ඩෙංගු වගේ මදුරුවන්ගෙන් බෝවෙන සිකා වෛරස රෝගය මවු කුස තුල සිටින දරුවන්ට හානිකරන හැටි.

ඩෙංගු වගේ මදුරුවන්ගෙන් බෝවෙන සිකා වෛරස රෝගය මවු කුස තුල සිටින දරුවන්ට හානිකරන හැටි.

මේ දවස්වල ලෝකයේ රටවල් ගණනාවක වසංගතයක් ලෙස පැතිර තිබෙන සිකා වෛරස ආසාදනය ගැන ඔබ අසා ඇති. ඇත්තටම මෙය දරුණු රෝග තත්වයක් ද? ගැබිනි මවකට හෝ ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට මේ රෝගය වැලඳුනොත් මොකද වෙන්නේ? මේ ගැන දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ.

සිකා වෛරසය ආසාදනය කියන්නේ ඩෙංගු උණ වගේ වෛරසයක් මගින් බෝ වෙන උණ රෝගයක්. මෙම වෛරසය ශරීර ගතවී දින කිහිපයක් ගත වෙනව රෝග ලක්ෂණ ඇතිවෙන්න. ඒ වගේම සමහර විට මින් කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. උණ, හන්දිපත් වේදනාව වැනි ඩෙංගු උණ රෝගයේ ඇතිවෙන රෝග ලක්ෂණ තමයි මෙයිනුත් ඇති වෙන්නේ. ඒ වගේම මේ රෝගය බෝ වෙන්නේ ඊඩිස් ගණයේ මදුරුවෙකු මගින්. ඊට අමතරව රෝගය ඇති පිරිමි කෙනෙක් සමග ලිංගික සංසර්ගයේ යෙදීමෙන් කාන්තාවකට මෙම රෝගය බෝවිය හැකියි.

ගර්භණී මීයන්ට මෙම වෛරසය ආසාදනය කර කරන ලද පරීක්ෂණයක දී කුස තුල සිටින පැටවුන්ට ඉන් දරුණු සංකූලතා ඇති කරන බව සොයා ගෙන තිබෙනව. ඒ නිසා ඔබ ගර්භණී වීමට අපේක්ෂා වෙන් සිටී නම් මේ රෝගය ඇති රටවලට ගමන් කිරීමෙන් වැළකීම වැදගත්. බ්‍රසීලය, කොලොම්බියාව, දකුණු සහ මධ්‍යම ඇමරිකානු රටවල්, කැරිබියන් දූපත් පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් මේ රෝගය සඳහා අවදානම් රටවල් ලෙස සලකනව. දැනට මෙම රෝගය ලංකාවෙන් වාර්තාවී නැහැ. නමුත් මෙය පැතිරවිය හැකි මදුරුවන් ලංකාවේ සිටින නිසා රෝගය ලංකාවට පැතිරුනොත් එය පාලනය කිරීම තරමක් අපහසු වෙනව. රෝගයෙන් බේරී සිටීමට නම් දැනට රෝගය ඇති රටවලට යෑමෙන් වැළකීම සහ මදුරුවන් බෝවීම අවම කිරීම වැදගත් වෙනව. ඒ වගේම මදුරු දෂ්ට වළක්වා ගන්න ක්‍රියා කිරීමත් සුදුසුයි.

ගර්භණී මවකට මේ රෝගය ඇති වුන හොත් ඉන් ඇයට දරුණු සංකූලතා ඇති වෙන්නේ නැහැ. නමුත් වැදෑමහ හරහා කුස තුල සිටින දරුවාට මේ රෝගය පැතිරීමට අවදානමක් තිබෙනව. ඒ වගේ අවස්ථාවක දරුවාට දරුණු සංකූලතා ඇතිවෙනව. ගබ්සා වීම, දරුවාගේ මොළය වැඩීම අඩපනවී හිස කුඩා වීම (Microcephaly) වැනි තත්ව මේ රෝගය නිසා වාර්තාවී තිබෙනව. Microcephaly කියන තත්වය ඇති වන දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු නිසා සාමාන්‍ය දරුවෙකු වගේ මානසික වර්ධනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ වගේම ඔවුන්ට අපස්මාරය වැනි ස්නායු ආබාධ ඇතිවීමටත් ඉඩකඩ වැඩියි. මේ තත්වය ගර්භණී කාලයේ ස්කෑන් පරීක්ෂණ මගින් සොයා ගැනීමට හැකියාව තිබෙනව.

zika1

මෙම රෝගයට බෙහෙතක් හෝ එන්නතක් දැනට සොයා ගෙන නැහැ. රෝගය ඇති වුව හොත් පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කිරීම සහ විවේක ගැනීම තමයි කල යුතු ප්‍රතිකාර වෙන්නේ.

ගර්භණී මවක් අවදානම් රටක සිට ලංකාවට පැමිණිය හොත් පැමිණ දින 5ක් ඇතුලත රජයේ රෝහලකට ගොස් මේ තත්වයට අවදානමක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න පුළුවන්. මේ සඳහා පරීක්ෂණ පහසුකම් දැනට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබෙනව.

Save
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON