ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු (Irregular periods)
මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල කාන්තාවන් අත්දකින ඔසප් වීම සාමාන්‍යයෙන් චක්‍රයක ආකාරයෙන් සිදු වෙන්නේ. මෙම චක්‍රයේ කාල සීමාව දින 21 සිට දින 45 අතර වෙනස් විය හැකි වුවත් බොහෝ කාන්තාවන්ට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව. දින 21කට  වඩා අඩු කාලයකින් හෝ දින 45කට වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයක්. ඔසප්වීම හඳුනා ගන්නේ මාසිකව යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනය මගින්. රුධිර වහනය ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනය ලෙස සලකනව. මෙය පාලනය වෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වීම මගින්. හෝමෝන වල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙන්නේ මොළයේ ඇති හයිපොතැලමස කියන ප්‍රදේශය. එමගින් නිපදවන GnRH කියන හෝමෝනය මගින් පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන නිපදවීම පාලනය කරනව. මෙම හෝමෝන මට්ටම් චක්‍රාකාරයෙන් වෙනස් වෙන නිසා ඊට අනුරූප ව ඩිම්බ කෝෂවල වෙනස් කම් සිදු වෙනව. ඔසප් චක්‍රයේ මුල් දින 14 තුල ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සිදු වෙන්නේ. මේ කාලය තුල ඩිම්බ කෝෂ වලින් ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත පිළිසිඳ ගත් කලලයක් තැන්පත් වීමට සුදුසු පරිසරයක් ඇති කරනව. 14වන දිනය වන විට ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිට වීම සිදු වෙනව. ඉන් අනතුරුව ඩිම්බ කෝෂයේ ඩිම්බය පිටවූ ස්ථානයෙන් දිගටම තව දින 10ක් පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම සිදු කරනව. පසුව මෙම සෛල හැකිළී යන අතර රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. මේ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳවැටී රුධිර වහනය ආරම්භ වෙනව. ඉහත හෝමෝන චක්‍රය විවිධ හේතු නිසා බිඳ වැටෙන්න පුළුවන්. අධික ලෙස ව්‍යායාම වල යෙදීම, මානසික ආතතිය වැනි හේතු නිසා මොළයේ හයිපොතැලමස ප්‍රදේශයෙන් හෝමෝන නිපදවීම අක්‍රමවත් වී ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතු වෙනව. ශරීරයේ බර අධික ලෙස වැඩි වුව හොත් මේද ස්තරය මගින් නිපදවන රසායන නිසාත් මෙම හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ කෝෂ හෝමෝන වලට ප්‍රතික්‍රියා නො දක්වන රෝග තත්වයන් (Polycystic ovarian syndrome වැනි තත්ව) නිසාත් ඔසප් වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීමත් සමහර විට අක්‍රමවත් ඔසප් වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්‍රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන්නේ නම් එය කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව ඇති කිරීමට හේතු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ප්‍රතිකාර ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙක් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඔබට ප්‍රතිකාර නියම කරාවි. බොහෝ විට මේ සඳහා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු ඖෂධයක්. එම ඖෂධ ගෙන නතර කල පසු රුධිර වහනයක් සිදුවනව. නමුත් හෝමෝන ප්‍රතිකාර මගින්  නැවත ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වළක්වන්න බැහැ. එම නිසා මෙයට මුල් වූ හේතුව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම සමහර විට අවශ්‍ය වෙනව...
ආර්ථවහරනය කියන්නේ කුමක්ද? (Menopause)
කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බ පිටවීම සිදුවෙනව. මේ ක්‍රියාවලිය නිසි ලෙස පැවතුනොත් තමයි ඇයට ගැබ් ගැනීමට හැකි වන්නේ. එ වගේම ඩිම්බ කෝෂ වල ඩිම්බ පිට වීමට සැකසෙන තරලයෙන් පිරි බුබුලක් වැනි ව්‍යුහයක් තිබෙනව. එය follicle ලෙස හැඳින්වෙන අතර මේ මගින් තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමෝන නිපදවෙන්නෙ. මාසිකව චක්‍රයක් ලෙස මෙම හෝමෝන මට්ටම වෙනස් වීම සිදු වෙනව. ගැහැනු දරුවෙක් උපදින විට ඩිම්බ කෝෂ වල ප්‍රාථමික ඩිම්බ සෛල විශාල සංඛ්‍යාවක් තිබෙනව. මින් 400ක් පමණ නිසි ලෙස වර්ධනය වීමට හැකියාව ලැබෙනව. එම නිසා මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා මාසිකව 400 වරක් පමණ ඩිම්බ පිට වීමට හැකියාව තිබෙනව. විවිධ හේතු නිසා මෙලෙස වර්ධනය විය හැකි ප්‍රාථමික ඩිම්බ සෛල ප්‍රමාණය වෙනස් වෙනව. ඒ නිසා එක කාන්තාවට ජීවිත කාලය තුල පිට කල හැකි ඩිම්බ ප්‍රමාණය වෙනස්. දල වශයෙන් වයස අවුරුදු 51ක් පමණ වන විට මෙලෙස පිට විය හැකි ඩිම්බ ප්‍රමාණය අවසන් වෙනව. මෙය වයස අවුරුදු 45 සිට 55 අතර කාලය තුල සිදු වෙන්න පුළුවන්. මෙම කාලය ආර්ථවහරනය ලෙස හඳුන්වනව. ඉන් පසු ඔසප් වීමක් සිදු වෙන්නේ නැහැ.  ඩිම්බ කෝෂවල මෙම ක්‍රියාවලිය නැවතීමත් සමගම එමගින් නිපදවන ඊස්ට්‍රජන් හෝමෝන මට්ටමත් ශරීරයේ අඩු වෙනව. ඊස්ට්‍රජන් හෝමෝනය මගින් තමයි කාන්තාවගේ සම, හිස කෙස්, පියයුරු, ප්‍රජනක අවයව, අස්ථි වල නිසි පරිදි පවත්වා ගන්නේ. මෙය අඩු වීම නිසා ඇයට වයස් ගතවීමේදී මෙම අවයව වල ඇතිවෙන ලක්ෂණ මතු වීමට පටන් ගන්නව. ඊට අමතරව පහත රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් Hot flushes (විශේෂයෙන් මුහුණ සහ ගෙල ප්‍රදේශයේ එකවරම ඇතිවෙන දැවිල්ලක් වැනි තත්වයක්) Night sweats (රාත්‍රි කාලයේ අධික ලෙස දහඩිය දැමීම) යෝනි මාර්ගයේ වියලි ස්වභාවය නින්ද අඩු කම මානසික ආතතිය, අසහනකාරී ස්වභාවය ලිංගික ආශාවන් අඩු වීම මතකය සහ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වීම මෙම රෝග ලක්ෂණ ඔසප් වීම සම්පූර්ණයෙන් නතර වීමට මාස ගණනාවකට කලින් සිටම ඇති වෙන්න පුළුවන්. ආර්ථවහරනයට ප්‍රධාන හේතුව වන්නේ ඩිම්බ කෝෂ තුල තිබූ ප්‍රාථමික ඩිම්බ සෛල ප්‍රමාණය අවසන් වීම නිසා ඩිම්බ කෝෂ අක්‍රිය වීම. නමුත් සමහර කාන්තාවන් විවිධ රෝග තත්වයන් නිසා මෙය කලින් සිදු වන අවස්තා තිබෙනව. එමෙන්ම ශල්‍යකර්මයක් මගින් ඩිම්බ කෝෂ ඉවත් කරන අවස්තාවකදී ත් එම කාන්තාව කලින් ආර්ථවහරනයට ලක්වෙනව. පිළිකා සඳහා ගන්නා සමහර ප්‍රතිකාර නිසාත් ඩිම්බ කෝෂ අක්‍රිය වී එම කාන්තාවන් ආර්ථවහරනයට ලක් වෙනව. ඔබට මේ රෝග ලක්ෂණ ඇති නම් හෝ මේ ගැන සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙම රෝග ලක්ෂණ දරුණු ලෙස බලපාන අවස්තාවකදී ලබා ගත හැකි ප්‍රතිකාර තිබෙනව. නමුත් සෑම කාන්තාවට ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. එය ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර තීරණය කිරීම සුදුසුයි. ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඖෂධ ලෙස ලබා දීම. එම හෝමෝන අඩු වීම නිසා ඇති වන සියලු ම රෝග ලක්ෂණ මෙම ප්‍රතිකාරය මගින් පාලනය කරන්න පුළුවන්. හෝමෝන ප්‍රතිකාර පෙති වශයෙන් ලබා ගැනීමට තිබෙනව. එමෙන්ම ඊස්ට්‍රජන් හෝමෝනය ආලේපනයක් ලෙස ලබා ගැනීමට තිබෙනව. මෙම හෝමෝන ප්‍රතිකාර ඉතාමත් සාර්ථක ලෙස රෝග ලක්ෂණ අඩු කරන නමුත් ඒවා භාවිතය ඉතා අඩුයි. මෙයට හේතුව දැනට වසර 15කට පමණ පෙර හෝමෝන ප්‍රතිකාර වල අතුරු ආබාධ අතිශයෝක්තියෙන් ප්‍රසිද්ධ වූ වෛද්‍ය පර්යේෂණ වාර්තා දෙකක්. WHI study (USA) සහ MWS (Oxford UK) මගින් ප්‍රකාශයට පත් වූ අතුරු ආබාධ ගැන වාර්තා නිසා බොහෝ කාන්තාවන් මෙම හෝමෝන ප්‍රතිකාර ගැනීමට බිය වුනා. එම නිසා මිලියන ගණනක් කාන්තාවන්ට තම රෝග ලක්ෂණ වලින් මිදීමට තිබූ අවස්ථාව අහිමි වුනා. නමුත් දැන් ප්‍රකාශයට පත්වී ඇති නවතම වෛද්‍ය පර්යේෂණ වාර්තා අනුව මෙම ප්‍රතිකාර එතරම් භයානක නැහැ. එම නිසා රෝග ලක්ෂණ වල ස්වභාවය අනුව ඔබේ වෛද්‍ය වරයා හෝමෝන ප්‍රතිකාර නිර්දේශ කල හොත් ඒව ලබා ගැනීමට බිය විය යුතු නැහැ.   හෝමෝන ප්‍රතිකාර වලට අමතරව නිතිපතා ව්‍යායාම වල යෙදීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු, ශරීරයේ බර පාලනය කිරීම මගින් ආර්ථවහරනය සමග ඇතිවෙන බොහෝ සංකූලතා අවම කර ගන්න පුළුවන්. හෝමෝන ප්‍රතිකාර වලට ආදේශක ලෙස තවත් ඖෂධ වර්ග රාශියක් දැනට භාවිතා කරනව.   Save Save Save Save Save Save Save Save Save Save..
Robotic Surgery in Gynaecology
    Robotic Surgery හෙවත් රොබෝ යන්ත්‍රයක් සැත්කම් සඳහා උපකාර කර ගැනීම නවීනතම වෛද්‍ය ක්‍රමයකි. එය 2004 වර්ෂයේදී පමණ මුලින්ම ඇමරිකාවේ හඳුන්වාදුන් අතර මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතී. බ්‍රිතාන්‍යය , යුරෝපය පමණක් නොව චීනය,කොරියාව මෙන්ම ඉන්දියාවේද   රොබෝ සැත්කම් සිදුකෙරේ. නාරිවේදය (Gynaecology) රොබෝ සැත්කම් බහුලව භාවිතා වන අංගයකි. ගර්භාෂය ඉවත් කිරීම, නාරිවේද පිලිකා වලදී ශ්‍රෝණියේ වසා ගැටිති ඉවත්  කිරීම, දරුණු Enometriosis රෝග තත්වය සම්පුර්ණයෙන් ඉවත් කිරීම වැනි ඉතා අපහසු සැත්කම් මෙම ක්‍රමයට පහසුවෙන් සිදුකල හැකිය. එමෙන්ම ගැබ් ගෙල පිලිකා වලදී මුලු ගර්භාෂයම ඉවත් නොකර පිළිකාව සුව කර යලි දරු පිළිසිඳ ගැනීමක් පවා සිදුවිය හැකි ආකාරයට ගැබ්ගෙල පමණක් ඉවත් කිරීම ( trachlectomy ) වැනි ඉතා අපහසු සැත්කම් සාර්ථකව කිරීමට මෙමගින් හැකිය. ශල්‍යකර්මය සිදුවන ආකාරය මුලින්ම නිර්වින්දනය කල රෝගියාට සාමාන්‍ය යතුරු සිදුරු ක්‍රමයට ( Key hole හෙවත් laparoscopy  ) ශල්‍ය උපකරණ සහ කැමරාව සවිකරනු ලැබේ. සාමාන්‍ය ලැපරොස්කොපි ක්‍රමයේදී මෙම මෙවලම් වෛද්‍ය වරයාගේ අතින්ම ක්‍රියාත්මක වන අතර Robotic ක්‍රමයේදී එම උපකරණ වලට රොබෝ අත් සවි කෙරේ.  ඉන් පසු ශල්‍ය වෛද්‍ය වරයා මෙහෙයුම් අංගනයේ වාඩිවී රොබෝ යන්ත්‍රය ඔහුගේ ඇත වලින් ක්‍රියාත්මක කරමින් සැත්කම  කරයි. Robotic ක්‍රමයේ වාසි  1. ස්ථුල හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ( BMI ) 30 ට වැඩි රෝගීන්ගේ අපහසු ශල්‍යකර්ම ඉතා පහසුවෙන් කල හැකිවීම. 2. පිලිකා, endometriosis වැනි සංකීර්ණ සැත්කම් වල නිරවද්‍යතාවය ( precision )  වැඩිවීම. 3. ඉතා අඩු රුධිර වහනය. 4. සැත්කමින් පසු වේදනාව ඉතා අඩු  වීම. 5. නිර්වින්දන ගැටලු අවම වීම. Robotic ක්‍රමයේ අවාසි  1. අධික මුලික මුල්‍ය පිරිවැය 2. සරල සැත්කම් සඳහා එතරම් වාසියක්  නැතිවීම. Robotic සැත්කම් සඳහා සම්පුර්ණ පුහුණුව ලැබූ වෛද්‍යවරු දැන් ලංකාවේ සිටී. කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට මෙම රොබෝ යන්ත්‍රයක් ලබා ගැනීමට  මේවනවිට සැලසුම් කෙරෙමින්  පවතී...
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)
අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම) අවස්තා වලදී. මෙය කිසිසේත්ම එදිනෙදා උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා නො කල යුතුයි. මෙවැනි ක්‍රම 2 ක් දැනට ලංකාවේ ලබා ගත හැකියි. 1. හදිසි උපත් පාලන පෙති. දැනට ලංකාවේ postinor යන වෙළඳ නාමය යටතේ හදිසි උපත් පාලන පෙති අලෙවි කරනව. මෙය බොහෝ ඖෂධ වෙලඳ සැල් වලින් ලබා ගන්න පුළුවන්. එහි අඩංගු වෙන්නේ levenogestrel කියන ඖෂධය. පෙති දෙකක් ලෙස හෝ එක පෙත්තක් ලෙස මෙය ලබා ගත හැකියි. මෙම පෙත්තක සාමාන්‍ය උපත් පාලන පෙත්තක තිබෙන ප්‍රමාණය මෙන් දස ගුණයක් levenogestrel කියන ඖෂධය අඩංගු වෙනව. ලිංගික එක්වීමෙන් පැය 96 ක් දක්වා  levenogestrel 1.5mg (postinor1 පෙති 1ක් හෝ postinor 2 පෙති 2ක් එකවර)  ලබා ගැනීම හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා කල හැකියි. මෙහි සාර්ථක බව 52 - 94ත් අතර වෙනව. සාමාන්‍යයෙන් 80%ක් පමණ පිළිසිඳ ගැනීම මෙමගින් වළක්වා ගත හැකියි. නමුත් මෙය හැකි ඉක්මනින් ගැනීමෙන් සාර්ථකත්වය වැඩි වෙනව. මෙම ඖෂධය ක්‍රියා කරන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වීම වැළැක්වීම මගින්. ඊට අමතරව ගැබ් ගෙල හරහා ශුක්‍රාණු ගමන් කිරීම අඩපණ කිරීමත් ගර්භාෂය තුල කලලයක් තැන්පත් වීමට නුසුදුසු පරිසරයක් ඇති කිරීමත් මේ මගින් සිදු වන බවට අනුමාන කරනව. නමුත් දැනට තිබෙන අළුත්ම වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව, මෙම ඖෂධය සාර්තක වන්නේ ඩිම්බ පිටවීමට කලින් ලබා ගතහොත් පමනයි. ඒ නිසා ඔසප් චක්‍රයේ අවසාන දින 14 තුල මෙම පෙති ලබා ගැනීම මගින් ගැබ් ගැනීම වලක්වන්න බැහැ. මෙම ඖෂධය මගින් ගබ්සාවීමක් සිදු නොවන නිසා, කලලය තැන්පත් වූ පසුව මෙය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වමනය ඕක්කාරය, ඔසප් වීම අක්‍රමික වීම වැනි සංකූලතා මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඖෂධය ලබා ගෙන පැය දෙකක් ඇතුළත වමනය ගිය හොත් නැවත එම මාත්‍රාවෙන් ම ඖෂධය ලබා ගත යුතුයි. නියමිත දිනට දින 7කට වඩා ඔසප් වීම පමා වුව හොත් මුත්‍රා පරීක්ෂණයක් කර ගර්භණී දැයි පරීක්ෂා කල යුතු වෙනව. Levenogestrel අඩංගු හදිසි උපත් පාලන පෙති අසාර්ථක වෙන අවස්තා ගැන වෙනම ලිපියකින් විස්තර කර තිබෙනව.  2. අන්තර් ගර්භාෂිත ලූපය. මෙය වෛද්‍ය වරයෙකු විසින් ගැබ ගෙල හරහා ගර්භාෂය තුලට ඇතුල් කල හැකි කුඩා උපකරණයක්. මෙමගින් කලලයක් ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වනව. අනාරක්ෂිත සංසර්ගයෙන් දින 5ක ඇතුළත ලූපයක් තැන්පත් කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වා ගත හැකියි. මෙය හෝමෝන පෙති වලට වඩා විශ්වාසදායකයි. මෙය මගින් ගැබ් ගැනීම 99%කින්ම වළක්වා ගැනීමට පුළුවන්. අවශ්‍ය නම් ඉදිරියත් අවුරුදු 10ක් දක්වා මෙම ලූපය උපත් පාලන ක්‍රමයක් ලෙස දිගටම භාවිතා කිරීමට හැකි වීම මෙහි අමතර වාසියක්. 3. සාමාන්‍ය උපත් පාලන පෙති අධික මාත්‍රාවකින් ගැනීම. (Yuzpe method) (මිතුරි වැනි සාමාන්‍ය උපත් පාලන පෙති 4ක් එක වර ගෙන තවත් පැය 12කින් නැවත පෙති 4ක් එක වර ගැනීම) හදියි ගැබ් ගැනීම වලක්වන ක්‍රමයක් ලෙස කලින් නිර්දේශ කලත්, දැන් මේ ක්‍රමය නිර්දේශ කරන්නෙ නැහැ.   හදිසි උපත් පාලන පෙති වරින් වර නිතරම ගැනීම එතරම් සුදුසු නැහැ. මේවායේ අඩංගු හෝමෝන මාත්‍රාව ඉතා අධිකයි. එම නිසා සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩියි. ඒ වගේම හදිසි උපත් පාලන පෙති මගින් ගැබ් ගැනීමක් 100%කින් වළක්වන්න බැහැ. අනික් උපත් පාලන ක්‍රම මීට වඩා විශ්වාසදායක මෙන් ම ආරක්ෂා සහිතයි. ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය වරයෙකු සමග සාකච්ඡා කර තෝරා ගන්න.   Save Save Save Save Save Save Save..
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)
ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල යුතුද? දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? මෙම ලිපියෙන් ඔබට කරුණු ගෙන එන්නෙ ගර්භාෂය තුල වැඩෙන දරුවෙකුගේ වර්ධනය අඩාල වෙන අවස්ථා ගැන. දරුවෙකුගේ වර්ධනය බලන්න ක්‍රම කිහිපයක් තිබෙනව. බොහෝ කාලයක් තිස්සේ මෙය සිදු කලේ මවගේ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින්. ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා ටේප් පටියක් ආධාරයෙන් මවු කුසේ වර්ධනය ප්‍රමාණවත් දැයි මැන බලනව. මෙම දළ මිනුම් ක්‍රමයක්. මෙමගින් නිවැරදිව ප්‍රමාණයෙන් කුඩා දරුවන් හඳුනා ගන්න අපහසුයි. නමුත් ස්කෑන් පරීක්ෂණ සඳහා පහසුකම් නොමැති අවස්ථාවක මෙම ක්‍රමය විකල්පයක් ලෙස භාවිතා කරනව. දැන් ඇති ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් ඉතාමත් ආසන්න මට්ටමකට වැඩෙන දරුවාගේ බර අනුමාන කල හැකියි. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවාදැයි විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයා ගත හැකියි. මෙලෙස දරුවාගේ වර්ධනය ප්‍රමානවත්දැයි කියා ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගැනීමට පහසුකම් දැන් සෑම මූලික රෝහලකම පාහේ තිබෙනව. ස්කෑන් පරීක්ෂණයේ දී දරුවා ගර්භයේ වයසට වඩා කුඩා යැයි සොයා ගත හොත් එයට හේතුව කුමක් විය හැකිද? මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් පවතිනව.  දරුවා ලැබීමට අනුමාන කර ඇති දින නිවැරදි නොවීම. ගර්භණී මවකට දරුවා ලැබෙන අනුමාන දිනය ලබා දෙන්නේ අවසාන වරට ඔසප් වීම සිදු වූ දිනයේ සිට සති 40ක ගණනය කිරීමෙන්. ඔසප්වූ දිනය නිවැරදි නැති නම් හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මෙම දිනය වැරදි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මුල් මාස 3 ඇතුළත කරන ස්කෑන් පරීක්ෂණයකින් තමයි දරුවා ලැබෙන දිනය ගණනය කල හැකි වෙන්නේ.  සහජයෙන් ම කුඩා දරුවෙක් වීම. සෑම දරුවා ම එකම ප්‍රමාණයට වර්ධනය වෙන්නෙ නැහැ. වැඩිහිටියන් ගේ උස/ බර එකිනෙකාට වෙනස් වගේම මව්කුස තුල වැඩෙන දරුවනුත් එකිනෙකාට වෙනස්. සමහර දරුවන් ප්‍රමාණයෙන් කුඩා නමුත් නිරෝගීයි. එවැනි දරුවන්ට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දරුවාට නිසි පෝෂණයක් නො ලැබීම නිසා කුඩා වීම‍. මවගෙන් දරුවාට ආහාර සහ ඔක්සිජන් ලැබෙන්නේ වැදෑමහ හරහා. වැදෑමහ නිසි ලෙස වර්ධනය නොවන අවස්ථාවක දරුවාට නිසි පෝෂණයක් ලැබෙන්නෙ නැහැ. එවැනි දරුවන්ගේ බර අඩු වෙනව. දරුවාට රෝගී තත්වයක් තිබීම. මෙය එතරම් සුලබ නැහැ. රෝගී තත්වයකින් පෙලෙන දරුවන් සාමාන්‍ය දරුවෙකුට වඩා කුඩා වෙනව. ජානමය රෝග තත්ව, මවට ඇතිවූ දරුණු ආසාදන වැනි හේතු නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක අදාළ තත්වය අනුව ප්‍රතිකාර අවශ්‍ය වෙනව කුඩා දරුවෙකු ඇති වීම සඳහා අවදානම් සාධකයන් වන්නේ  මවගේ වයස අවුරුදු 40ට වැඩි වීම. මවට අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයක් ඇතිවීම. දුම් පානය (මව දුම් පානය කිරීම හෝ අක්‍රිය දුම් පානයට ගොදුරු වීම). මවගේ බර අඩු වීම (මන්ද පෝෂණය). මව අධික ලෙස ව්‍යායාම වල යෙදීම. කලින් ගර්භණී වූ අවස්ථාවක අධික රුධිර පීඩනය තිබීම/ දරුවාගේ බර අඩු වීම. සෑම සායන වාරයක දීම මවගේ උදරය පරීක්ෂා කර බලනව. එවැනි අවස්ථාවක දරුවා කුඩා යැයි හැඟී ගිය හොත් එවැනි මවුවරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබනව. එහි දී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි සොය බැලිය හැකියි. ඉන් පසුව සුදුසු පරිදි විශේෂඥ වෛද්‍ය සායනයේ වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරනව. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයක් මගින් මැන බැලීම සිදු කරනව. එහි දී අවදානම් තත්වයන් හඳුනා ගතහොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරනව. නැතිනම් විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය නිසි ප්‍රමාණයකට පැමිණෙන තෙක් සිටිය හැකියි. සමහර දරුවන් සඳහා වරින් වර Doppler සහ CTG පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි. ඉතාමත් කුඩා අවදානම් සහිත දරුවන් බිහි කිරීමට සිසේරියන් සැත්කමක් අවශ්‍ය නමුත් බොහෝ කුඩා දරුවන්ට සාමාන්‍ය ආකාරයට බිහි වීමේ හැකියාව තිබෙනව. මව් කුස තුල පෝෂණය අඩු කම නිසා කුඩා වන දරුවන් ඉපදීමෙන් පසුව නියමිත බර ලඟා කර ගන්නව. එම දරුවන්ට නිසි ලෙස මවු කිරි දීම වැදගත්. උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපය තුල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි නිසා ඔවුන් හොඳින් රැක බලා ගත යුතුයි. වැඩිහිටි කාලයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි සංකූලතා ඇති වීමේ හැකියාව මෙම දරුවන්ට සාමාන්‍ය බර ඇති දරුවන්ට වඩා වැඩියි...