ගර්භාෂයේ පිළිකා හඳුනා ගන්නේ කොහොමද? (Endometrial Cancer)
ගර්භාෂය යනු පෙයාස් ගෙඩියක හැඩය ඇති අවයවයක්. මෙය සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින්. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ආවරණය කරන endometrium නමැති සෛල ස්තරයක් තියනවා. මෙම සෛල ස්තරයෙන් හට ගන්නා පිළිකා තමයි සාමාන්‍යයෙන් ගර්භාෂයේ පිළිකා යනුවෙන් හඳුන්වනු ලබන්නේ. කාන්තාවන්ට ඇතිවෙන පිළිකා අතරින් ගර්භාෂයේ පිළිකා ප්‍රධාන තැනක් ගන්නවා. සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන් අතර මෙම පිළිකාව එතරම් සුලබ නැහැ. නමුත් ආර්ථවහරණයෙන් පසු කාන්තාවකට ගර්භාශයේ පිළිකා සෑදීමේ අවදානම වැඩි වෙනව. මේ නිසා ආර්ථවහරණයෙන් පසු ඇතිවෙන කිසියම් හෝ රුධිර වහනයක් මෙම පිළිකාවක ලක්ෂණයක් විය හැකි බැවින් එය සුලු කොට තැකිය යුතු රෝග ලක්ෂණයක් නොවෙයි. ස්ථුලතාවය, හෝමෝන ප්‍රතිකාර ලබාගැනීම වැනි හේතූන් මෙම පිළිකාව ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුන්වනවා. මෙහි ප්‍රධානතම රෝගී ලක්ෂණය වන්නේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස රුධිර වහනයයි. යම්කිසි කාන්තාවකට අසාමාන්‍ය‍ ලෙස රුධිර වහනයක් තිබේ නම් සාමාන්‍යයෙන් වෛද්‍යවරු පිළිකාවක් ඇත් දැයි පරීක්ෂා කිරීමට පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන් කාන්තාවකගේ වයස අවුරුදු 50කට වැඩි නම්, එසේත් නැත්නම් කාන්තාවක් ආර්ථවහරනයට පත්වී ඇත්නම් යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනයක් කිසිසේත්ම සාමාන්‍ය නැහැ. එවැනි අවස්ථාවක ඉක්මනින් ම පරීක්ෂණ සඳහා යොමු වීම වැදගත්. මෙම පිළිකාව හඳුනා ගැනීමට මූලික පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. 1. ස්කෑන් පරීක්ෂාව ස්කෑන් පරීක්ෂාවක් මගින් ගර්භාෂයේ ඇතුළත ඇති endometrium නමැති ඉතා තුනී බිත්තිය ඉතා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂාවක් යෝනි මාර්ගය තුලින් සිදු කරන අතර එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම නිර්ණය කිරීමට හැකියාව ලැබෙන අතර එහි යම්කිසි අසාමාන්‍යතාවක් ඇත් දැයි වෛද්‍යවරයාට පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින් එහි පිළිකාවක ලක්ෂණ තිබෙනවා ද නැතිනම් එහි පිළිකාවකට අවදානම් තත්වයක් තිබෙනවා ද කියා අනුමාන කිරීමට හැකියි. 2. Endometrial Biopsy ගර්භාෂයේ ඇතුළත බිත්තියේ කුඩා සාම්පලයක් ගෙන පරීක්ෂණාගාරයට යැවීම තුලින් මේ පිළිබඳ ව සැක හැර දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.  මෙම පරීක්ෂණය endometrial biopsy යනුවෙන් හැදින්වෙනවා. මෙම පරීක්ෂණය සිහි නැති කිරීමෙන් හෝ වේදනා නාශකයකින් තොරව සායනයකදි සිදු කල හැකි සරල පරීක්ෂණයකි. නමුත් කලකට ඉහත දී මෙම පරීක්ෂණය සිදු කලේ ශල්‍යාගාරයක් තුල සිහි නැති කිරීමෙන් පසුවයි. එම පරීක්ෂණය D&C යනුවෙන් හඳුන්වනු ලැබේ. දැනට endometrial biopsy යනුවෙන් හඳුන්වන පරීක්ෂණය සඳහා නිර්වින්දනයක් හෝ වේදනා නාශක ඖෂධයක් අවශ්‍ය වන්නේ නැහැ. 3. Hysteroscopy පරීක්ෂාව Hysteroscopy පරීක්ෂාවේ දී ගර්භාෂය ඇතුළත කුඩා කැමරාවක් මගින් නිරීක්ෂණය කර පිළිකාවක් ඇත් දැයි ඉතාමත් ම නිවැරදිව දැන ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම පරීක්ෂණයත් මිලි මීටර 4ක පමණ ප්‍රමාණයේ ඉතා කුඩා උපකරණයක් භාවිතා කර නිර්වින්දනයකින් තොරව සිදු කල හැකියි. ඉහත පරීක්ෂණ මගින් ගර්භාෂයේ පිළිකාවක් තිබේ දැයි ඉතාමත් ම නිවැරදිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මූලික අවස්ථාවක ගර්භාෂයේ පිළිකාවක් හඳුනා ගත හොත් එය බොහෝ විට සුව කල හැකියි. මේ නිසා ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් ම වැදගත්. ගර්භාෂයේ ඇතිවෙන පිළිකා සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම තිබෙනවා. ප්‍රධාන වශයෙන් ම සිදු කරන ක්‍රමය තමයි ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය, ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාලයන් ඉවත් කිරීම. මෙම ශල්‍යකර්මය සිදු කල හැකි ආකාර කිහිපයක් ම තිබෙනවා. මින් ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය ශල්‍යකර්මයයි. ශල්‍යකර්මයේ දී ගර්භාෂය ඩිම්බ කෝෂ හා පැලෝපීය නාල ඉවත් කිරීම සිදුකරනව. ඊට අමතරව සමහර අවස්ථා වලදී උදර කුහරය තුල ඇති සහ ශ්‍රෝණි කුහරය තුල ඇති වසා ගැටිති ඉවත් කිරීමකුත් සිදු කිරීමට පුළුවන්. මෙම ශල්‍යකර්මය සාමාන්‍ය‍යෙන් සිදු කරන්නේ විවෘත ශල්‍යකර්මයක් ලෙසයි. නමුත් මෙම ශල්‍යකර්මය laparoscopy හෙවත් කුඩා කැමරාවක් ආධාරයෙන් බලා ඉතාමත් කුඩා කැපුම් කිහිපයක් උදරයේ ඇති කරමින් සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනවා. එහි දී ශල්‍යකර්මයෙන් පසු නැවතත් ප්‍රකෘති තත්වයට පත්වීම ඉතාමත් ම වේගවත්.  එමෙන්ම වේදනාවත් අවමයි. Laparoscopy ක්‍රමයට මෙම ශල්‍යකර්මය කිරීමේ පහසුකම දැනට ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒවගේම නවතම තාක්ෂණය යොදා ගනිමින් robotic hysterectomy නමැති ශල්‍යකර්ම ක්‍රමය දැන් ලෝකයේ හඳුන්වා දී තිබෙන නමුත් මේ විට ශ්‍රී ලංකාවේ ඒ සඳහා පහසුකම් නැහැ. ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍යයෙන් බොහෝ රෝගීන් සම්පුර්ණයෙන් සුවය ලබනවා. නමුත් සමහර රෝගීන්ට ශල්‍යකර්මය තුල දී ඉවත් කිරීමට නො හැකි වසා ගැටිති තුල තිබෙන පිළිකා සෛල ඉවත් කිරීම සඳහා විකිරණ ප්‍රතිකාර නිර්දේශ කිරීමක් සිදුකරනව. සාමාන්‍යයෙන් ගර්භාශයේ ප්‍රතිකාර සඳහා පිළිකා නාශක ඖෂධ භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වන්නට පුළුවන්. ඒවගේම හෝමෝන ප්‍රතිකාර ක්‍රමත් යොදා ගන්නා අවස්ථා තිබෙනවා. එහි දී progesterone නමැති හෝමෝනය ඉතාමත් ම අධික මාත්‍රාවකින් මෙම ප්‍රතිකාර සඳහා යෙදා ගන්නවා. මූලික අවස්ථාවේ දී හඳුනා ගන්නා ගර්භාෂයේ පිළිකාවන් බොහෝමයක් සම්පුර්ණයෙන් සුව කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්‍රමාද වී හඳුනා ගන්නා ගර්භාෂයේ පිළිකා සම්පුර්ණයෙන් සුව කල නො හැකියි. කෙසේ වෙතත් ප්‍රතිකාර මගින් ජීවිත කාලය දීර්ඝ කිරීමත්, ඇතිවෙන රෝග ලක්ෂණ අවම කිරීමටත් හැකියාව තිබෙන නිසා ඔබට පිළිකාවක් ඇත්නම්  ප්‍රතිකාර සඳහා විශේෂිතවු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඉතා ඉක්මනින් යොමු වීම  ඉතාමත් ම වැදගත්...
ඩිමබ කෝෂයේ පිළිකා (Ovarian cancer)
කාන්තාවකට ඩිම්බ කෝෂ දෙකක් තිබෙනවා. මේවායින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සිදු වනවා. ඩිම්බ කෝෂ දෙක පිහිටා තිබෙන්නෙ ගර්භාෂයට ආසන්න ව ඊට පිටුපසින්. ඩිම්බ කෝෂයක ඇති වන බොහෝ ගෙඩි පිළිකා නෙමෙයි. නමුත් සමහර කාන්තාවන්ට ඩිම්බකෝෂ වල පිළිකා ඇතිවෙනවා. බොහෝ විට මෙම පිළිකා ඇති වන්නේ ඩිම්බ කෝෂයේ මතුපිට ඇති සෛල වලින්. ඒවා epithelial cancer ලෙස හඳුන්වනවා. මීට අමතරව ඩිම්බ කෝෂයේ ඇතුළත සෛල ස්තර වලින් හට ගන්නා පිළිකා තිබුනත් ඒවා එතරම් සුලභ නැහැ. ඩිම්බ කෝෂවල පිළිකා සඳහා අවදානම් තත්වයන් වයස (80% ක් පමණ මෙම පිළිකා ඇති වන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට‍) තරබාරු බව පවුලේ කිසිවකුට ඩිම්බ කෝෂයේ හෝ පියයුරු පිළිකාවක් තිබීම. ජීවිත කාලය තුල ඩිම්බ පිටවී ඇති වාර ගනන. (මවු කිරි දීමේ දී සහ පවුල් සැලසුම් පෙති භාවිතා කිරීමේ දී ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා එවැනි කාන්තාවන්ට පිළිකා අවදානම අඩුයි.) ඔබට පහත රෝග ලක්ෂණ ඇත්නම් ඩිම්බකෝෂ පිළිකාවක් ඇත් දැයි සැක කරන්න පුළුවන්. යටි බඩේ වේදනාව ලිංගික එක්වීමේ දී ඇති වන බඩේ වේදනාව බඩ ඉදිමීම කෑම අප්‍රිය කම සහ බඩේ පිරුණු ස්වභාවය මල පහ කිරීමේ දී සහ මුත්‍රා පිට කිරීමේ දී ඇති වන අපහසුතාවන් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්. එහි දී වෛද්‍ය වරයා ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කරනව. එමගින් ඩිම්බ කෝෂවල අසාමාන්‍යතා වන් හඳුනා ගන්න පුළුවන්. පිළිකාවක් ඇති බවට සැකයක් ඇත්නම් වෛද්‍ය වරයා CA125 ලෙස හඳුන්වන රුධිර පරීක්ෂණයක් නිර්දේශ කරනව. එහි අගය සහ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත පිළිකාවකට ඇති අවදානම දැන ගන්න පුළුවන්. ඩිම්බ කෝෂ පිහිටා ඇත්තේ උදරය ඇතුළත නිසා මෙම පිළිකාවක් තරමක් විශාල වන තෙක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එම නිසා මූලික අවස්ථාවේ දී මෙය හඳුනා ගැනීම අසීරුයි. නමුත් එසේ හඳුනා ගතහොත් ශල්‍ය කර්මයක් මගින් සම්පූර්ණයෙන්ම පිළිකාව ඉවත් කල හැකියි. ඩිම්බ කෝෂයේ පිළිකාවක් ඇති බොහෝ කාන්තාවන්ට ශල්‍යකර්මයකට භාජනය වීමට සිදු වනවා. එහි දී ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහ omentum ලෙස හඳුන්වන බඩවැලට සම්බන්ධ මේද ස්තරයක් ඉවත් කිරීම සිදුවනව. ඉන් පිටතට පැතිරුණු පිළිකාවක් නම් හැකි තරම් පිළිකා පටක ඉවත් කිරීම ශල්‍යකර්මයේ දී සිදුකරනව. නමුත් පමාවී හඳුනා ගන්නා පිළිකාවක් ශල්‍යකර්මයක් මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අපහසුයි. එවැනි අවස්ථාවක ශල්‍යකර්මයට අමතරව පිළිකා නාශක ඖෂධ වර්ග ප්‍රතිකාර සඳහා යොදා ගන්නව. මෙම ප්‍රතිකාර මගින් පිළිකා සෛල හැකිළීමකට ලක්වනව. නමුත් මෙම ඖෂධ මගින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. ප්‍රතිකාර වලින් පසු වරින් වර සායනයේ දී පරීක්ෂාවට ලක් වීම අවශ්‍යයි. එමගින් පිළිකාව නැවත ඇතිවේදැයි පරීක්ෂා කර බලනව. නැවත ඇති වන පිළිකාවක් සම්පූර්ණයෙන් සුව කිරීම අපහසු නමුත් ශල්‍යකර්ම සහ ඖෂධ මගින් තරමක් දුරට පාලනය කර ගත හැකියි.        ..
ගර්භනී සමයේ දියවැඩියාව (Gestational Diabetes Mellitus)
කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමෙන් පසු ඇයගේ රුධිරයේ සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහල යාම ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හඳුන්වයි. මෙය වැඩිහිටි වයසේ අයට වැළඳෙන දියවැඩියා තත්වයට වඩා වෙනස් අවධානය යොමු කළයුතු විශේෂිත රෝගී තත්වයකි. මෙම දියවැඩියා තත්වය දරු ප්‍රසූතියෙන් සුළු කාලයකට පසු නැවත ප්‍රකෘති තත්වයට පත් වන බව හඳුනා ගත හැකිය. ගර්භනී සමයේ දියවැඩියාව සඳහා අවධානම් තත්වයක් ලෙස ශරීරයේ බර වැඩිවීම නැත්නම් ස්ථුල තාව හැඳිනවිය හැකියි, එමෙන්ම ඔබ මීට කලින් දරුවන් බිහි කළ මවක් නම් ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 4ට වඩා වැඩි වූයේ නම් එහිදී ද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වනු ඇත. එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්ථාවලදී  දියවැඩියාව  වැළඳුණු කාන්තාවක් නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානමට ලක් වනු ඇත. තවද ඔබේ පවුලේ මව පියා හෝ සහෝදර සහෝදරියක් දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙන්නේ නම් එවැනි අවස්තාවකදී ඔබට  ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම ඉහල මට්ටමක පවතී. විශේෂයෙන්ම  දකුණු ආසියාතික රට වල ජීවත් වන සියලු  ජනතාවට දියවැඩියාව වැළදීමේ අවදානම ලෝකයේ සෙසු රටවල ජීවත් වන පුද්ගලයන්ට වඩා ඉහල බව සිදු කර ඇති සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙනවා. ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද? ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි පරීක්ෂා කර ගැනීමට කළ යුත්තේ ගැබ් ගෙන සති 12ක් ඉක්ම ගිය පසු  PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමයි. ඒ සඳහා ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙමගින් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි කල් තියා හඳුනා ගත හැකි වන නමුත් මෙය 100% සාර්ථක පරීක්ෂණයක් නොවන බවද අප වටහා ගත යුතු වනවා. මෙම රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය  සාමාන්‍යය  වුවද ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම තිබෙන්නට පුළුවන්. එම නිසා ගැබ් ගෙන සති 24 ත් 28ත් අතර කාලයේ දී  නැවතත් තවත් රුධිර පරීක්ෂණයක් සිදු කර ගත යුතු වනවා. එම රුධිර පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ස් ටෙස්ට් (OGTT) යනුවෙන් හඳුන්වනු ලබනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැලඳී ඇත් දැයි නිවැරදිව තහවුරු කර ගත හැකි වනු ඇති. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී මෙන් ඇතිවන සංකූලතා ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේනම් එහිදී කුසය තුල වැඩෙන දරුවාට හෝ ඔබට අවදානමක් ඇතිවිය හැකියි. නමුත් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු සංකූලතාවයක් ඇති නොවූ  ඉතාම නිරෝගී දරුවන් බිහි කරන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී  තිබුනද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සිදු නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි. දියවැඩියාව ගර්භනී සමයේ වැලඳීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. ප්‍රසූතියේ දී වැඩි බර දරු උපතක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට  සිදුවීම හෝ අඬු භාවිතය මගින් දරු උපත සිදු කිරීමට වීම ඒ අතර වනවා. එමෙන්ම ඉතාමත් කලාතුරකින් දරුවාට අවදානම් සහගත තත්වයන් ඇතිවීමට ද ගර්භනී සමයේ දියවැඩියාව බලපා හැකියි, එහි දී මල දරු උපතක් සිදු විය හැකි වනවා. ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද ගර්භනී සමයේ දියවැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම වඩා වැදගත් වනවා. මෙහි දී ඔබ කළ යුතු වන්නේ ඔබගේ වෛද්‍ය වරයා ලබා දෙන නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීමයි. නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට  එහි දී ඔබගේ වෛද්‍යවරයා පලමුව නිර්දේශ කරනු ඇති. විශේෂයෙන්ම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවක් සීනි අධික ආහාර ගැනීම නොකළ යුතු වනවා. එමෙන්ම පිටි සහිත ආහාර (උදාහරණ ලෙස පාන් බනිස් ආදී ආහාර) ආහාරයට ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. සමහරක් කාන්තාවන්ට හොඳින් ආහාර පාලනය කිරීමෙන් පමණක් මෙම ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයෙන් මිදීමට හැකි වනවා. ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් නමුත් ඔබට යම්කිසි හේතුවක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්   ඒ සඳහා ආකාර දෙකකින් ප්‍රතිකාර කළ හැකි වනවා. බෙහෙත් පෙති අධාරයෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීම ඉන් එක්  අවස්ථාවක්. එමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට  අපොහොසත් වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ෂේපනය කළ යුතු වනවා. මෙහි දී රුධිර ගත සීනි මට්ටම නියමිත ලෙස පාලනය කිරීම වඩා වැදගත් වනවා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිනකට තෙවරක් රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිකාර වෙනස් කිරීම සිදු කරනු ඇති.  අමතර පරීක්ෂණ ප්‍රතිකාරවලට අමතරව දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා අමතර ස්කෑන් පරීක්ෂණද සිදු කළ යුතු වනවා. දරුවාගේ බර වැඩි වනවාද දරුවාට යම් සංකූලතාවයක් ඇතිවී තිබේද යන්න එමගින් හඳුනා ගත හැකි වනවා . දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම නිරෝගී කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ට වඩා වෙනස් ආකාරයකින් සිදු වනව. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකට ගැබ් ගෙන සති 38 ත් 40ත් අතර කාලය තුල ප්‍රසූතිය සිදු කිරීමට අනුමත කරනු ඇති. දිය  වැඩියා තත්වයේ දරුනු භාවය මත මෙම කාලය වෙස් කිරීමට සිදුවනු ඇති. ..
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )
දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට සුපුරුදු පරිදි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නො වීම මගින් ඔබ ගැබ් ගෙන ඇති බවට අනුමාන කළ හැකි වනවා. එහෙත් එය සැක හැර තහවුරු කර ගැනීමට ඔබ කළ යුතු වන්නේ පෙර ඔසප් වීමෙන් සති හතරකට පසු මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීමයි. සාමාන්‍යයෙන් නිරෝගිමත් කාන්තාවකට (ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් ඇති) දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන අතර සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන දිනට නියමිත ආකාරයෙන් ඔසප් වීම සිදු නොවිනි නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ් ගෙන ඇති දැයි සැක හැර දැන ගැනීමට හැකි වනවා. ඒ බව තහවුරු කර ගත් වහා ඔබ කළ යුත්තේ ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරි වරිය මුණ ගැසී අදාල සායනයෙහි ලියාපදිංචි වීමයි. එම ලියාපදිංචි වීමට අමතරව සති 8ක් යන තුරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් වීම අනිවාර්ය නොවන අතර එම කාලය තුල ෆෝලීක් ඇසිඩ් යන විටමිනය ලබා ගත යුතු වනවා. එහෙත් ඒ වන විට ඔබ යම් කිසි රෝග තත්වයකින් පෙළන්නේ නම් හෝ කිසියම් රෝගයකට දැනටමත් ප්‍රතිකාර ගන්නේ නම් එවැනි අවස්ථාවක වහා වෛද්‍යවරයෙකු හමුවට යා යුතු වනවා. එසේ නොවන සාමාන්‍ය අවස්ථාවක දී ගැබ් ගැනීමෙන් සති 8ක් ඉක්ම ගිය විට දී ඔබ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කර ගැනීම වැදගත් වනු ඇති. එහි දී මූලික වශයෙන් ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ඇති. මුලික ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම එහි දී වැදගත් වන්නේ දරුවා බිහි වන දිනය නිවැරදි ලෙස තහවුරු කර ගැනීම උදෙසායි. සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය සිදු වී සති 40ක් ගිය පසු දරුවා බිහි කිරීමේ දිනය තීරණය කළ ද ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් නොමැති කාන්තාවන්ගේ ප්‍රසූත දිනය නිවැරදි ලෙස තහවුරු කර ගැනීම අපහසු වනවා. එවැනි අවස්ථාවක දී දරුවා ලැබෙන දිනය අනුමාන කිරීම අපහසු වනවා. එහෙත් මුලික ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ ප්‍රමාණය නීර්ණය කිරීමට හැකි වන හෙයින් නිවැරදි ලෙස දරුවා බිහි වන දිනය ගණනය කිරීමට හැකි වනවා. එමෙන්ම මුලිකව සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වලදී හිමෝග්ලොබින් පරීක්ෂාව වැදගත් වෙනවා. ලේ අඩු කම හෙවත් නීරක්ත තත්වයක ගැබිනි මව පසු වන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වීමට මෙම හිමෝග්ලොබින් පරීක්ෂාව වැදගත් වෙනවා. ඊට අමතරව රුධිර ගණය සහ ආර් එච් සාධකය සොයා බැලීම ද සිදු කරනව. එහි දී මවගේ රුධිර ගණයේ ආර් එච් සාධකය ඍන වී දරුවාගේ රුධිර ආර් එච් සාධකය ධන වන අවස්ථාවක් ඇති වුව හොත් එනම් රුධිර ගණ දෙක නොගැළපෙන අවස්ථාවක් වුව හොත් එය දරුවාට සංකුලතා මතු කරවන්නක් නිසා තවදුරටත් රුධිර පරීක්ෂණ සිදු කළ යුතු වනවා. එමෙන් ම රුධිරයේ ග්ලුකෝස් මට්ටම පරීක්ෂා කර බැලීමෙන් ගර්භණී කාලයේ දියවැඩියාවට අවදානම පරීක්ෂා කර ගත හැකියි. ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයකදී කල යුතු දේ ගැන ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන පහතින් නරඹන්න. ..
Fibroids ෆයිබ්‍රොයිඩ් ගෙඩි
ෆයිබ්‍රොයිඩ් යනුවෙන් හදුන්වනු ලබන්නේ ගර්භාෂයේ ඇති වන පිළිකා නොවන ගෙඩි විශේෂයක්. මෙවැනි අකාරයේ ගෙඩි හට ගැනීම් ඉතාමත් සුලභයි. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මේ ආකාරයේ ගර්භාෂයේ ගෙඩි හටගැනීම් දකින්න පුළුවන්. බොහෝ කාන්තාවන් තමන්ට ෆයිබ්‍රොයිඩ් ගෙඩි තිබෙන බව දන්නෙ නැහැ. එවැනි ගෙඩි බොහෝ දුරට හානිකර නැහැ. නමුත් සමහර කාන්තවන් මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඉතාමත් අපහසුතාවයට පත් වෙන අවස්ථා දකින්න පුළුවන් මාස් ශුද්ධිය සමග ඇති වන තද බල වේදනාව, අධික රුධිර වහනය, මුත්‍රා පිටකිරීම අපහසු වීම, දරු ඵල පමා වීම, ගබ්සාවීම, දරු ප්‍රසූතියේදී ඇති වන සංකූලතා වැනි රෝග ලක්ෂණ මෙම ගෙඩි නිසා ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ ෆයිබ්‍රොයිඩ් තිබෙන කාන්තාවන් ගෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයකට. එම නිසා වෛද්‍ය පරීක්ෂණයකදී ඔබට ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව තහවුරු වුවත් ඉන් ඔබ කලබල විය යුතු නැහැ. Uterine fibroids ඉතා කුඩා ප්‍රමාණයේ සිට මුළු උදර කුහරයම වසාගන්නා ඉතා විශාල ගෙඩි දක්වා මේවායේ ප්‍රමාණය වෙනස් වන්න පුළුවන්.  ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් සෑදෙන අවස්ථා දුර්ලභ නොවුවත් බොහෝ විට දකින්න ලැබෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩි එකක් හෝ කිහිපයක් ඇති අවස්ථා. ගෙඩිය පිහිටා තිබෙන ස්ථානය අනුව ඇති වන රෝග ලක්ෂණ වෙනස් වෙනව. සාමාන්‍යයෙන් ෆයිබ්‍රොයිඩ් ගෙඩි හට ගන්නේ ගර්භාෂයේ මාංශපේෂි බිත්තිය තුල. එහි පිටතට වන්න ඇතිවන ගෙඩි ඉතා විශාල වන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ගර්භාෂ බිත්තියේ ඇතුල් ස්තරයට ආසන්නව ඇතිවන ෆයිබ්‍රෙයිඩ් ගෙඩි ඉතාමත් කුඩා කාලයේ සිටම රෝග ලක්ෂණ පෙන්නුම් කරනව. බොහෝ විට ශුද්ධවීම සමග අධික ලෙස රුධිර වහනය, ගබ්සාවීම, මද සරුබව ආදී තත්වයන් මේ නිසා ඇති වන්න පුළුවන්. රෝග ලක්ෂණ නොපෙන්වන ෆයිබ්‍රොයිඩ් සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඉතා විශාල හෝ රෝග ලක්ෂණ පෙන්වන ෆයිබ්‍රොයිඩ් ඔබට ඇත් නම් නොපමාව නාරිවේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. වේදනා නාශක සහ රුධිර වහනය අවම වීම සඳහා දෙන ඖෂධ මගින් සමහර විට මෙය තාවකාලිකව පාලනය කර තබා ගැනීමට පුළුවන් . එසේ කළ නොහැකි අවස්ථා වලදී හෝමෝන ප්‍රතිකාර මගින් ෆයිබ්‍රෙයිඩ් වැඩීම අඩුකිරීම හෝ හැකිලීමට ලක් කිරීම සිදු කළ  හැකි වනවා. සමහර අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම සිදුකෙරෙනවා. නවීන වෛද්‍ය තාක්ෂණය භාවිත කරමින් ලැපරොස්කොපි හෝ හිසටොරොස්කොපි ක්‍රමයටත් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම දැන් සිදු කරන්න පුළුවන්. එමගින් ශරීර අභ්‍යන්තරයේ පටක වලට සිදුවන හානිය අවම නිසා දරු ඵල බලා පොරොත්තු වන කාන්තාවකට මෙම ක්‍රම වඩාත් සුදුසු වනවා. එසේ නැත්නම් විවෘත ශල්‍යකර්මයක් මගින් ෆයිබ්‍රොයිඩ් පමනක් ඉවත් කිරීම හෝ ගර්භාෂය සමග ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. මයෝමෙක්ටොමි ශල්‍යකර්මය ගැන විස්තර වෙනම ලිපියක සඳහන් වෙනව. Click Here. කෙසේ වෙතත් ශල්‍යකර්මයකින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමෙන් පසුව උවත් නැවත ෆයිබ්‍රොයිඩ් ඇති වීමේ අවධානමක්  තිබෙන බවත් සඳහන්  කළ යුතුයි...