ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන්න හොඳම ක්‍රමය මොකක්ද? Laparoscopic Myomectomy සැත්කම ගැන දැන ගන්න.
  ගර්භාෂයේ ඇතිවෙන ෆයිබොයිඩ් ගෙඩි නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් ම එක් අයෙකුට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් (Fibroids) ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනව. මේ නිසා ඔසප් වීම සමග අධික වේදනාව, අධික රුධිර වහනය, දරු පිළිසිඳ ගැනීම සිදු නොවීම, ගබ්සා වීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර කලින් ලිපියක පල කරනු ලැබුව. මේ සඳහා ප්‍රතිකාර කරන ආකාර කිහිපයක් තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නේ මයෝමෙක්ටොමි (Myomectomy) සැත්කම පිළිබඳ ව. මයෝමෙක්ටොමි කියන්නේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන සැත්කම. මෙය සිදු කල හැකි ආකාර තුනක් තිබෙනව. 1. විවෘත ශල්‍යකර්මය (Open myomectomy) මෙය බොහෝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබුවේ විවෘත සැත්කමක් ලෙස. මෙහි දී ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් වුවත් ඉවත් කිරීමට හැකියාව ඇති අතර ශල්‍යකර්මය අතරතුර රුධිර වහනයට ඇති අවදානම වැඩියි. ඒ වගේම පසුකාලීන ව උදරයේ අනිකුත් අවයව ගර්භාෂයට ඇලීම නිසා සංකූලතා ඇතිවීමටත් ඉඩ කඩ තිබෙනව. සාමාන්‍යයෙන් මේ සැත්කමට සහභාගි වීමට පෙර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුව හොත් ගර්භාෂය පවා ඉවත් කිරීමට කැමැත්ත දීමට සිදුවෙනව. එම නිසා බොහෝ කාන්තාවන් මේ සැත්කමට භාජනය වීමට බියක් දක්වනව. නමුත් දැන් මේ සැත්කම නවීන ලැපරොස්කොපි ක්‍රමයට කිරීමට හැකියාව ලැබී තිබෙනව. 2. ලැපරොස්කොපි ශල්‍ය කර්මය (Laparoscopic myomectomy) ලැපරොස්කොපි ක්‍රමය කියන්නේ රෝගියාට ඉතාමත් පහසු සැත්කම් ක්‍රමයක්. මෙහි දී බඩේ ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරනව. මින් විශාලතම කැපුම සෙන්ටි මීටරයක් තරම් වෙන්නේ. ඒ තුලින් සිහින් කැමරාවක් බඩ ඇතුළතට යොමු කර වෛද්‍යවරයා ඉන් ලැබෙන දර්ශනය යොදා ගෙන සැත්කම සිදු කරන්නේ. ඒ සඳහා භාවිතා කරන්නෙ ඉතාමත් සියුම් ශල්‍ය උපකරණ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි. මේ විදියට ෆයිබ්‍රොයිඩ් ඉවත් කරන විට පිටවෙන ලේ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම ගර්භාෂයට වෙන හානියත් අඩුයි. ඉවත් කරන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ශල්‍ය උපකරණයක් ආධාරයෙන් සිහින් කොටස් බවට පත් කර සෙන්ටි මීටරයක් කුඩා කැපුම තුලින් ම යොමු කරන බටයක් තුලින් උදර කුහරයෙන් පිටතට ගනු ලබනව. ගර්භාෂයේ ගෙඩි ඉවත් කල ස්ථාන වැසීමට යොදා ගන්නේ දිය වෙන මැහුම්. මෙම ශල්‍ය කර්මයෙන් පසු ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ වෙනත් අවයව වලට ඇලී සංකූලතා ඇතිවීමට ඇති අවදානම විවෘත ශල්‍ය කර්මයකට වඩා ඉතා අඩුයි. එම නිසා දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු වෙන කාන්තාවකට වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ ලැපරොස්කොපි ක්‍රමයට මයෝමෙක්ටොමි ශල්‍යකර්මය සිදු කිරීමයි. නමුත් මේ ශල්‍යකර්මය සඳහා සෑම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ම සුදුසු වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔබ මේ සඳහා සුදුසු දැයි තීරණය කල හැකියි. සැත්කමෙන් පසු එදින ම ඔබට ඇඳෙන් නැගිට සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනව. බොහෝ විට පසු දින හෝ එදින ම රෝහලෙන් බැහැර යාමටත් හැකියාව තිබෙනව. 3. හිස්ටරොස්කොපි ශල්‍යකර්මය (Hysteroscopic resection of fibroids) දරු පිළිසිඳ ගැනීම පමා වීම හෝ නිතර නිතර ගබ්සා වීමට හේතු සොයා බලන විට සමහර කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා ඇති කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව දක්නට ලැබෙනව. එවැනි කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම බොහෝ විට අවශ්‍ය වෙනව. ඒ වගේ අවස්ථාවක විවෘත හෝ ලැපරොස්කොපි ශල්‍ය කර්මයකින් තොරව මෙම ගෙඩි ඉවත් කිරීමට හිස්ටරොස්කොපි ක්‍රමය මගින් පුළුවන්. එහිදී කුඩා කැමරාවක් සහිත හිස්ටරොස්කොපි උපකරණය ගැබ් ගෙල තුලින් ගර්භාෂයට ඇතුළු කර එමගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩිය උදරයේ කිසිම කැපුමක් නොමැතිව ඉවත් කිරීමට පුළුවන්. නැවත දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වෙන්නේ නැති කාන්තාවකට නම් මේ සඳහා ඇති ස්ථිර විසඳුම වෙන්නේ ගර්භාෂය සමග ෆයිබ්‍රොයිඩ් ගෙඩි සියල්ල එකවර ඉවත් කිරීමයි. මෙම ශල්‍යකර්මයත් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ ගැන විස්තර දැන ගන්න මෙතන ක්ලික් කරන්න. ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කම් සඳහා විශේෂිත ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. ඒ නිසා බොහෝ රෝහල්වල තවමත් මේ සඳහා පහසුකම් නැහැ. දැනට කොළඹ බොහෝ පුද්ගලික රෝහල් වලදී මේ සැත්කම් සිදු කර ගැනීමට හැකියාව තිබෙනව. Save..
ඩෙංගු වගේ මදුරුවන්ගෙන් බෝවෙන සිකා වෛරස රෝගය මවු කුස තුල සිටින දරුවන්ට හානිකරන හැටි.
මේ දවස්වල ලෝකයේ රටවල් ගණනාවක වසංගතයක් ලෙස පැතිර තිබෙන සිකා වෛරස ආසාදනය ගැන ඔබ අසා ඇති. ඇත්තටම මෙය දරුණු රෝග තත්වයක් ද? ගැබිනි මවකට හෝ ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට මේ රෝගය වැලඳුනොත් මොකද වෙන්නේ? මේ ගැන දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ. සිකා වෛරසය ආසාදනය කියන්නේ ඩෙංගු උණ වගේ වෛරසයක් මගින් බෝ වෙන උණ රෝගයක්. මෙම වෛරසය ශරීර ගතවී දින කිහිපයක් ගත වෙනව රෝග ලක්ෂණ ඇතිවෙන්න. ඒ වගේම සමහර විට මින් කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. උණ, හන්දිපත් වේදනාව වැනි ඩෙංගු උණ රෝගයේ ඇතිවෙන රෝග ලක්ෂණ තමයි මෙයිනුත් ඇති වෙන්නේ. ඒ වගේම මේ රෝගය බෝ වෙන්නේ ඊඩිස් ගණයේ මදුරුවෙකු මගින්. ඊට අමතරව රෝගය ඇති පිරිමි කෙනෙක් සමග ලිංගික සංසර්ගයේ යෙදීමෙන් කාන්තාවකට මෙම රෝගය බෝවිය හැකියි. ගර්භණී මීයන්ට මෙම වෛරසය ආසාදනය කර කරන ලද පරීක්ෂණයක දී කුස තුල සිටින පැටවුන්ට ඉන් දරුණු සංකූලතා ඇති කරන බව සොයා ගෙන තිබෙනව. ඒ නිසා ඔබ ගර්භණී වීමට අපේක්ෂා වෙන් සිටී නම් මේ රෝගය ඇති රටවලට ගමන් කිරීමෙන් වැළකීම වැදගත්. බ්‍රසීලය, කොලොම්බියාව, දකුණු සහ මධ්‍යම ඇමරිකානු රටවල්, කැරිබියන් දූපත් පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් මේ රෝගය සඳහා අවදානම් රටවල් ලෙස සලකනව. දැනට මෙම රෝගය ලංකාවෙන් වාර්තාවී නැහැ. නමුත් මෙය පැතිරවිය හැකි මදුරුවන් ලංකාවේ සිටින නිසා රෝගය ලංකාවට පැතිරුනොත් එය පාලනය කිරීම තරමක් අපහසු වෙනව. රෝගයෙන් බේරී සිටීමට නම් දැනට රෝගය ඇති රටවලට යෑමෙන් වැළකීම සහ මදුරුවන් බෝවීම අවම කිරීම වැදගත් වෙනව. ඒ වගේම මදුරු දෂ්ට වළක්වා ගන්න ක්‍රියා කිරීමත් සුදුසුයි. ගර්භණී මවකට මේ රෝගය ඇති වුන හොත් ඉන් ඇයට දරුණු සංකූලතා ඇති වෙන්නේ නැහැ. නමුත් වැදෑමහ හරහා කුස තුල සිටින දරුවාට මේ රෝගය පැතිරීමට අවදානමක් තිබෙනව. ඒ වගේ අවස්ථාවක දරුවාට දරුණු සංකූලතා ඇතිවෙනව. ගබ්සා වීම, දරුවාගේ මොළය වැඩීම අඩපනවී හිස කුඩා වීම (Microcephaly) වැනි තත්ව මේ රෝගය නිසා වාර්තාවී තිබෙනව. Microcephaly කියන තත්වය ඇති වන දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු නිසා සාමාන්‍ය දරුවෙකු වගේ මානසික වර්ධනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ වගේම ඔවුන්ට අපස්මාරය වැනි ස්නායු ආබාධ ඇතිවීමටත් ඉඩකඩ වැඩියි. මේ තත්වය ගර්භණී කාලයේ ස්කෑන් පරීක්ෂණ මගින් සොයා ගැනීමට හැකියාව තිබෙනව. මෙම රෝගයට බෙහෙතක් හෝ එන්නතක් දැනට සොයා ගෙන නැහැ. රෝගය ඇති වුව හොත් පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කිරීම සහ විවේක ගැනීම තමයි කල යුතු ප්‍රතිකාර වෙන්නේ. ගර්භණී මවක් අවදානම් රටක සිට ලංකාවට පැමිණිය හොත් පැමිණ දින 5ක් ඇතුලත රජයේ රෝහලකට ගොස් මේ තත්වයට අවදානමක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න පුළුවන්. මේ සඳහා පරීක්ෂණ පහසුකම් දැනට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබෙනව. Save..
බබා දැඟලීම අඩු වුනොත් මොකද කරන්නේ?
මවු කුස තුල සිටින දරුවා නිරෝගී දැයි මවකට දැන ගැනීමට තිබෙන එකම ක්‍රමය තමයි බබා දඟලන එක. බොහෝ මව්වරු මේ ගැන අවධානයෙන් ඉන්නේ. හදිසියේ බබා දඟලන එක නැවතුනොත්, එහෙම නැති නම් බබා දඟලන වාර ගණන අඩු වුනොත් මොකද කරන්නෙ? ඒ ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. මවු කුස තුල දරුවා දැඟලීම ඉතාමත් කුඩා කාලයේ සිට පටන් ගන්නව. මුල්ම ස්කෑන් පරීක්ෂණය කරන අවස්ථාවේ පවා මෙය වෛද්‍ය වරයෙකුට දැක ගන්න පුළුවන්. නමුත් දරුවා ඉතා කුඩා නිසා මෙම චලන ගර්භාෂයේ බිත්තිය සහ උදර බිත්තිය හරහා මවට දැනෙන්නේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් දරුවා වැඩෙන විට මවට චලන දැනෙන්නට පටන් ගන්නව. මුලින්ම බබා දඟලන බව මවට දැනෙන්න පටන් ගනිද්දි දරු ගැබට සති 20ක් පමණ වෙනව. නමුත් දෙවන තුන් වන දරුවා බලාපොරොත්තු වෙන මවු වරුන්ට මීට වඩා කලින් වුවත් චලන දැනෙන්න පටන් ගන්නව. මෙයට හේතුව මුලින්ම දරුවාගේ චලනය කුමක් වගේ ද යන අවබෝධය ලැබෙන්න කාලයක් ගත වෙන නිසා. සෑම දරුවෙක් ම එක වගේ නැහැ. ඒ නිසාම එක එක දරුවා චලනය වෙන ආකාරයත් වෙනස්. නමුත් කාලයත් සමග මවට ඇගේ දරුවා චලනය වෙන සාමාන්‍ය රටාව හඳුනා ගන්න පුළුවන්. දරුවා නිරෝගී ව සිටී නම් මෙම රටාව දිගටම පවතිනව. යම් අවස්ථාවක දරුවා පුරුදු පරිදි චලනය වෙන්නේ නැහැ කියල දැනුනොත් මොකද කරන්නේ? මෙයට හේතු මොනවාද? බොහෝ විට බබා දැඟලීම අඩුවෙන්නේ දරුවා මව්කුස තුල නිදා සිටින විට. සමහර දරුවන් වැඩි වෙලාවක් නිදා ගන්න අවස්ථා තිබෙනව. නමුත් කලාතුරකින් දරුවාගේ යම් කිසි අසනීප තත්වයක් නිසාත් දැඟලීම අඩු වෙන්න පුළුවන්. මවු කුස තුල දරුවා මිය යන අවස්ථාවක මුලින්ම ඇතිවෙන ලක්ෂණය තමයි මවට චලන නො දැනීම. මේ නිසා තමයි ගර්භණී මවු වරුන්ට බබා දඟලන එක ගැන අවධානයෙන් සිටින ලෙස අවවාද කරන්නේ. සමහර විට මෙය ගණන් කර වගුවක සටහන් කරන ලෙසත් ඔබේ වෛද්‍ය වරයා අවවාද කරාවි. මෙලෙස සටහන් කිරීමේදී හෝ ඔබේ අත්දැකීමට අනුව බබාගේ දැඟලීම අඩු නම් ඉක්මනින් රෝහලකට ගොස් වෛද්‍ය වරයෙකු හමු විය යුතුයි. මෙහි දී දරුවාගේ හෘද ස්පන්දනය CTG පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බැලීම සිදුකරනව. එම පරීක්ෂණය සාමාන්‍ය නම් බොහෝ දුරට දරුවා නිරෝගී යැයි කියන්න පුළුවන්. ඒ නිසා නැවත ඔබට බබාගේ දැඟලීම දැනෙන විට රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. සමහර අවස්ථාවල ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වෙනව. එමගින් දරුවා චලනය වෙන ආකාරය වෛද්‍ය වරයාට දැක ගන්න පුළුවන්. ඊට අමතරව දරුවාගේ වර්ධනය සහ පෙකණිවැල තුලින් සිදු වන රුධිර ගමනාගමනය පිළිබඳ වත් මෙහි දී පරීක්ෂා කර බලන්න පුළුවන්. මෙම පරීක්ෂණ වල යම් අසාමාන්‍යතාවක් හඳුනා ගත හොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරන්න පුළුවන්. දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගර්භාෂය වරින් වර තද වීමට ලක් වෙනව. මෙය සිදු වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශී සංකෝචනය වීම නිසා. ඒ වගේ අවස්ථාවක බබා දැඟලුවත් එය මවට නො දැනෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම දරුවා වැඩි වේලාවක් නිදා සිටී නම් ඒ කාලයේ චලනයන් මවට දැනෙන්නේ ඉතා අඩුවෙන්. මේ වගේ බොහෝ අවස්ථාවල දරුවාගේ චලන අඩුවෙන් දැනෙන්නේ රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ නිසා පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට යම් සැකයක් ඇති නම් ඉක්මනින් නාරිවේද වෛද්‍ය වරයා හමු වෙන්න එසේ නැතිනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. ..
ගර්භාෂය ඉදිමෙන ඇඩිනොමයෝසිස් රෝග තත්වය. Adenomyosis
අපි කලින් ලිපියකින් එන්ඩොමෙට්‍රියෝසිස් ගැන සඳහන් කලා. ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත ඇති සෛල ස්තරය එන්ඩොමෙට්‍රියම් ලෙස හඳුන්වනව. එම සෛල යම්කිසි හේතුවක් නිසා ගර්භාෂයේ මාංශපේශි බිත්තිය ඇතුළත පිහිටි විට ඇඩිනොමයොසිස් (Adenomyosis) තත්වය ඇතිවෙනව. මෙය ගෙඩියක් හෝ පිළිකා තත්වයක් නොවෙයි. සමහර විට ඇඩිනොමයෝසිස් ගර්භාෂයේ එක් ස්ථානයක පමණක් දක්නට ලැබෙනව(Adenomyoma) නමුත් බොහෝ විට මේ තත්වය ගර්භාෂයේ මාංශපේශි බිත්ති තුල විසිරී පවතින්නේ.   වැඩිපුර මේ තත්වය ඇතිවෙන්නේ දරුවන් සිටින කාන්තාවන්ට. නමුත් අවිවාහක තරුණ කාන්තාවන්ට වුවත් ඇඩිනොමයෝසිස් ඇති විය හැකියි. දරු ඵල පමා වීම, යටිබඩේ වේදනාව, ඔසප්වීම සමග ඇතිවෙන අධික වේදනාව, ඔසප් වීමේ දී අධික ලෙස රුධිර වහනය වීම මේ සමග ඇති වෙන රෝග ලක්ෂණ කිහිපයක්. මේ වගේ රෝග ලක්ෂණ ඇති නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. එහිදී ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය හඳුනා ගන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම වෙන්නේ ඖෂධ ප්‍රතිකාර සහ ශල්‍යකර්මයි. මුල් අවස්තාවේදී වේදනාව සහ රුධිර වහනය අඩු කිරීමට කිරීමට ඖෂධ ලබා ගත හැකියි. සමහර හෝමෝන ඖෂධ මගින් මේ තත්වය තරමක් දුරට පාලනය කල හැකි නමුත් සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි වෙන්නේ ශල්‍ය කර්මයක් මගින් පමණයි. ගර්භාෂයේ එක ස්ථානයක පමණක් ඇඩිනොමයෝසිස් තත්වය ඇති නම් එය ඇඩිනොමයෝමා ලෙස හඳුන්වනව. එවැනි තත්වයක දී නම් ශල්‍යකර්මය මගින් රෝගී කොටස පමණක් ඉවත් කර ගර්භාෂය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනව. මෙම සැත්කම ඇඩිනොමයෝමෙක්ටොමි (Adenomyomectomy) ලෙස හඳුන්වනව. දරු ඵල බලාපොරොත්තු වෙන කාන්තාවකට නම් ගර්භාෂයට සහ අවට පටක වලට අවම හානියක් වන ලෙස මෙම සැත්කම ලැපරොස්කොපි ක්‍රමයට සිදු කල හැකියි. නමුත් ගර්භාෂයේ බිත්තිවල පැතිරී ඇඩිනොමයොසිස් තත්වය ඇති විට ගර්භාෂය ඉවත් කිරීම (hysterectomy) තමයි ස්ථිර විසඳුම වෙන්නේ. මෙහි දී ඩිම්බ කෝෂ ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. ගර්භාෂය පමණක් ඉවත් කිරීම අතුරු ආබාධ අවම වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනව. එම සැත්කම ගැන විස්තර පහත ලිපියෙන් දැන ගන්න පුළුවන්. Total Laparoscopic Hysterectomy (ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කරන සැත්කම)..
බබා හැරිල නැති නම් මොකද වෙන්නේ? Breech presentation in late pregnancy
ගැබිනි මවක් සැම විටම තම දරුවා ගැන සැලකිලිමත් වෙනව. සායනයක දී බබා හැරිල නැහැ කියල කිව්වොත් බොහෝ දෙනා කලබල වෙනව. මොකක්ද මේකෙ තේරුම? කොහොමද බබා හැරිල ඉන්න ඕන කියන කරුණු ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.සාමාන්‍ය දරු ප්‍රසූතියට ස්වභාවිකවම මවගේ ශ්‍රෝණි කුහරය, ප්‍රජනක පද්ධතිය සහ දරුවාගේ හිස හැඩගැසී තිබෙන්නේ. මේ නිසා ප්‍රසූතිය සඳහා පහසුම පිහිටීම වෙන්නේ දරුවාගේ හිස පහලට හැරී මුහුණ පිටුපසට හෝ පැත්තට හැරෙන ලෙස සිටීමයි. මුල් කාලයේ මවු කුස තුල දරුවා ඉතාමත් ක්‍රියාශීලීයි. ඒ වගේම ගර්භාෂය තුල විශාල ඉඩක් දරුවාට තිබෙනව. ඒ නිසා දරුවාගේ පිහිටීම චලන සමග වරින් වර වෙනස් වෙන්න පුළුවන්. නමුත් දරු ගැබට සති 34ක් පමණ වෙන විට දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ චලනය වෙන්න ඉඩ මදි වෙනව. බොහෝ විට මේ කාලයේ දරුවා සිටින්නේ හිස පහලට සිටින ආකාරයට. එසේ නොමැති නම් අපි බබා හැරිල නැහැ කියල කියනව.එහෙම වුනා ම මොකද කරන්න ඕන? මෙය මුලින් ම ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත යුතුයි. සාමාන්‍යයෙන් සති 28 -34 අතර ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැහැ කිව්වොත් ඒ ගැන එතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව විනාඩි කිහිපයක් තුල වුවත් දරුවා නැවත හැරෙන්න ඉඩකඩ තිබෙනව. නමුත් ඊට පසුව දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ හැරෙන්න ගර්භාෂය තුල ඉඩ කඩ ප්‍රමාණවත් නැහැ. සති 34ට පසුව ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැති බව පැවසුවහොත් සති 36 - 37 අතර කාලයේ නැවත ස්කෑන් පරීක්ෂාවක් කිරීම අවශ්‍යයි. මේ වන විට 96%ක් පමණ දරුවන් නිසි පරිදි හිස පහලට සිටින ලෙස හැරී සිටින්නේ.එසේ නැතිනම් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු සමග මෙම දරුවා බිහි කල හැකි ආකාරය සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්න පුළුවන්. මේ සඳහා ක්‍රම 3ක් තිබෙනව.1. ගර්භාෂය තුල දී දරුවා හැරවීම (External cephalic version)පළපුරුදු වෛද්‍ය වරයෙකුට විනාඩි කිහිපයක දී දරුවාගේ පිහිටීම හිස පහලට සිටින ලෙස හැරවීමට හැකියාව තිබෙනව. නමුත් මෙය සිදු කල යුත්තේ රෝහල් ගතවයි. ඉන් පසු දරුවාගේ හෘද ස්පන්දනය සහ පිහිටීම පරීක්ෂා කර බැලිය යුතුයි.2. තට්ටම පහලට සිටින ලෙස දරුවා බිහි කිරීම (Vaginal breech delivery)සාමාන්‍ය ලෙස ප්‍රසව වේදනා ඇතිවී ප්‍රසූතියට සූදානම් නම් සිටින ඉරියව්වේ ම දරුවාට පිටතට පැමිණීමට හැකියාව සැලසිය හැකියි. මේ සඳහා පුහුණු අත්දැකීම ඇති වෛද්‍ය වරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෑම රෝහලකම සිටිනව.3. සිසේරියන් සැත්කමසමහර අවස්තා තිබෙනව දරුවා හැරවීම හෝ තට්ටම පහලට සිටින ලෙස බිහි කිරීම අවදානම් වෙන. එවිට ඔබේ වෛද්‍ය වරයා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම නිර්දේශ කරාවි. මෙය සති 38-39 අතර කාලයේ කලින් තීරණය කල සැත්කමක් ලෙස සිදු කල හැකියි.සාමාන්‍ය දරු ප්‍රසූතියක දී හිස පහලට සිටින සේ දරුවා බිහි වීමට වඩා තට්ටම් පහලට සිටින සේ බිහිවීමේදී සංකූලතා ඇතිවෙන්න තිබෙන ඉඩකඩ ටිකක් වැඩියි. ඒ නිසා හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය තුල දරුවා හරවන අවස්ථාවක හෘද ස්පන්දනයේ වෙනස් කම් ඇති වුව හොත් හදිසි සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩක් තිබෙනව. ..