ෆයිබ්‍රොයිඩ් යනුවෙන් හදුන්වනු ලබන්නේ ගර්භාෂයේ ඇති වන පිළිකා නොවන ගෙඩි විශේෂයක්. මෙවැනි අකාරයේ ගෙඩි හට ගැනීම් ඉතාමත් සුලභයි. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මේ ආකාරයේ ගර්භාෂයේ ගෙඩි හටගැනීම් දකින්න පුළුවන්. බොහෝ කාන්තාවන් තමන්ට ෆයිබ්‍රොයිඩ් ගෙඩි තිබෙන බව දන්නෙ නැහැ. එවැනි ගෙඩි බොහෝ දුරට හානිකර නැහැ. නමුත් සමහර කාන්තවන් මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඉතාමත් අපහසුතාවයට පත් වෙන අවස්ථා දකින්න පුළුවන් මාස් ශුද්ධිය සමග ඇති වන තද බල වේදනාව, අධික රුධිර වහනය, මුත්‍රා පිටකිරීම අපහසු වීම, දරු ඵල පමා වීම, ගබ්සාවීම, දරු ප්‍රසූතියේදී ඇති වන සංකූලතා වැනි රෝග ලක්ෂණ මෙම ගෙඩි නිසා ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ ෆයිබ්‍රොයිඩ් තිබෙන කාන්තාවන් ගෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයකට. එම නිසා වෛද්‍ය පරීක්ෂණයකදී ඔබට ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව තහවුරු වුවත් ඉන් ඔබ කලබල විය යුතු නැහැ.
ඉතා කුඩා ප්‍රමාණයේ සිට මුළු උදර කුහරයම වසාගන්නා ඉතා විශාල ගෙඩි දක්වා මේවායේ ප්‍රමාණය වෙනස් වන්න පුළුවන්. ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් සෑදෙන අවස්ථා දුර්ලභ නොවුවත් බොහෝ විට දකින්න ලැබෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩි එකක් හෝ කිහිපයක් ඇති අවස්ථා. ගෙඩිය පිහිටා තිබෙන ස්ථානය අනුව ඇති වන රෝග ලක්ෂණ වෙනස් වෙනව. සාමාන්‍යයෙන් ෆයිබ්‍රොයිඩ් ගෙඩි හට ගන්නේ ගර්භාෂයේ මාංශපේෂි බිත්තිය තුල. එහි පිටතට වන්න ඇතිවන ගෙඩි ඉතා විශාල වන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ගර්භාෂ බිත්තියේ ඇතුල් ස්තරයට ආසන්නව ඇතිවන ෆයිබ්‍රෙයිඩ් ගෙඩි ඉතාමත් කුඩා කාලයේ සිටම රෝග ලක්ෂණ පෙන්නුම් කරනව. බොහෝ විට ශුද්ධවීම සමග අධික ලෙස රුධිර වහනය, ගබ්සාවීම, මද සරුබව ආදී තත්වයන් මේ නිසා ඇති වන්න පුළුවන්.
රෝග ලක්ෂණ නොපෙන්වන ෆයිබ්‍රොයිඩ් සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඉතා විශාල හෝ රෝග ලක්ෂණ පෙන්වන ෆයිබ්‍රොයිඩ් ඔබට ඇත් නම් නොපමාව නාරිවේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. වේදනා නාශක සහ රුධිර වහනය අවම වීම සඳහා දෙන ඖෂධ මගින් සමහර විට මෙය තාවකාලිකව පාලනය කර තබා ගැනීමට පුළුවන් . එසේ කළ නොහැකි අවස්ථා වලදී හෝමෝන ප්‍රතිකාර මගින් ෆයිබ්‍රෙයිඩ් වැඩීම අඩුකිරීම හෝ හැකිලීමට ලක් කිරීම සිදු කළ හැකි වනවා.
සමහර අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම සිදුකෙරෙනවා. නවීන වෛද්‍ය තාක්ෂණය භාවිත කරමින් ලැපරොස්කොපි හෝ හිසටොරොස්කොපි ක්‍රමයටත් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම දැන් සිදු කරන්න පුළුවන්. එමගින් ශරීර අභ්‍යන්තරයේ පටක වලට සිදුවන හානිය අවම නිසා දරු ඵල බලා පොරොත්තු වන කාන්තාවකට මෙම ක්‍රම වඩාත් සුදුසු වනවා. එසේ නැත්නම් විවෘත ශල්‍යකර්මයක් මගින් ෆයිබ්‍රොයිඩ් පමනක් ඉවත් කිරීම හෝ ගර්භාෂය සමග ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. මයෝමෙක්ටොමි ශල්‍යකර්මය ගැන විස්තර වෙනම ලිපියක සඳහන් වෙනව. Click Here.
කෙසේ වෙතත් ශල්‍යකර්මයකින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමෙන් පසුව උවත් නැවත ෆයිබ්‍රොයිඩ් ඇති වීමේ අවධානමක් තිබෙන බවත් සඳහන් කළ යුතුයි.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON