කාන්තාවකගේ මාසික ඔසප්වීම සමග සුළු වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීම සාමාන්‍ය අත්දැකීමක්. නමුත් මෙහි දී අධික වේදනාවක් ඇතිවේ නම් එය සාමාන්‍ය නැහැ. මෙම වේදනාව නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වෙනව නම් හෝ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට සිදුවේ නම් මේ ගැන අවධානය යොමු කල යුතුයි. ඔසප් වීම සමග ඇතිවෙන වේදනාව dysmenorrhoea ලෙස වෛද්‍ය විද්‍යාත්මක ව හඳුන්වන අතර මෙහි ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව. පලමු ආකාරය primary dysmenorrhoea ලෙස හඳුන්වන්නෙ. ඔසප් වීම ආරම්භ වී වසර ගණනක් යන තෙක් සමහර විට ඔසප්වීම මේ වගේ වේදනාකාරී වෙන්න පුළුවන්. මෙවැනි දැරියන්ට වේදනාව ඇතිවෙන්නේ වෙනත් කිසිම රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ වගේම මෙම වේදනාව කාලයත් සමග අඩු වෙනව. නමුත් නිරෝගී ව සිටි කාන්තාවකට පසුව ඔසප්වීම වේදනාකාරී වුව හොත් එයට හේතුව බොහෝ විට ගර්භාෂය සම්බන්ධ අසාමාන්‍ය තත්වයක්. මෙය secondary dysmenorrhoea ලෙස හඳුන්වනව. මෙයට හේතු වෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩි (fibroids), ඇඩිනොමයොසිස් (adenomyosis), එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) වැනි ගර්භාෂය සම්බන්ධ රෝගී තත්වයන්.
ඔසප්වීමේදී ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය මසකට වරක් ගැලවී රුධිරය සමග ඉවත් වීම සිදුවෙනව. මෙම රුධිරය පිටතට පැමිණෙන්නේ ගැබ් ගෙල තුල පවතින ඉතා කුඩා විවරයක් තුලින්. සමහර විට ගැබ් ගෙල අවහිර වීම මෙහි දී වේදනාවක් ඇති කරන්න පුළුවන්. එමෙන්ම රුධිරය පිටතට පැමිණෙන විට ගර්භාෂය විටින් විට තද වීමකට ලක් වෙනව. මේ නිසයි වරින් වර ඔසප් වේදනාව වැඩි වෙන්නේ. මෙලෙස ගර්භාෂය ක්‍රියා කරන විට එහි ගෙඩියක් හෝ යම් කිසි අසාමාන්‍ය තත්වයක් තිබුණ හොත් ඔසප්වීමේදී අධික වේදනාවක් ඇති කරන්න එය හේතු වෙනව.
නව යොවුන් දැරියකගේ ඔසප් වීම වේදනාකාරී නිසා ඇයට එදිනෙදා වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වේ නම් ප්‍රතිකාර මගින් මෙය පාලනය කල හැකියි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි වේදනා නාශක වර්ග සහ හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් මෙම වේදනාවෙන් මිදීමට හැකියාව තිබෙනව.
වැඩිහිටි කාන්තාවකගේ ඔසප්වීම වේදනාකාරී වුවහොත් මීට හේතු වන රෝග තත්වයක් ඇති දැයි සොයා බැලිය යුතුයි. මේ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම බොහෝ විට අවශ්‍ය වෙනව. එහි දී යම් රෝගී තත්වයක් හඳුනා ගත හොත් එයට ප්‍රතිකාර කිරීමෙන් මෙම වේදනාව සමනය කර ගත හැකියි.
පරීක්ෂණ මගින් සොයා ගත හැකි හේතුවක් නැති අවස්ථාවල දී වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි වේදනා නාශක ඖෂධයක් ඔසප්වීම පවතින කාල සීමාව තුල ගැනීම කල හැකියි. මෙහි දී බොහෝ විට නිර්දේශ කරන්නේ නම් non-steroidal anti-inflammatory drugs (NSAIDs) කාණ්ඩයට අයත් වන mefenamic acid වැනි ඖෂධයක්. මෙම ඖෂධ දිගටම ගැනීම සුදුසු නැති අතර වේදනාව ඇති දින 5-7ත් අතර කාලයක් ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙය ලබා ගැනීමෙන් වේදනාවෙන් සහනයක් ලැබෙනව. නමුත් නැවත නැවත ඔසප් වීමත් සමග ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනව.
ගර්භාෂයේ රෝග තත්වයක් ඇති කාන්තාවන් වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවිය යුතුයි. ෆයිබ්‍රොයිඩ් ගෙඩි හෝ ඇඩිනොමයෝසිස් තත්වය නිසා ඇතිවෙන වේදනාව ඖෂධ ප්‍රතිකාර මගින් පාලනය කල හැකියි. ඒ වගේ ම හෝමෝන ප්‍රතිකාර ක්‍රම මගින් මේ තත්වයන් පාලනය කර කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනව. නමුත් ශල්‍ය කර්මයක් මගින් මෙය ඉවත් කිරීම තමයි ස්ථිර වම සුවය ලැබිය හැකි ක්‍රමය. දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් විශාල කැපුම් වලින් තොරව හානිය අවම වන ආකාරයට මෙම ශල්‍යකර්ම කිරීමේ හැකියාව තිබෙනව. එවැනි ශල්‍ය කර්මයක් අවශ්‍ය වුවහොත් ලැපරොස්කොපි ශල්‍යකර්ම පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON