ගැබ් ගෙල පිළිකාව (cervical cancer)
දැනට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලදෙන පිළකා අතරින් දෙවන තැන ගන්නේ ගැබ් ගෙල පිළිකාවයි. මෙය හැදෙන්නේ ගර්භාෂයේ ගෙල කොටස හෙවත්  යෝනි මාර්ගයට විවෘතව පවතින කොටසේ. ගැබ් ගෙල පිළිකාව හැදෙන ස්ථානය යෝනි මාර්ගයට විවෘතව පවතින නිසා මෙම පිළිකාව මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමේ හැකියාව තිබෙනව. අසාමාන්‍ය රුධිර වහනය මෙම පිළිකාවේ රෝග ලක්ෂණයක්. මාස් ශුද්ධියට අමතරව අක්‍රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයෙන් පසු රුධිර වහනය වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය පරීක්ෂණයකට වහා ලක් විය යුතුයි. මෙම පිළිකාවට ප්‍රධාන රෝග කාරකය වන්නේ ඉතාමත් සුලභ වෛරසයක් වන HPV වෛරසයයි. ගැබ්ගෙල HPV වෛරස ආසාදනයට ලක්වුව හොත් එහි සෛල වල වෙනස් කම් ඇති වෙනවා. බොහෝ දුරට මෙය සම්පූර්ණයෙන් ම සුව වනව. නමුත් සුළු පිරිසකට වෛරසය  ඉවත් නොවී ගැබ් ගෙලෙහි පවතිනව. මෙසේ කාලයක් පවතින වෛරසය ගැබ්ගෙල සෛල වල ඇති කරන වෙනස් කම් පිළිකාවකට හැරන්න අවුරුදු 15ක් පමන ගත වෙනව. මෙම කාලය ඇතුලත පරීක්ෂාවකට ලක් වීමෙන් ඔබටත් ගැබ්ගෙල පිළිකාවක් සෑදීමට අවදානමක් ඇත් දැයි දැන ගන්න පුළුවන්. ගැබ් ගෙල ස්‍රාව පටල පරීක්ෂාව කර ගැනීමෙන් මෙය දැන ගන්න පුළුවන්. HPV වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා එන්නතක් දැන් සොයාගෙන තිබෙනව. පාසැල් දැරියන්ට මෙම එන්නත දීමෙන් ගැබ් ගෙල පිළිකා අවදානම 98% කින් පමන අඩුකරන්න පුළුවන්. මෙය දැන් ලංකාවේ ලබා ගත හැකියි. වැඩි විස්තර සඳහා ඔබේ වෛද්‍ය වරයා හමු වන්න. ..
Ovarian cysts (ඩිම්බ කෝෂයේ ඇති වන ගෙඩි)
නිරෝගී තරුණ කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. මෙම ඩිම්බය පිටවීමට පෙර එය වර්ධනය වෙන්නේ ඩිම්බ කෝෂයක් ඇතුළෙ ෆොලිකල් (follicle) නමින් හඳුන්වන තරලයෙන් පිරුණු වතුර බුබුලක් වැනි බුබුලක් තුල. ඩිම්බය වර්ධනය වන අවස්ථාවවේදී මෙම බුබුල සෙන්ටි මීටර 2-3 ක් පමණ විශ්කම්භයක් දක්වා විශාල වෙනවා. කලාතුරකින් මීට වඩා විශාල වන අවස්ථා වුවත් දක්නට පුළුවන්. එය සාමාන්ය තත්වයක්. එහෙත් ඇතැම් අවස්ථාවක මෙම ඩිම්බ කෝෂ තුල ගෙඩි හට ගන්නා අවස්ථා තිබෙනවා. ඒවා බොහෝ වෙලාවට තරලයකින් පිරුණු වතුර බුබුලක් වැනි ගෙඩි විදියටයි දකින්න ලැබෙන්නේ. තරුණ කාන්තාවන්ගෙ ඩිම්බ කෝෂ තුල ඇති වන ගෙඩි ප්‍රධාන වර්ග 3ක් හදුනා ගන්න පුළුවන්. 1. පළමු වර්ගය Simple cyst. මෙය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වූ ඩිම්බය අඩංගු ෆොලිකල් එකක්. මෙවැනි ආකාරයේ ගෙඩි ඉතාමත් සුලබයි. නමුත් මාස කිහිපයක් ඇතුළත මෙම ගෙඩි ඉබේම හැකිළී යන නිසා ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. 2. දෙවන වර්ගයEndometrioma (Chocolate cyst). එන්ඩොමෙට්ට්‍රියෝමා ලෙස හඳුන්වන ගෙඩි. මේවා සෑදෙන්නෙ එන්ඩොමෙට්‍රියොසිස් කියන රෝගී තත්වය නිසා. මෙහි දී ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල වලට සමාන සෛල ගර්භාෂයෙන් පිටත සහ ඩිම්බ කෝෂය මත පිහිටනවා. මෙම සෛල වලින් ඇති වන ඩිම්බ කෝෂයේ ගෙඩි එන්ඩොමෙට්ට්‍රියෝමා නැතහොත් චොකලට් සිස්ට් ලෙසයි හඳුන්වන්නේ. 3. තුන්වන වර්ගයDermoid cyst. කාන්තාවකගේ ඩිම්බ කෝෂ වර්ධනය වන සමයේ ඩිම්බ ඇති වන මූලික සෛල වලින් හට ගන්නා ගෙඩි ඩර්මොයිඩි සිස්ට් ලෙස හඳුන්වනවා. මේවා ඇතුළත සමහර විට හිස කෙස්, දත්, මේද පටක වැනි දේ දක්නට ලැබෙනව.   මීට අමතරව සෑදෙන අනිකුත් ගෙඩි වර්ග එතරම් සුලබ නැහැ. කාන්තාවන්ට ආර්ථවහරනයට පෙර ඇති වන ඩිම්බ කෝෂ වල ගෙඩි බොහොමයක් පිළිකා නෙමෙයි. සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට (10% කට) ජීවිත කාලය තුල දී මෙවැනි ගෙඩියක් නිසා ශල්‍ය කර්මයකට ලක් වීමේ අවදානමක් තිබෙන බවත් හදුනා ගන්න පුළුවන්. පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔබට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇත් දැයි සැක කල හැකියි. නමුත් මෙය නිවැරදිව දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ යුතුවනවා. යටිබඩ වේදනාව මාස් ශුද්ධිය සමග වේදනාවක් ඇතිවීම ලිංගික එක්වීමේ දී වේදනාවක් ඇතිවීම බඩේ පිරුණු ස්වභාවයක් දැනීම සහ ආහාර රුචිය වෙනස් වීම යටි බඩ විශාල වීම (ඉදිමීම) දරු ඵල පමා වීම මුත්‍රා පිට කිරීමේ දී හෝ මල පහ කිරීමේ දී අපහසුතාවක් හෝ වේදනාවක් ඇතිවීම මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම ඉතාමත් වැදගත්. මෙහි දී වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනු ඇති. මෙමගින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති දැයි සැක හැර දැන ගත හැකියි. ඔබට එවැනි ගෙඩියක් ඇත්නම් එම ගෙඩියේ ලක්ෂණ අනුව වෛද්‍ය වරයා වැඩි දුර පරීක්ෂණ නියම කරනු ඇති. මෙම ගෙඩිය simple cyst ලෙස හඳුන්වන ගෙඩියක් නම් එහි ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වනවා. ගෙඩියේ විශ්කම්භය 5 cm වලට වඩා අඩු නම් බොහෝ විට මෙය ප්‍රතිකාරයකින් තොරවම හැකිළී යන නිසා බියවිය යුතුවන්නේ නැහැ. මාස කිහිපයකින් නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක් වීමෙන් මෙය සැක හැර දැන ගත හැකියි. නමුත් ගෙඩිය 5 cm වලට වඩා විශාල නම් දගින් දිගටම පවතී නම් වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙනවා. සමහර විට මේ සඳහා ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය වන්න පුළුවන්. ගෙඩිය ඉතා විශාල නම් සාමාන්‍ය විවෘත ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. බොහෝ විට පිළිකා නොවන ගෙඩියක් ඉවත් කිරීමේ දී ඩිම්බ කෝෂය ඉවත් කරන්නේ නැහැ. එම නිසා ශල්‍ය කර්මයෙන් පසු ඔබේ සාපල්‍යතාවයට හෝ මාසික ඔසප් වීමට බලපෑමක් ඇති වන්නේ නැහැ. වයස අවුරුදු 50ට වැඩි කාන්තාවකට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත හොත් මෙම වයසේ දී ඇති වන ගෙඩි පිළිකාවක් වීමට අවදානම වැඩි නිසා ඒ සඳහා ඉතා ඉක්මනින් වැඩි දුර පරීක්ෂණ සිදු කල යුතුයි. ..