අධික රුධිර පීඩනය ගර්භණී මවකට බලපාන අයුරු. High blood pressure in pregnancy.

ගර්භණී මවු වරුන් ගෙන් 8% කගේ පමණ රුධිර පීඩනය ඉහල යාම දක්නට ලැබෙනවා. අධික රුධිර පීඩනය මූලික අවස්ථාවේ දී කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. එම නිසා බොහෝ දෙනෙක් මේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. නමුත් මෙය preeclampsia ලෙස හඳුන්වන දරුණු තත්වය දක්වා වර්ධනය වීමට සහ සංකූලතා ඇතිවීමට ඉඩ ඇති නිසා මෙය කිසිසේත්ම සුළු කොට තැකිය හැකි රෝගී තත්වයක් නෙමයි.

ලංකාවෙ සෑම පූර්ව ප්‍රසව සායන වාරයක දීම අනිවාර්යයෙන් ගර්භණී මවගේ රුධිර පීඩනය පරීක්ෂා කර බලනව. එමගින් පමණයි මෙම තත්වය හඳුනා ගත හැකි වන්නේ. ගර්භණී මවකට ඇති වන අධික රුධිර පීඩනයෙහි ප්‍රධාන වර්ග 3ක් තිබෙනවා.

1. පෙර සිට පැවති රුධිර පීඩනය.

ගැබ් ගැනීමට පෙර සිට මවට රුධිර පීඩනය තිබුණ නමුත් මෙය ගර්භණී සමයේ දී පලමු වරට හඳුනා ගන්නා අවස්ථාවක්. මෙම තත්වය ඇයගේ ජීවිත කාලය පුරාම ඉදිරියට පවතිනවා. සමහර විට දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කිරීමට සිදුවනව.

2. ගර්භණී සමයේ දී ඇතිවෙන රුධිර පීඩනය

ප්‍රථම වරට ගර්භණී සමයේ දී අධික රුධිර පීඩනය ඇති වීම මෙලෙස හඳුන්වනවා. මෙම තත්වය දරු ප්‍රසූතියෙන් පසුව සාමාන්‍ය අතට හැරෙනවා. නමුත් ගර්භණී සමයේ දී රුධිර පීඩනය පාලනය කිරීමට ඖෂධ අවශ්‍ය වන්න පුළුවන්.

 3. ගර්භණී සමයේ ඇතිවෙන දරණු රුධිර පීඩනය (ගර්භ විෂ රෝගය - preeclampsia)

අධික රුධිර පීඩනය සමග මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වීම (proteinuria) මෙහි මූලික ලක්ෂණයි. මෙම රෝගී තත්වය සංකූලතා බොහොමයක් ඇති කරන්න හේතු වෙනව. එම නිසා නිතර රුධිර පීඩනය සහ මුත්‍රා පරීක්ෂා කරවා ගැනීම වැදගත්.

ගර්භණී මවකට අධික රුධිර පීඩනය ඇති බව හඳුනා ගත් පසු වෛද්‍ය වරුන් විසින් මූලික රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනව. එමෙන්ම දරුවාගේ වර්ධනය පිළිබඳ ව සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයකුත් සිදු කරනව.

Pre eclampsia තත්වය ඇතිවීමට අවදානම් සාධක වන්නේ

1. පලමු ගර්භණී සමය හෝ පෙර දරු ප්‍රසූතියෙන් වසර දහයකට වඩා පසු ගැබ් ගැනීම

2. වයස අවුරුදු 40ට වැඩි වීම

3. ස්ථූලතාවය (ශරීර ස්කන්ධ දර්ශකය 35ට වැඩි වීම)

4. නිවුන් දරුවන්

5. දියවැඩියාව වැනි රෝගී තත්ව

6. කලින් ගර්භණී සමයේ අධික රුධිර පීඩනය

අධික රුධිර පීඩනයට ඇති මවකගේ වැදෑමහ ගර්භාෂය තුල නිසි ලෙස වර්ධනය වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ වැදෑමහ තුල ඇති රුධිර වාහිනි නිසි ලෙස විස්තාරනය නොවීම. එවිට වැදෑමහ තුලින් නිපදවෙන රසායනික නිසා මවගේ රුධිර වාහිනි හැකිළීමකට ලක් වෙනවා. එය රුධිර පීඩනය වැඩි වීමට හේතුවක්. ඊට අමතරව මෙම රසායනික ශරීරයේ විවිධ අවයවයන් බලපාව. එය වකුගඩු වලට බල පාන විට මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදුවනවා. අක්මාවට බලපාන විට රුධිරයේ අක්මාවෙන් නිපදවන එන්සයිම ප්‍රමාණය වැඩි වනවා. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීමටත් මෙය හේතු වෙනව. මෙම තත්වය දරුණු වන විට මොළයටත් බලපෑම් ඇති කරනව. එමගින් හිසරදය, ඇස් පෙනීමේ අසාමාන්‍යතා වගේම Eclampsia ලෙස හඳුන්වන වලිප්පු තත්වය පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනි වලින් පිටත තරල එක් රැස් වීම නිසා ශරීරය ඉදිමීමක් දක්නට ලැබෙනව. බහුලව ම ඉදිමීම සිදු වන්නේ දෙපා, වලලුකර, අත් සහ මුහුණ ආශ්‍රිතව.

රුධිර පීඩන සමග ඇස් පෙනීමේ වෙනසක්, අධික හිසරදයක් හෝ බඩේ දකුණු පස ඇති වන වේදනාවක් ඇති වීම දරුණු සංකූලතාවයක ලක්ෂණ විය හැකි නිසා එවැනි තත්වයක් ඇති වුවහොත් වහාම රෝහල් ගත වීම අත්‍යාවශ්‍යයි.

රුධිර පීඩනය අඩු කරන ඖෂධ වර්ග බොහොමයක් තිබෙනවා. මින් කිහිපයක් පමණයි ගර්භණී මවකට පාවිච්චියට සුදුසු වන්නෙ. ඔබේ වෛද්‍ය වරයා සුදුසු ඖෂධයක් නිර්දේශ කල හොත් එය නිති පතා නියමිත කාලයට ගැනීම ඉතා වැදගත්. එමෙන්ම රුධිර පීඩනය සහ මුත්‍රා වරින් වර පරීක්ෂා කරවා ගත යුතුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON