබ් ගෙල විවෘත වීම දී ශ්ලේෂ්මල සමග සුළු රුධිර වහනයක් වීම සාමාන්‍ය ප්‍රසූතිය ආසන්න වෙන විට දක්නට ලැබෙනව. නමුත් යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. වැදෑමහ ගර්භාෂයෙන් වෙන් වීම හෝ වැදෑමහ අසාමාන්‍ය ලෙස පහතින් පිහිටීම නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. ඉහත සඳහන් කලේ දරු ප්‍රසූතිය ආසන්න ව රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ගැබිනි මවක් හදිසියේ ම රෝහලට ගෙන යාමට සිදු වෙන අවදානම් ලක්ෂණ කිහිපයක්. මීට අමතරව ඇයට ඇති වෙන වෙනත් ඕනෑම රෝග ලක්ෂණයක් සුළුවෙන් සැලකිය යුතු නැහැ. එවැනි අවස්තා වලදී රෝග ලක්ෂණ අනුව ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම සිදු කරන්න.    ..
නිවුන් දරු උපතකට සූදානම් වෙන මවකට උපදෙස්.
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්. තම කුස තුල නිවුන් දරුවන් සිටින බව දැන ගැනීම මේ සතුට දෙගුණ තෙගුණ කරන අවස්ථාවක්. නමුත් ඒ සමගම ඇතිවිය හැකි සංකූලතා ගැන බියකුත් ගැබිනි මවට ඇති වෙන්න පුළුවන්. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාවක ගැබිනි මවක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනාවාද? මේ ගැන විස්තර මේ ලිපියේ දැක්වෙනව. සාමාන්‍යයෙන් එක් වරකට කාන්තාවක් පිට කරන්නෙ එක් ඩිම්බයක් පමණයි. එම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක් වීමෙන් කලලයක් බිහිවෙනව. සමහර අවස්තා වලදී එක ඩිම්බයකට වඩා එක් වර පිටවෙන්න පුළුවන්. එවිට ඩිම්බ දෙකක් එකවර සංසේචනයට ලක් වී කලල දෙකක් ඇති වෙන්න හැකියාව තිබෙනව. නිවුන් දරුවන් ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ මෙයයි. නමුත් සමහර අවස්ථාවල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වී සෑදෙන කලලය මූලික අවස්ථාවේදීම දෙකට බෙදී කලල දෙකක් ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නව. ඒ නිසා ස්වරූපයෙන් එක සමාන නිවුන් දරුවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවුන් දරුවන්ගෙන් 1/3ක් මෙවැනි එක සමාන ස්වරූපය තිබෙන නිවුන් දරුවන්. මෑත කාලයේ දී නිවුන් දරු උපත් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනව. මදසරු බවට ලබා ගන්න ප්‍රතිකාර ඇතුළු විවිධ හේතු මෙයට බලපානව. කොහොමද ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටින බව දැන ගන්නෙ? නිවුන් දරුවන් සිටින විට උදරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙනව. පවුලේ නිවුන් දරුවන් සිටී නම් ඔබටත් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව තරමක් වැඩියි. ඒ වගේම ඔබ මදසරුබවට ප්‍රතිකාර ලබා ගත්තේ නම් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව වැඩියි. සති 8 -14 අතර කාලයේ දී සිදු කරන පලමු ස්කෑන් පරීක්ෂණයෙන් ම ඔබට නිවුන් දරුවන් සිටින බව හඳුනා ගන්න හැකියාව තිබෙනව. මෙම ස්කෑන් පරීක්ෂණයේ වැදෑමහ සහ පටල පිහිටා ඇති ආකාරය අනුව නිවුන් දරුවන් එක සමාන ස්වරූපයේ නිවුන් දරුවන් ද යන බව සැක කිරීමට හැකියාව තිබෙනව. නිවුන් දරුවන් සිටින මවක් සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩි වාර ගණනක් සායන වලට සහභාගි විය යුතු වෙනව. ගර්භණී කාලයේ ඇතිවිය හැකි දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතා සඳහා වැඩි අවදානමක් තිබෙන නිසා මෙලෙස පරීක්ෂාවට ලක් වීම වැදගත්. ඒ සමගම ඇයට වැඩි ස්කෑන් පරීක්ෂණ සංඛ්‍යාවකටත් භාජනය වීමට සිදු වෙනව. එහිදී දරුවන්ගේ වර්ධනය සාමාන්‍ය දැයි සොයා බලනව. නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මවකට සාමාන්‍ය ගර්භණී ලක්ෂණ වැඩිපුර දැනෙන්න පුළුවන්. මුල් කාලයේ ඇති වෙන වමනය, ඕක්කාරය වගේම පසු කාලීන ව ඇතිවෙන වේදනාවන්, අපහසුතාවයන් මෙම මව්වරුන්ට වැඩිපුර ඇති වෙනව. නිවුන් දරුවන් නියමිත සති ගණනට කලින් බිහි වීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ නිසා උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඇතිවුනොත් ඉක්මනින් රෝහල් ගත වීමට අවශ්‍යයි. නිවුන් දරු ප්‍රසූතිය සාමාන්‍ය ලෙස සිදු කරන්න හැකියාව තිබෙනව. නමුත් කලාතුරකින් නිවුන් දරුවන් සිටින ආකාරය අනුව සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු කිරීමට අපහසු විය හැකියි. ඒ වගේ අවස්ථාවල දී සිසේරියන් සැත්කමකින් දරුවන් බිහි කිරීමට සිදු වෙනව. පසු ප්‍රසව රුධිර වහනය වැනි සංකූලතා සඳහා අවදානම තරමක් වැඩි නිසා දරු ප්‍රසූතියෙන් පසුවත් මවට විශේෂ රැකවරණයක් අවශ්‍ය වෙනව.    ..
පැප් පරීක්ෂණය (Pap Smear) යනු කුමක් ද?
Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය යනු කුමක් ද?  එම පරීක්‍ෂණයේ ප්‍රථිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න මෙම  ලිපියෙන් පැහැදිලි කෙරෙනු ඇත. pap පරීක්ෂණය සිදු කරන්නේ ඇයි? ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි.මෙම වෛරසය ජනගහනයේ  60% පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසැදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම ,නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා  වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ. පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage)  හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනා ගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය. pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද? වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල  බෙදීමේ වේගය වැඩි කරයි.එය පිළිකා පූර්ව  තත්වයක් (Pre-Cancer)   ලෙස හැදින්වේ. ගැබ්ගෙල පුර්ව පිළිකා තත්වය මුලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ. විවිධ රටවල මධ්‍න්‍ය වයසක් මේ සදහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙසද හදුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ . පැප් පරීක්ෂණය සිදුකරන ආකාරය  මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති  උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුලු කර ,ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ .මේවා අන්වීක්ෂයෙන් පසුව පරික්ෂා කෙරේ. මෙම  සෛල වර්ණ ගන්වන ක්‍රම (staining)  දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැදින්වේ. නවතම  Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ. පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක් ද ? මෙහි ප්‍රථිපල සති 3 කින් පමණ ලැබේ . එය සාමාන්‍ය නම් නැවත අවු 3කින් කිරීම ප්‍රමාණවත් වේ . එහි යම් කිසි ගැටළුවක් ඇත් නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු වෙත යොමු  විය යුතුය. ගැබ්ගෙල සෛල වල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කල හැකිය. අසමාන්‍යතාව තීව්‍ර නම් colposcopy පරීක්ෂණයට යොමු  විය යුතුය. ..
ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය
වේගයෙන් පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ වගේම මෙම රෝගය නිසා ගර්භණී මව් වරුන්ට දරුණු සංකූලතා ඇති වෙන්නත් පුළුවන් නිසා ගර්භණී කාලය තුල සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති වුවහොත් එ් ගැන විශේෂ අවදානය යොමු කිරීම වැදගත්. H1N1 රෝගයේ ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශා උණ තත්වයකදී ඇති වෙන රෝග ලක්ෂණ වලට බෙහෙවින් සමානයි. මීට අමතරව කැස්ස, ඇඟපත රුදාව, උගුරේ ආසාදන, හිස රදය, මහන්සි ගතිය, තද උණ සමග සීතල ගතිය ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගැබිණි මවකට ඇති වුවහොත් ඉකිමණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි. සමහරවිට මේ රෝගය නිසා නියුමෝනියාව වැනි සංකූලතා ඇති වෙනව. ගැබිණි කාලයේ මෙවැනි සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. පසුගිය වසර තුල මේ නිසා මාතෘ මරණ කිහිපයක්ම ලංකාවේ වාර්තා වුනා. එම නිසා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නියම කර තිබෙන්නේ දිනකට වඩා උණ රෝගය තිබෙන සියළුම ගැබිණි මව් වරුන් අනිවාර්යයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත යුතු බවයි. රෝහලකදී මෙම රෝග තත්වය පාලනය කර ගැනීමට ප්‍රති වෛරස ඖෂධ භාවිතා කරනව. එහිදී Oseltamvir නැමැති ඖෂධය බහුලව භාවිතා කරනව. මෙම ඖෂධ ඉක්මණින් ගැනීමෙන් රෝගය නිසා ඇති වෙන සංකූලතා අවම කර ගන්න හැකියාව තිබෙනව. මෙම රෝගය වලක්වා ගන්න දැනට එන්නතක් නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා සෑම ගැබිණි මවක්ම මෙම රෝගය බෝවීමට ඇති අවදානම අඩු කරගැනීමට උත්සාහ කල යුතුයි. මේ සඳහා පහත උපදෙස් වැදගත් වේවි. හැකි තරම් සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න. ආසාදිත පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වලකින්න. නාසය, මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. කහින විට කිවිසුම් යන විට නාසය සහ මුව ආවරණය වෙන ලෙස ටිෂූ එකක් භාවිතා කර එය ඉවත දමන්න. නිරතුරුව අත් සබන් යොදා සොදන්න. නැතිනම් ඇල්කොහොල් අඩංගු අත් පිරිසිදු කරන ද්‍රව්‍යයක් යොදා ගන්න. උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් ඇති වුව හොත් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එක් දිනකට වඩා උණ තත්වය පවතීනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න. මෙම රෝග තත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශය මගින් රෝගීන් දැනුවත් කිරීමට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න‍..