නිවුන් දරු උපතකට සූදානම් වෙන මවකට උපදෙස්.

ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්. තම කුස තුල නිවුන් දරුවන් සිටින බව දැන ගැනීම මේ සතුට දෙගුණ තෙගුණ කරන අවස්ථාවක්. නමුත් ඒ සමගම ඇතිවිය හැකි සංකූලතා ගැන බියකුත් ගැබිනි මවට ඇති වෙන්න පුළුවන්. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාවක ගැබිනි මවක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනාවාද? මේ ගැන විස්තර මේ ලිපියේ දැක්වෙනව.

සාමාන්‍යයෙන් එක් වරකට කාන්තාවක් පිට කරන්නෙ එක් ඩිම්බයක් පමණයි. එම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක් වීමෙන් කලලයක් බිහිවෙනව. සමහර අවස්තා වලදී එක ඩිම්බයකට වඩා එක් වර පිටවෙන්න පුළුවන්. එවිට ඩිම්බ දෙකක් එකවර සංසේචනයට ලක් වී කලල දෙකක් ඇති වෙන්න හැකියාව තිබෙනව. නිවුන් දරුවන් ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ මෙයයි. නමුත් සමහර අවස්ථාවල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වී සෑදෙන කලලය මූලික අවස්ථාවේදීම දෙකට බෙදී කලල දෙකක් ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නව. ඒ නිසා ස්වරූපයෙන් එක සමාන නිවුන් දරුවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවුන් දරුවන්ගෙන් 1/3ක් මෙවැනි එක සමාන ස්වරූපය තිබෙන නිවුන් දරුවන්.

මෑත කාලයේ දී නිවුන් දරු උපත් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනව. මදසරු බවට ලබා ගන්න ප්‍රතිකාර ඇතුළු විවිධ හේතු මෙයට බලපානව.

කොහොමද ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටින බව දැන ගන්නෙ? නිවුන් දරුවන් සිටින විට උදරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙනව. පවුලේ නිවුන් දරුවන් සිටී නම් ඔබටත් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව තරමක් වැඩියි. ඒ වගේම ඔබ මදසරුබවට ප්‍රතිකාර ලබා ගත්තේ නම් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව වැඩියි.

සති 8 -14 අතර කාලයේ දී සිදු කරන පලමු ස්කෑන් පරීක්ෂණයෙන් ම ඔබට නිවුන් දරුවන් සිටින බව හඳුනා ගන්න හැකියාව තිබෙනව. මෙම ස්කෑන් පරීක්ෂණයේ වැදෑමහ සහ පටල පිහිටා ඇති ආකාරය අනුව නිවුන් දරුවන් එක සමාන ස්වරූපයේ නිවුන් දරුවන් ද යන බව සැක කිරීමට හැකියාව තිබෙනව.

නිවුන් දරුවන් සිටින මවක් සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩි වාර ගණනක් සායන වලට සහභාගි විය යුතු වෙනව. ගර්භණී කාලයේ ඇතිවිය හැකි දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතා සඳහා වැඩි අවදානමක් තිබෙන නිසා මෙලෙස පරීක්ෂාවට ලක් වීම වැදගත්. ඒ සමගම ඇයට වැඩි ස්කෑන් පරීක්ෂණ සංඛ්‍යාවකටත් භාජනය වීමට සිදු වෙනව. එහිදී දරුවන්ගේ වර්ධනය සාමාන්‍ය දැයි සොයා බලනව.

නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මවකට සාමාන්‍ය ගර්භණී ලක්ෂණ වැඩිපුර දැනෙන්න පුළුවන්. මුල් කාලයේ ඇති වෙන වමනය, ඕක්කාරය වගේම පසු කාලීන ව ඇතිවෙන වේදනාවන්, අපහසුතාවයන් මෙම මව්වරුන්ට වැඩිපුර ඇති වෙනව.

නිවුන් දරුවන් නියමිත සති ගණනට කලින් බිහි වීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ නිසා උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඇතිවුනොත් ඉක්මනින් රෝහල් ගත වීමට අවශ්‍යයි. නිවුන් දරු ප්‍රසූතිය සාමාන්‍ය ලෙස සිදු කරන්න හැකියාව තිබෙනව. නමුත් කලාතුරකින් නිවුන් දරුවන් සිටින ආකාරය අනුව සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු කිරීමට අපහසු විය හැකියි. ඒ වගේ අවස්ථාවල දී සිසේරියන් සැත්කමකින් දරුවන් බිහි කිරීමට සිදු වෙනව. පසු ප්‍රසව රුධිර වහනය වැනි සංකූලතා සඳහා අවදානම තරමක් වැඩි නිසා දරු ප්‍රසූතියෙන් පසුවත් මවට විශේෂ රැකවරණයක් අවශ්‍ය වෙනව.

   
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON