Fibroids ෆයිබ්‍රොයිඩ් ගෙඩි
ෆයිබ්‍රොයිඩ් යනුවෙන් හදුන්වනු ලබන්නේ ගර්භාෂයේ ඇති වන පිළිකා නොවන ගෙඩි විශේෂයක්. මෙවැනි අකාරයේ ගෙඩි හට ගැනීම් ඉතාමත් සුලභයි. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මේ ආකාරයේ ගර්භාෂයේ ගෙඩි හටගැනීම් දකින්න පුළුවන්. බොහෝ කාන්තාවන් තමන්ට ෆයිබ්‍රොයිඩ් ගෙඩි තිබෙන බව දන්නෙ නැහැ. එවැනි ගෙඩි බොහෝ දුරට හානිකර නැහැ. නමුත් සමහර කාන්තවන් මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඉතාමත් අපහසුතාවයට පත් වෙන අවස්ථා දකින්න පුළුවන් මාස් ශුද්ධිය සමග ඇති වන තද බල වේදනාව, අධික රුධිර වහනය, මුත්‍රා පිටකිරීම අපහසු වීම, දරු ඵල පමා වීම, ගබ්සාවීම, දරු ප්‍රසූතියේදී ඇති වන සංකූලතා වැනි රෝග ලක්ෂණ මෙම ගෙඩි නිසා ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ ෆයිබ්‍රොයිඩ් තිබෙන කාන්තාවන් ගෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයකට. එම නිසා වෛද්‍ය පරීක්ෂණයකදී ඔබට ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව තහවුරු වුවත් ඉන් ඔබ කලබල විය යුතු නැහැ. Uterine fibroids ඉතා කුඩා ප්‍රමාණයේ සිට මුළු උදර කුහරයම වසාගන්නා ඉතා විශාල ගෙඩි දක්වා මේවායේ ප්‍රමාණය වෙනස් වන්න පුළුවන්.  ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් සෑදෙන අවස්ථා දුර්ලභ නොවුවත් බොහෝ විට දකින්න ලැබෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩි එකක් හෝ කිහිපයක් ඇති අවස්ථා. ගෙඩිය පිහිටා තිබෙන ස්ථානය අනුව ඇති වන රෝග ලක්ෂණ වෙනස් වෙනව. සාමාන්‍යයෙන් ෆයිබ්‍රොයිඩ් ගෙඩි හට ගන්නේ ගර්භාෂයේ මාංශපේෂි බිත්තිය තුල. එහි පිටතට වන්න ඇතිවන ගෙඩි ඉතා විශාල වන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ගර්භාෂ බිත්තියේ ඇතුල් ස්තරයට ආසන්නව ඇතිවන ෆයිබ්‍රෙයිඩ් ගෙඩි ඉතාමත් කුඩා කාලයේ සිටම රෝග ලක්ෂණ පෙන්නුම් කරනව. බොහෝ විට ශුද්ධවීම සමග අධික ලෙස රුධිර වහනය, ගබ්සාවීම, මද සරුබව ආදී තත්වයන් මේ නිසා ඇති වන්න පුළුවන්. රෝග ලක්ෂණ නොපෙන්වන ෆයිබ්‍රොයිඩ් සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඉතා විශාල හෝ රෝග ලක්ෂණ පෙන්වන ෆයිබ්‍රොයිඩ් ඔබට ඇත් නම් නොපමාව නාරිවේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. වේදනා නාශක සහ රුධිර වහනය අවම වීම සඳහා දෙන ඖෂධ මගින් සමහර විට මෙය තාවකාලිකව පාලනය කර තබා ගැනීමට පුළුවන් . එසේ කළ නොහැකි අවස්ථා වලදී හෝමෝන ප්‍රතිකාර මගින් ෆයිබ්‍රෙයිඩ් වැඩීම අඩුකිරීම හෝ හැකිලීමට ලක් කිරීම සිදු කළ  හැකි වනවා. සමහර අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම සිදුකෙරෙනවා. නවීන වෛද්‍ය තාක්ෂණය භාවිත කරමින් ලැපරොස්කොපි හෝ හිසටොරොස්කොපි ක්‍රමයටත් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම දැන් සිදු කරන්න පුළුවන්. එමගින් ශරීර අභ්‍යන්තරයේ පටක වලට සිදුවන හානිය අවම නිසා දරු ඵල බලා පොරොත්තු වන කාන්තාවකට මෙම ක්‍රම වඩාත් සුදුසු වනවා. එසේ නැත්නම් විවෘත ශල්‍යකර්මයක් මගින් ෆයිබ්‍රොයිඩ් පමනක් ඉවත් කිරීම හෝ ගර්භාෂය සමග ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. මයෝමෙක්ටොමි ශල්‍යකර්මය ගැන විස්තර වෙනම ලිපියක සඳහන් වෙනව. Click Here. කෙසේ වෙතත් ශල්‍යකර්මයකින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමෙන් පසුව උවත් නැවත ෆයිබ්‍රොයිඩ් ඇති වීමේ අවධානමක්  තිබෙන බවත් සඳහන්  කළ යුතුයි...
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න
බොහෝ දෙනෙක් කන්‍යා පටලය හා කන්‍යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධව මිථ්‍යා මත රැසක් තිබෙන නිසා කන්‍යා පටලය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සඳහා මේ ලිපිය යොදා ගන්නම්. ගැහැණු දරුවෙකු උපදින විට යෝනි මාර්ගයේ පිටත කෙළවරට මදක් ඇතුළතින් තුනී පටලයක් හඳුනා ගන්න පුළුවන්. මෙය කන්‍යා පටලය (Hymen) ලෙස හඳුන්වනව. මානව පරිනාමයේදී මෙම කොටසට වෙන් වූ විශේෂ කර්තව්‍යයක් හඳුනා ගෙන නැහැ. සමහර කාන්තාවන්ට උපතින් ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. සාමාන්‍යයෙන් කන්‍යා පටලය මැද ඔසප් වන රුධිරය සහ යෝනි මාර්ගයේ ස්‍රාවයන් පිටතට පැමිණීමට හැකි වෙන පරිදි විවරයක් තිබෙනව. මෙම විවරයේ විශාලත්වය සහ ස්වරූපය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම පටලයෙන් යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන්නෙ නැහැ. පලමු ලිංගික සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවිය යුතු බවට මතයක් පවතිනවා. ලිංගික එක් වීමේදී කන්‍යා පටලය හෝ යෝනි මාර්ගයේ අැතුලත බිත්තියේ ඉරීමක් අැතිවීමට ඉඩ තිබෙනව. එ් නිසා රුධිර වහනයක් විය හැකියි. නමුත් කන්‍යා පටලයක් පිහිටා නැති කාන්තාවකට පලමු සංසර්ගයේ දී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. විවරය වටා වල්ලක් ලෙස මෙම පටලය පිහිටා ඇති නම් පමණක් ලිංගික සංසර්ගයක දී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුළු කරන විට දී මෙම පටලය ඉරී යාමට හැකියාවක් තිබෙනව. එවැනි කාන්තාවන් ගෙනුත් යම් ප්‍රතිශතයක ගේ කන්‍යා පටලය ඇදෙන සුළු නිසා එහි ඉරීමකින් තොරව සංසර්ගයේ යෙදීමට හැකියාව තිබෙනව. එවිටත් රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා පලමු ලිංගික සංසර්ගයේ දී රුධිර වහනයක් අනිවාර්යයෙන් සිදු විය යැයි පවතින මතය විද්‍යාත්මක නැහැ. මේ ගැන නිවැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැතිකම නිසා උපතින් ම කන්‍යා පටලයක් නොමැති කාන්තාවන් අධික මානසික පීඩනයකට ලක් වෙන අවස්තා බහුලව දක්නට ලැබෙනව. තවත් සමහර කාන්තාවන්ට යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන ලෙස කන්‍යා පටලය පිහිටනවා. ඒ වගේ අවස්ථාවක ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට නො හැකියි. එවැනි කාන්තාවන්ට ශල්‍ය කර්මයක් මගින් කන්‍යා පටලයේ සිදුරක් ඇති කර ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට සැලැස්වීම අවශ්‍ය වෙනව. බොහෝ දෙනෙකු විමසන තවත් ගැට‍ළුවක් තමයි වෛද්‍ය පරීක්ෂණයක් මගින් කන්‍යා භාවය පරීක්ෂා කල හැකි ද යන වග. පර්යේෂණ වලින් සොයා ගෙන ඇති පරිදි කන්‍යා පටලය සාමාන්‍ය ලෙස පිහිටීම මගින් කලින් ලිංගික එක්වීමක් සිදුව නැති බව තහවුරු කරන්න බැහැ. කන්‍යා පටලය ඇදෙන සුළු නම් සංසර්ගයේ දී එයට හානියක් නොවීමට ඉඩ තිබෙනව. ඒ වගේම මෙම පටලයේ ඇති වෙන සියුම් ඉරීමක් නැවත යා වීමට ඉඩකඩ තිබෙනව. තවත් පර්යේෂණයක් මගින් සොයා ගෙන ඇති පරිදි කලින් ලිංගික ව එක් වී ඇති කාන්තාවන් ගෙන් 52%කට කන්‍යා පටලයේ කිසිම ඉරීමක සලකුණු හඳුනා ගෙන නැහැ. ඒ නිසා කන්‍යා පටලය පිහිටා තිබීම හෝ නො තිබීම මගින් කාන්තාවක් කලින් ලිංගික එක්වී ඇති බව සොයා ගන්න බැහැ. කෙසේ වෙතත් තවමත් සමහර රටවල කාන්තාවගේ කන්‍යාභාවය පලමු සංසර්ගයේ රුධිර වහනය මගින් මැන බලන බව රහසක් නොවෙයි. ඒ නිසාම කලින් ලිංගික එක්වීමක් නිසා කන්‍යා පටලයට හානිවු කාන්තාවන් කන්‍යා පටලය නැවත සකස් කල හැකි දැයි විමසා සිටිනව. එලෙස කන්‍යා පටලය නැවත සකස් කිරීමට සැත්කමක් තිබෙනව. මෙය hymenoplasty ලෙස හඳුන්වනව. නෙදර්ලන්තයේදී කරන ලද වෛද්‍ය පරීක්ෂණයකට අනුව මෙම සැත්කම සාර්ථක බව තහවුරු වී තිබෙන නමුත් අත්‍යවශ්‍ය නොවන මෙවැනි සැත්කමකට යොමු නොවී සිටීම වඩාත් සුදුසුයි. සැත්කමක් අවශ්‍ය වුවත් එය සුදුසුකම් නොලත් පුද්ගලයන් ලවා කරවා ගැනීම ඉතාමත් අවදානම්. එවැනි ස්ථාන වලින් සැත්කම් සිදු කරගත් කාන්තාවන්ට විෂබීජ ආසාදන වැනි සංකූලතා සමග රෝහල් ගතවීමට පවා සිදුව තිබෙනව...
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)
දරු සුරුතල් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ කාන්තාවන් ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි තමා ගැබ් ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීම. එමෙන්ම ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුන අවස්ථාවකත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව. පලමුවෙන් ම මේ බව දැන ගන්න පුළුවන් ලක්ෂණය තමයි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නොවීම. සමාන්‍යයෙන් නිරෝගිමත් කාන්තාවකට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව (ක්‍රමාණුනුකූල ඔසප් චක්‍රයක් ඇති). නමුත් සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන දිනට නියමත ආකාරයෙන් ඔසප් වීම සිදු නොවූනි නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීමට හැකියි. දැනට ඖෂධහලකින් මිළදී ගැනීමට  ඇති මුත්‍රා පරීක්ෂණ පටියක් (Pregnancy strip ස්ට්‍රිප්) මගින් ඔබේ ශුද්ධ වීමට නියමිතව තිබූ දින පසු වූ වහාම ඔබ ගැබ්ගෙන ඇති දැයි දැන ගැනීමට හැකියාව තිබෙනව. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ ශුද්ධ වීමට නියමිතව තිබූ දින පසු වූ වහාම දිනයක අලුයම මුලින්ම  පිටකරන මුත්‍රා සාම්පලයකට මුත්‍රා පරීක්ෂණ පටියක් බහාලීම පමණයි. එම මුත්‍රා පරීක්ෂණ පටියෙහි වර්ණය වෙනස් වුයේ නම් ගර්භනී බව තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනව. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීම සුදුසුයි. ..
ගැබ් ගෙල පිළිකාවක් කලින් හඳුනා ගන්න PAP SMEAR TEST (ගැබ් ගෙල ස්‍රාව පරීක්ෂාව)
ගැබ් ගෙල ස්‍රාව පරීක්ෂාව ඉතාමත් සරල පරීක්ෂණයක්. මේ මගින් කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකාවක් සෑදීමට අවදානමක් ඇතිදැයි කල්තියා හඳුනා ගන්න පුළුවන්. ගැබ් ගෙල පිළිකා රෝග තත්වයට වසරකට ශ්‍රී ලංකාවෙ කාන්තාවන් 900 ක් පමන  ගොදුරු වන බව  හඳුනා ගෙන තිබෙනව. මෙය කලින් හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම වලක්වා ගත හැකි පිළිකාවක්. ගැබ් ගෙල ස්‍රාව පටල පරීක්ෂාව මගින් පිළිකාවක් සෑදීමට ඇති අවදානම වසර 15කට පමන පෙර වුවත් හඳුනා ගන්න පුළුවන්. මෙම පරීක්ෂණය කිසිදු වේදනාවකින් තොරව සිදුකළ හැකි සරල පරීක්ෂණයක්. මෙහිදී යෝනි මාර්ගය හරහා ඇතුල් කරන ඉතා කුඩා උපකරනයක් ආධාරයෙන් ගැබ් ගෙල ස්‍රාව සාම්පලයක් ලබා ගෙන වැඩි දුර පරීක්ෂණ සඳහා රසායනාගාරයකට යොමු කරනවා. එම සාම්පලයේ ඇති සෛල අන්වීක්ෂයක් මගින් පරීක්ෂා කර ඔබේ ගැබ් ගෙලහි ඇති අසාමාන්‍ය තත්වයන් හඳුනා ගන්න පුළුවන්. පරීක්ෂණ වාර්තාව සම්පූර්ණයෙන් ම සාමාන්‍ය නම් ඔබට අවුරුදු තුනක් යන තුරු ගැබ් ගෙල පිළිකාවක් ඇති වීමේ අවදානම ඉතාමත් ම අඩුයි. පරීක්ෂණ වාර්තාව අසාමාන්‍ය නම් නැවත පරීක්ෂණය සිදු කිරීම හෝ  වැඩි දුර පරීක්ෂණ සඳහා පහසුකම් ඇති රෝහලක් වෙත යොමු කිරීමට ඔබේ වෛද්‍ය වරයා කටයුතු කරනු ඇති. දැන් ශ්‍රී ලංකාවෙ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම මේ පරීක්ෂණය නොමිලේ කර ගැනීමට පහසුකම් සලසා ඇති අතර  බොහො පුද්ගලික රෝහල් වලත් මේ පරීක්ෂණය සිදුකර ගන්න පුළුවන්. ..
ගබ්සාව (Miscarriage)
ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල ඇතිවිය හැකි අවදානම් තත්වයන් ගෙන් ප්‍රධානතම තත්වය වන්නේ යෝනි මාර්ගයෙන් රුධිරය  වහනය වීමයි. රුධිර වහනය බහුල ලෙස ගර්භණී කාන්තාවන් අත් විදින තත්වයක් වුවත් බොහෝ දුරට මෙය මවට හෝ දරු ගැබට හානි කර වන්නේ නැහැ. නමුත් කලාතුරකින් මෙය ගබ්සාවක් හෝ වෙනත් අවදානම් තත්වයක ලක්ෂණයක් වන්නත්  පුළුවන්. එබැවින් මුල් මාස කිහිපය තුල රුධිර වහනයක් සිදුවුවහොත් වහාම වෛද්‍ය වරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම කළ  යුතුයි. එවිට වෛද්‍ය වරයා ඔබගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් පසුව සුදුසු පරීක්ෂණ නිර්දේශ කරනු ඇති. මුලින් ම ඔබ ගර්භණී බව තහවුරු කිරීමට මුත්‍රා පරීක්ෂණයක් සිදුකරනව. ඉන් අනතුරුව බොහෝ දුරට ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කරනව. මෙය ඉතාමත් ම ආරක්ෂාකාරී පරීක්ෂණයක්. එමගින් ඔබට හෝ දරුවාට කිසිදු හානිකර අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණය මගින් දරු ගැබ නිසි ලෙස ගර්භාෂය තුල පිහිටා ඇත් දැය දැන ගැනීමට පුළුවන්. ඒ වගේම, ගබ්සාවක් වැනි අවදානම් තත්වයක් ඇති දැයි මෙමගින් දැන ගන්නත්  පුළුවන්. බොහෝ විට ගබ්සාවක් සිදු වන්නේ ඔබ ගර්භණී බව දැන ගැනීමටත් පෙරයි. ඒ නිසා බොහෝ කාන්තාවන් තමන්ට ගබ්සාවක් වුන බව දන්නේ නෑ. ගර්භණී බව දැන ගත් පසු ගබ්සාවක් සිදු වුව හොත්, පහත ආකාරයට හඳුනා ගන්න පුළුවන්. 1. ගබ්සාවකට අවදානම් තත්වය (Threatened miscarriage) මෙහි දී රුධිර වහනයක් සිදු වුනත් දරු ගැබ නිරෝගී ව ගර්භාෂය තුල පවතිනවා‍. මෙය ඉතාමත් සුලබ තත්වයක්. බොහෝ ගර්භණී කාන්තාවන්ට සුළු රුධිර වහනයක් වී නතර වෙනව. එය තව දුරටත් හානි කර තත්වයක් නෙමයි. 2. අසම්පූර්ණ ගබ්සාව (Incomplete miscarriage) මෙහි දී රුධිර වහනයත් සමග, දරු ගැබෙන් කොටසක් ගබ්සා වී පිටවීමක් සිදු වනව. ඉතිරි කොටස ගර්භාෂය තුල පවතින නිසා තව දුරටත් රුධිර වහනයක් වීමේ අවදානමක් පවතිනව. 3.  වැලැක්විය නොහැකි ගබ්සාව (Inevitable miscarriage) මෙහිදී ගැබ් ගෙල විවෘත වී ගබ්සා වීම ආරම්භ වී ඇති නිසා, අනිවාර්යෙයෙන්ම ගබ්සා වීමක් සිදුවනව. සමහර විට මෙය ස්වභාවිකවම සම්පූර්ණ වීමට පුළුවන්. නමුත් රුධිර වහනය වීමේ අවදානම වැඩි නිසා වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ  යුතුයි. 4.   සම්පූර්ණ ගබ්සාව (Complete miscarriage) මෙහි දී රුධිර වහනය සමග දරු ගැබ සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් වී යනවා. තව දුරටත් රුධිර වහනය වීමේ අවදානම ඉතා අඩුයි. 5. සැඟවුන ගබ්සාව (Missed miscarriage) මෙහි දී දරු ගැබ ගර්භාෂය තුල පවතින නමුත් සජීවී නැහැ. එයට තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් නැහැ. නමුත් රුධිර වහනයක් නොවන නිසා ගර්භාෂය ඇතුළත ම තිබෙන්නෙ. අසම්පූර්ණ හෝ සැඟවුන ගබ්සාවක දී ගර්භාෂය තුල පිට නොවූ කලල කොටස් රැඳී පවතින නිසා, අධික රුධිර වහනය, විෂ බීජ ඇතුල් වීම වැනි සංකූල තා ඇති වන්නට පුළුවන්. එය වළක්වා ගැනීම ඉතා වැදගත්. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත, කටයුතු කළ  යුතුයි. ගබ්සාවීමට ඇති අවදානම් තතවයන්. 1. කාන්තාවගේ වයස. වයස වැඩි වන විට අවදානම වැඩිවෙනව. වයස අවුරුදු 30ක කාන්තාවකට ගබ්සා වීමට ඇති අවදානම 20%ක්. වයස අවුරුදු 42 වන විට මෙම අවදානම 50%ක් දක්වා වැඩිවෙනව. 2. රෝගී තත්වයන්. උදා. නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව. 3. වැරදි සෞඛ්‍ය පුරුදු. උදා. දුම්පානය, අධික මත්පැන් භාවිතය. මානසික පීඩනය, ලිංගික ක්‍රියාකරකම්, එදිනෙදා වැඩකටයුතු ගබ්සා වීමට හේතුවක් වෙන්නෙ නැහැ. ගබ්සාවක් වුවහොත් ප්‍රතිකාර කරන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනව. 1. ස්වභාවික ලෙස ගබ්සා වීමට ඉඩ හැරීම බොහෝ ගබ්සාවන් ස්වභාවිකවම සම්පූර්ණයෙන් කළලය ඉවත් වනව. ඒ නිසා වෛද්‍ය නිර්දේශ මත යම් කිසි කාලයක් මෙය සිදුවන තෙක් බලා සිටීමෙන්, වෙනත් ප්‍රතිකාර ක්‍රමයකින් තොරව සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්. 2. බෙහෙත් ආධාරයෙන් ගබ්සාව සම්පූර්ණ වීමට උදව් කිරීම මෙම බෙහෙත් (ඖෂධ ) මගින් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉවත් වීම ඉක්මන් කරනව. 3. ශල්‍ය කර්මයක් මගින් ගබ්සාව සම්පූර්ණ කිරීම මෙහිදී සුළු ශල්‍ය කර්මයක් ආධාරයෙන් ගර්භාෂය තුල ඉතිරි වී ඇති කොටස් ඉවත් කිරීම සිදුකරනව.   සෑම ගර්භණී වන කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට (20% කට) මුල් මාස තුන තුල දී ගබ්සා වීමේ අවදානමක් තියෙනව. බොහෝ විට මෙය ට හේතු වන්නේ පිහිට ගර්භයේ (දරුවාගේ) අසාමාන්‍ය තාවයක්. එවැනි දරු ගැබකට තව දුරටත් වර්ධනය වීමට හැකියා වක් නොමැති නිසා ගබ්සා වෙන්නෙ. ඒ නිසා ඔබ එවැනි අත් දැකීමකට මුහුණ දුනහොත් ඒ ගැන දුක් වෙන්න එපා. මෙය නැවත වරක් දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් නොවෙයි.  ..