යටි බඩේ වේදනාවට, දරුඵල පමාවීමට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් ද? Endometriosis ගැන දැන ගන්න
යටිබඩේ අධික වේදනාව, දරු ඵල පමා වීම වැනි හේතු නිසා පරීක්ෂාවට ලක් වන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට තිබෙන රෝග තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මෙය ඉතා සුළු වශයෙන් පවතින විට කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. තරුණ කාන්තාවන් ගෙන් 10%කට පමණ මේ තත්වය ඇතිවිය හැකියි. මොකක්ද මේ එන්ඩොමෙට්‍රියොසිස් කියන්නේ? ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල ස්තරයට අපි කියන්නේ එන්ඩොමෙට්‍රියම් කියල. එම සෛල සාමාන්‍යයෙන් පිහිටන්නේ ගර්භාෂය තුල පමණයි. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයේ දී මෙම සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල පිහිටනව. ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලොපීය නාල හෝ ඩිම්බ කෝෂ මත මෙම සෛල පිහිටීම ඉතා සුලබයි. ඉතින් මේ සෛල ගර්භාෂයෙන් පිට තිබුනම මොකද වෙන්නේ? ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තමයි ඔසප් චක්‍රයේ මුල් කාලයේ වර්ධනය වී දරු ගැබක් තැන්පත් වීමට සුදුසු පරිදි හැඩ ගැසෙන්නේ. නමුත් පිළිසිඳ ගැනීමක් සිදු නො වුනොත් මෙම සෛල ස්තරය බිඳවැටී ඔසප්වීම ලෙස රුධිර වහනයක් සිදු වෙනව. මෙම හෝමෝන ක්‍රියාවලිය ගර්භාෂයෙන් පිට ඇති එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වලටත් බලපාන නිසා එම සෛල ඔසප් චක්‍රය සමග වර්ධනය වී බිඳවැටීම සිදුවෙනව. ඩිම්බ කෝෂය මත මෙම ක්‍රියාවලිය සිදු වීමෙන් එන්ඩොමෙට්‍රියෝමා නැතිනම් චොකලට් සිස්ට් කියන තත්වය ඇති කරනව. අනිත් ස්ථානවල ඇති එන්ඩොමෙට්‍රියොසිස් නිසා ඔසප් චක්‍රය සමග වරින් වර වේදනාවක් ඇති වෙන්නෙ පුළුවන්. දරුණු ලෙස මෙම තත්වය පවතින විට ලිංගික සංසර්ගයේ යෙදීම වේදනාකාරී වෙනව. ඒ වගේම මෙලෙස වරින් වර රුධිර වහනය වීම නිසා පැලෝපීය නාල ඩිම්බකෝෂ සහ බඩවැල් එකට ඇලෙන්න පුළුවන්. ඒ නිසා පැලෝපීය නාල අවහිර වී දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න පුළුවන්. කොහොමද මේ තත්වය හඳුනා ගන්නේ? නාරිවේද වෛද්‍ය වරයෙකුට ඔබගේ රෝග ලක්ෂණ අනුව මෙම තත්වය ඇති දැයි සැක කරන්න පුළුවන්. ඒ වගේම චොකලට් සිස්ට් වැනි තත්වයක් ඇති නම් එය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. නිවැරදිව ම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ලැපරොස්කොපි පරීක්ෂණය මගින්. මෙහි දී උදර කුහරය තුලට සෙන්ටි මීටර 1ක කැපුමක් තුලින් කුඩා කැමරාවක් ඇතුල් කර ඇතුළත නිරීක්ෂණය කර බලනව. එහි දී නාරිවේද වෛද්‍ය වරයා එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවී ඇති සංකූලතා දැක ගැනීමට පුළුවන්. මෙයට ප්‍රතිකාර මොනවාද? එන්ඩොමෙට්‍රියෝසිස් නිසා වේදනාව ඇතිවෙන විට වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම සෛල තරමක් දුරට හැකිළීමට ලක් කල හැකි හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියෝසිස් සෛල ඉවත් කල හැකියි. ඉන් පසු වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබෙනව. ලිංගික එකවීමේදී ඇතිවෙන වේදනාවත් මෙමගින් සුව කල හැකියි. ඩිම්බ කෝෂවල චොකලට් සිස්ට් ඇති විට දීත් ලැපරොස්කොපි ශල්‍යකර්මය මගින් ඉවත් කරන්න පුළුවන්. ලැපරොස්කොපි ක්‍රමයෙන් ශරීරයට සිදු වෙන හානිය අවම නිසා මෙයට දැන් විවෘත ශල්‍යකර්ම සිදු කරන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වීමට එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය තිබීමට අමතරව ඒ නිසා පැලෝපීය නාල අවහිර වීමත් පටක එකින‍ෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නො හැකි වීම බලපානව. මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ශල්‍යකර්මයක දී හැකියාව ලැබෙනව. මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු සමහර විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවෙනව. ඉන් පසු ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමට උත්සාහ කල යුතුයි. බොහෝ දෙනෙක් මෙම ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබනව. මේ ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නො ලැබ ඉතා දරුණු ලෙස මෙම රෝග තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ට ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්. ඔබටත් මෙම රෝග තත්වය ඇති දැයි සැකයක් ඇත්නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. දැන් ඇති නවීන ලැපරොස්කොපි ශල්‍ය කර්ම ක්‍රම මගින් ශරීරයට හානියක් නොමැතිව එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවෙන සංකූලතා වලින් මිදීමට ඔබටත් හැකියාව තිබෙනව...
ඔසප්වීම සමග වේදනාවක් ඇතිවීම රෝගී තත්වයක්ද?
කාන්තාවකගේ මාසික ඔසප්වීම සමග සුළු වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීම සාමාන්‍ය අත්දැකීමක්. නමුත් මෙහි දී අධික වේදනාවක් ඇතිවේ නම් එය සාමාන්‍ය නැහැ. මෙම වේදනාව නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වෙනව නම් හෝ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට සිදුවේ නම් මේ ගැන අවධානය යොමු කල යුතුයි. ඔසප් වීම සමග ඇතිවෙන වේදනාව dysmenorrhoea ලෙස වෛද්‍ය  විද්‍යාත්මක ව හඳුන්වන අතර මෙහි ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව. පලමු ආකාරය primary dysmenorrhoea ලෙස හඳුන්වන්නෙ. ඔසප් වීම ආරම්භ වී වසර ගණනක් යන තෙක් සමහර විට ඔසප්වීම මේ වගේ වේදනාකාරී වෙන්න පුළුවන්. මෙවැනි දැරියන්ට වේදනාව ඇතිවෙන්නේ වෙනත් කිසිම රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ වගේම මෙම වේදනාව කාලයත් සමග අඩු වෙනව. නමුත් නිරෝගී ව සිටි කාන්තාවකට පසුව ඔසප්වීම වේදනාකාරී වුව හොත් එයට හේතුව බොහෝ විට ගර්භාෂය සම්බන්ධ අසාමාන්‍ය තත්වයක්. මෙය secondary dysmenorrhoea ලෙස හඳුන්වනව. මෙයට හේතු වෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩි (fibroids), ඇඩිනොමයොසිස් (adenomyosis), එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) වැනි ගර්භාෂය සම්බන්ධ රෝගී තත්වයන්. ඔසප්වීමේදී ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය මසකට වරක් ගැලවී රුධිරය සමග ඉවත් වීම  සිදුවෙනව. මෙම රුධිරය පිටතට පැමිණෙන්නේ ගැබ් ගෙල තුල පවතින ඉතා කුඩා විවරයක් තුලින්. සමහර විට ගැබ් ගෙල අවහිර වීම මෙහි දී වේදනාවක් ඇති කරන්න පුළුවන්. එමෙන්ම රුධිරය පිටතට පැමිණෙන විට ගර්භාෂය විටින් විට තද වීමකට ලක් වෙනව. මේ නිසයි වරින් වර ඔසප් වේදනාව වැඩි වෙන්නේ. මෙලෙස ගර්භාෂය ක්‍රියා කරන විට එහි ගෙඩියක් හෝ යම් කිසි අසාමාන්‍ය තත්වයක් තිබුණ හොත් ඔසප්වීමේදී අධික වේදනාවක් ඇති කරන්න එය හේතු වෙනව. නව යොවුන් දැරියකගේ ඔසප් වීම වේදනාකාරී නිසා ඇයට එදිනෙදා වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වේ නම් ප්‍රතිකාර මගින් මෙය පාලනය කල හැකියි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි වේදනා නාශක වර්ග සහ හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් මෙම වේදනාවෙන් මිදීමට හැකියාව තිබෙනව. වැඩිහිටි කාන්තාවකගේ ඔසප්වීම වේදනාකාරී වුවහොත් මීට හේතු වන රෝග තත්වයක් ඇති දැයි සොයා බැලිය යුතුයි. මේ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම බොහෝ විට අවශ්‍ය වෙනව. එහි දී යම් රෝගී තත්වයක් හඳුනා ගත හොත් එයට ප්‍රතිකාර කිරීමෙන් මෙම වේදනාව සමනය කර ගත හැකියි. පරීක්ෂණ මගින් සොයා ගත හැකි හේතුවක් නැති අවස්ථාවල දී වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි වේදනා නාශක ඖෂධයක් ඔසප්වීම පවතින කාල සීමාව තුල ගැනීම කල හැකියි. මෙහි දී බොහෝ විට නිර්දේශ කරන්නේ නම් non-steroidal anti-inflammatory drugs (NSAIDs) කාණ්ඩයට අයත් වන mefenamic acid වැනි ඖෂධයක්. මෙම ඖෂධ දිගටම ගැනීම සුදුසු නැති අතර වේදනාව ඇති දින 5-7ත් අතර කාලයක් ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙය ලබා ගැනීමෙන් වේදනාවෙන් සහනයක් ලැබෙනව. නමුත් නැවත නැවත ඔසප් වීමත් සමග ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනව. ගර්භාෂයේ රෝග තත්වයක් ඇති කාන්තාවන් වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවිය යුතුයි. ෆයිබ්‍රොයිඩ් ගෙඩි හෝ ඇඩිනොමයෝසිස් තත්වය නිසා ඇතිවෙන වේදනාව ඖෂධ ප්‍රතිකාර මගින් පාලනය කල හැකියි. ඒ වගේ ම හෝමෝන ප්‍රතිකාර ක්‍රම මගින් මේ තත්වයන් පාලනය කර කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනව. නමුත් ශල්‍ය කර්මයක් මගින් මෙය ඉවත් කිරීම තමයි ස්ථිර වම සුවය ලැබිය හැකි ක්‍රමය. දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් විශාල කැපුම් වලින් තොරව හානිය අවම වන ආකාරයට මෙම ශල්‍යකර්ම කිරීමේ හැකියාව තිබෙනව. එවැනි ශල්‍ය කර්මයක් අවශ්‍ය වුවහොත් ලැපරොස්කොපි ශල්‍යකර්ම පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ..
දරුළුල ප්‍රමාදවීමට හේතු විමසන ලැපරොස්කොපි (Laparoscopy) පරීක්ෂණය
විවාහක යුවලකගේ ඊළඟ බලාපොරොත්තුව දරු සම්පතකි. එම අපේක්ෂාව ප්‍රමාද වීම මහත් කනස්සල්ලක් ඇති කරවයි. මෙම ගැට‍ළුව ලංකාවේ විවාහක යුවල් වලින් සියයට 15කට (15%) පමණ බලපා ඇති සුලබ තත්වයකි. මේ සඳහා බලපා ඇති හේතු සොයා ප්‍රතිකාර කිරීමෙන් බොහෝ විට දරුවෙකුගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ඇත. එයට උපකාරී වන බොහෝ පරීක්ෂණ අතර වැදගත් අංගයකි ලැපරොස්කොපි පරීක්ෂණය. ලැපරොස්කෝප් (laparoscope) යනු ඉතා සිහින් කැමරාවක් සහිත උපකරණයකි. ලැපරොස්කොපි පරීක්ෂණයේදී පලමුවෙන්ම කාන්තාවගේ උදරය කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුවෙන් පුරවා ගනු ලැබේ. ඉන් පසු නාභිය තුලින් ඇති කරන ලද කුඩා සිදුරක් මගින් එම සිහින් කැමරාව උදරයට ඇතුල් කරනු ලබයි. එවිට ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල ඇතුළු ප්‍රජනන පද්ධතියේ අංග විශේෂඥ වෛද්‍යවරයාට මනාව නිරීක්ෂණය කල හැක. එහි දී දරු ඵල ප්‍රමාද කරන සමහර රෝගී තත්වයන් වන ෆයිබ්‍රොයිඩ්ස් (Fibroids), එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) සහ ප්‍රජනන පද්ධතියේ ආසාදන (PID) වැනි තත්වයන් හඳුනා ගැනීම මෙන් ම එම අවස්ථාවේ ම සමහරකට ප්‍රතිකාර කිරීමද සිදුකල හැක. එපමණක් නොව ගැබ් ගෙල හරහා වර්ණකයක් ඇතුල් කර (dye test) එය පැලෝපීය නාල හරහා ගමන් කරන ආකාරය බලා පැලෝපීය නාල වල යම් අවහිරයක් ඇති දැයි සොයා ගත හැක. ලැපරොස්කොපි පරීක්ෂාව යනු සම්පූර්ණ නිර්වින්දනයට ලක් කර සිදු කරන සුළු ශල්‍යකර්ම ගණයේ පරීක්ෂණයකි. එය සිදුකල යුතු වන්නේ අදාළ කාන්තාවට අත්‍යවශ්‍ය නම් පමණකි. රෝග ඉතිහාසය විමසීම උදරය පරීක්ෂා කිරීම ලේ සහ ස්කෑන් පරීක්ෂණ ලබා ගැනීම ආදියෙන් පසුව විශේෂඥ වෛද්‍ය වරයා විසින් ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය දැයි තීරණය කරනු ඇති. සංකූලතාවයකින් තොර ලැපරොස්කොපි පරීක්ෂාවට විනාඩි 15ත් 30ත් අතර කාලයක් ගතවේ. නිවැරදි ක්‍රමවේද අනුගමනය කර සිදු කරන විට මෙය ඉතා ආරක්ෂාකාරී මෙන් ම අතුරු ආබාධ අඩු ශල්‍යකර්මයකි. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණයට ලක් වන කාන්තාවට පැය කිහිපයක් තුල දී සාමාන්‍ය තත්වයට පත්වී රෝහලෙන් පිටව යා හැකිය. අනෙකුත් ශල්‍යකර්ම වලදී මෙන් ම ලැපරොස්කොපි පරීක්ෂණයේදීද සංකූලතා ඇතිවිය හැකිය. ශල්‍ය කර්මයෙන් පසුව ඇති වන වේදනාව සුලබ වුවත් එය උදරය විවෘත කර සිදු කරන ශල්‍ය කර්ම වලට වඩා ඉතා අඩු එකක් මෙන් ම කෙටි කාලයක් පවතින්නකි. විෂබීජ මගින් ඇතිවෙන ආසාදනද ලැපරොස්කොපි ක්‍රමය තුල සාපේක්ෂව අඩුය. මුත්‍රාශය, බඩවැල් වැන අවයව වලට හානි වීම, හර්නියා තත්ව ඇතිවීම වැනි බරපතළ සංකූලතා ඇති වන්නේ ඉතාම කලාතුරකිනි. ලැපරොස්කොපි පරීක්ෂණය මගින් පැලෝපීය නාල වල අවහිරතාවක් නැති බව සනාථ කර ගත් පසුව දරුවකු ලබා ගැනීමේ ඉදිරි ක්‍රියාවලියට යොමු වීමට අවකාශය ලැබේ. එමෙන්ම ෆයිබ්‍රොයිඩ්, එන්ඩොමෙට්‍රියෝසිස්, ආසාදන වැනි රෝග තත්ව වලට එවෙලේම ප්‍රතිකාර කිරීමෙන් දරු ඵල ලබා ගැනීමේ හැකියාව වැඩි කර ගත හැකිය. මෙම එක් එක් රෝග තත්වයන් ගැන ඉදිරි ලිපි වලින් වෙන වෙනම සාකච්ඡා කරනු ඇත...
ගර්භාෂයනේ පිටත දරු ගැබ පිහිටන අවදානම් තත්වය ගැන (Ectopic pregnancy)
ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එකතු වීමෙන් තමයි දරු ගැබක් හට ගන්නේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු වෙන්නේ කාන්තාවගේ පැලෝපීය නාලය තුල. එමගින් ඇතිවෙන කලලය පැලොපීය නාලය දිගේ ගමන් කර ගර්භාෂය තුල තැන්පත් වෙනව. මෙලෙස දරුවෙකු පිළිසිඳ ගත් පසු ප්‍රසූතිය දක්වා මාස 10ක් වර්ධනය වෙන්නේ ගර්භාෂය තුලයි. ගර්භාෂයට මෙම කලලයේ වර්ධනයට සහ ආරක්ෂාවට අවශ්‍ය සියලු ම පහසුකම් සැපයීමේ හැකියාව තිබෙනව. නමුත් දරු ගැබ ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙන අවස්ථා තිබෙනව. සෑම ගැබ් ගැනීම් 100කට එකක් පමණ මෙවැනි ගර්භාෂයෙන් පිටත පිහිටන අතර ඒවා Ectopic pregnancy ලෙස හඳුන්වනව. මෙවැනි ගර්භාෂයෙන් පිට පිහිටන දරු ගැබක් බොහෝ විට පැලෝපීය නාලයන් තුලයි තැන්පත් වෙන්නේ. නමුත් ඩිම්බ කෝෂ මතුපිට, උදර කුහරයේ බිත්ති මත හෝ වෙනත් අවයවයක් මත මෙවැනි දරු ගැබක් තැන්පත් වෙන අවස්ථා දක්නට ලැබෙනව. මෙම දරු ගැබකට සාමාන්‍ය දරුවෙකු ලෙස වැඩීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම ප්‍රතිකාර ක්‍රම හෝ ශල්‍යකර්ම මගින් මෙය නැවත ගර්භාෂය තුල තැන්පත් කිරීමට හැකියාවක් නැහැ. මෙම කලලය වර්ධනය වීමට උත්සාහ ගන්නා විට එයට පැලෝපීය නාලය තුල ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා පැලෝපීය නාලය පුපුරා එමගින් රුධිර වහනයක් ඇතිවිය හැකියි. මෙම රුධිරය උදර කුහරය ඇතුළතට එකතු වෙන නිසා පිටතට පෙනෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් මේ තත්වය හඳුනා ගෙන ශල්‍යකර්මයකට නොවුන හොත් අභ්‍යන්තර රුධිර වහනය නිසා මව මියයාමට පවා හැකියාවක් තිබෙනව. මෙවැනි ගැබ් ගැනීමක් හඳුනා ගන්න තිබෙන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මව ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල හෝ සමහර විට ගර්භණී බව දැන ගැනීමට පෙරදීම ඇති වන අධික වේදනාව. උදර කුහරය තුල රුධිර වහනයක් වන විට මවට අධික වේදනාවක් දැනෙනව. මෙම වේදනාව යටි බඩේ මෙන්ම සමහර විට දකුණු උරහිස මතද දැනෙන්නට පුළුවන්. ඒ සමග සමහර විට යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවෙන්න පුළුවන්. අභ්‍යන්තර රුධිර වහනයක් නිසා හදිසියේ ක්ලාන්ත වී ඇද වැටීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉතා ඉක්මනින් පහසුකම් සහිත රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි. එහි දී ගර්භණී බව කලින් තහවුරු කර නැතිනම් ඒ සඳහා මුත්‍රා පරීක්ෂාවක් සිදු කරනව. ඉන් පසු ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ පිහිටි ස්ථානය සොයා බලනව. මෙහි දී ගර්භාෂය තුල කලලයක් නැති බව, අභ්‍යන්තර රුධිර වහනය, පැලෝපීය නාල තුල හෝ වෙනත් ස්ථානයක පිහිටන කලලය වැනි ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙනව. මෙවැනි දරු ගැබක් මවගේ ජීවිතයට පවා හානි කර වෙන නිසා මේ සඳහා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු වෙනව. රුධිරයේ හෝමෝන මට්ටම, ස්කෑන් පරීක්ෂණ වාර්තා ආදිය සලකා බලා විශේෂඥ වෛද්‍ය වරයා මෙයට ප්‍රතිකාර කල හැකි සුදුසු ම ආකාරය පිලිබඳව ඔබට උපදෙස් ලබා දේවි. සමහර විට කලලය ගබ්සාවී ඇති නම් එය ඉබේම කුඩා වන නිසා ශල්‍යකර්මයකින් තොරව ප්‍රතිකාර කල හැකියි. සමහර විට කලලය ඉතා කුඩා නම් එය හැකිළීමට දිය හැකි ප්‍රබල පිළිකා නාශක ඖෂධයක් තිබෙනව. මේ සමග වරින් වර රුධිර හෝමෝන මට්ටම් පරීක්ෂා කර බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර ක්‍රමයන් 100%ක්ම සාර්ථක නොවන අවස්තා තිබෙනව. එවිට හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ශල්‍යකර්මයක් මගින් ගර්භාෂයෙන් පිටත පිහිටි දරු ගැබ ඉවත් කිරීම තමයි අනික ප්‍රතිකාර ක්‍රමය. බොහෝ විට මෙය සිදු කරනු ලැබුවේ සිසේරියන් සැත්කමක් කරන ආකාරයේ කැපුමක් යොදා ගනිමින්. නමුත් දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් ඉතා කුඩා කැපුම් තුනක් පමණක් යොදා විශාල කැළලක් ඇති නො වෙන ආකාරයට මෙම ශල්‍යකර්මය සිදු කිරීමට හැකියාව තිබෙනව. ඔබට මෙවැනි තත්වයක් ඇති බව හඳුනා ගතහොත් ඉක්මනින් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් ඇතිවිය හැකි හානිය අවම කර ගැනීමට හැකි වෙනව. Save..
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)
සාමාන්‍ය පිළිසිඳ ගැනීමක දී ඩිම්බ කෝෂ වලින් පිටවෙන ඩිම්බය පැලෝපීය නාලය තුල දී ශුක්‍රාණුවක් සමග එකතු වෙනව. මෙම සංසේචන ක්‍රියාවලියෙන් පසුව ඇතිවෙන යුක්තාණුව ගර්භාෂය තුලට ගමන් කර එහි තැන්පත් වෙනව. නමුත් විවිධ හේතු නිසා මෙලෙස සාමාන්‍ය සංසේචනයක් සිදු නොවී දරුඵල පමා වන යුවලකට දරු සම්පත් ලබා ගැනීමට උපකාර වන නවීන තාක්ෂණික ක්‍රමයක් තමයි IVF නැතිනම් නල දරු උපතක් කියල කියන්නේ. ලොව ප්‍රථම නල දරු උපත ලෙස 1978 ජුලි මස 25 වන දින එන්ගලන්තයේ මැන්චෙස්ටර් හිදී ලුවිස් බ්‍රවුන් නමැති දැරිය උපත ලැබුව. ඉන් පසු දස දහස් ගණනක් දරුවන් මෙම තාක්ෂණය මගින් මෙලොව එලිය දුටුව. සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් සාර්ථක ප්‍රතිඵල නැති වෙන විට මෙම ක්‍රමයට යොමු විය හැකියි. එක වරක් IVF ප්‍රතිකාරයට යොමු වීමෙන් දරු ඵල ලබා ගැනීමේ හැකියාව 35%ක් පමණ වෙනව. වයසත් සමග ඕනෑම කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙනව. ඒ වගේම IVF ක්‍රමයේ සාර්ථකත්වයත් වයස වැඩි වෙන විට ශීඝ්‍රයෙන් අඩු වෙනව. එම නිසා ඔබ IVF ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඉක්මනින් යොමු වුනොත් සාර්ථක ප්‍රතිළුලයකට ඇති හැකියාව වැඩියි. IVF ක්‍රියාවලියේ දී මුලින් ම සිදු කරන්නේ කාන්තාවට ඖෂධ ලබා දී ඇගේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කිරීම. ඉන් අනතුරුව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ වැඩි සංඛ්‍යාවක් එකවර මේරීමට ලක් කරනව. මේ සඳහා නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බකෝෂ උත්තේජනය කරනව. ඉන් අනතුරුව යෝනි මාර්ගය හරහා මෙම ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. මෙම ක්‍රියා වලිය සඳහා විශේෂ පහසුකම් ඇති විද්‍යාගාරයක් සහ පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනව. දැනට රජයේ රෝහල් වල IVF පහසුකම නැති නමුත් පුද්ගලික අංශයේ ආයතන විශාල සංඛ්‍යාවක මෙම සේවා සපයනව. ඒවායේ ගුණාත්මක භාවය නියාමනය කිරීමක් රජයෙන් සිදු වෙන්නේ නැහැ. එම නිසා ඔබ IVF ප්‍රතිකාරය සඳහා යොමු වන ආයතනයේ ඒ සඳහා ඇති පහසුකම් ගැන කලින් ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් අසා දැන ගන්න. Save Save..