බොහෝ මවු වරු ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල දීම ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනව. මොකක්ද මේ ස්කෑන් පරීක්ෂණය කියන්නෙ? මෙය අත්‍යවශ්‍යද? ඉන් දරුවාට හානි වෙන්න පුළුවන්ද? මේ ගැන විස්තර දැන ගනිමු.
ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නෙ අල්ට්‍රා සවුන්ඩ් නැති නම් අති ධ්වනි තරංග භාවිතා කරල. මෙහි දී භාවිතාවෙන තරංග අපි කතා කරන විට පිටවෙන ශබ්ද තරංග වලට සමාන තරංග වර්ගයක්. ස්කෑන් යන්ත්‍රය මගින් පිටවෙන මෙම තරංග ශරීරයේ විවිධ කොටස් වල සහ දරුවාගේ වැදී පරාවර්තනය වී නැවත ස්කෑන් යන්ත්‍රය වෙත පැමිණෙනව. මෙම තරංග යොදා ගෙන පැහැදිලි රූපයක් නිර්මාණය කරන්න ස්කෑන් යන්ත්‍රයට හැකියාව තිබෙනව. මේ නිසා දරුවාට හෝ මවට කිසිම හානියක් වෙන්නෙ නැහැ.
මුල් සති කිහිපය තුල ඩොප්ලර් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම සුදුසු නැහැ. ඊට හේතුව සත්ව කලල යොදා ගෙන සිදු කර ඇති පරීක්ෂණ වලදී ඩොප්ලර් තරංග වලට දීර්ඝ කාලයක් නිරාවරනය වූ කලලයන්ට අහිතකර බලපෑම් ඇතිවන බව සොයා ගෙන තිබෙන නිසයි. නමුත් සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම නිසා කිසිදු අහිතකර බලපෑමක් ඇති වෙනව බව වාර්තා වී නැහැ.
සාමාන්‍යයෙන් ගර්භණී බව තහවුරු කර ගන්නෙ මුත්‍රා පරීක්ෂණයක් මගින්. මවගේ ඔසප් චක්‍රය ක්‍රමානුකූල නම් සහ මවට කිසිම රෝග ලක්ෂණයක් (උදා. උදරයේ වේදනාව) නොමැති නම් ස්කෑන් පරීක්ෂණයක් ඒ අවස්ථාවේ අවශ්‍ය වෙන්නෙ නැහැ. මුල් සති කිහිපයක තුල සිදු කරන ස්කෑන් පරීක්ෂණයකට දරු ගැබ පැහැදිලිව බලා ගන්න අපහසුයි. සමහර විට ගර්භාෂය තුල දරුවා වැඩෙන වතුර බුබුල (water bag) පමණක් මෙහි දී හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා දරු ගැබට සති 7ක් පමණ වෙන තෙක් කිසිම සංකූලතාවයක් නොමැති මවකට ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නැහැ.
ඉන් පසු සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් මගින් දරු ගැබ සජීවී බව තහවුරු කර ගන්න පුළුවන්. ඒ වගේම දරු ගැබ සාමාන්‍ය පරිදි ගර්භාෂය තුල පිහිටා ඇති දැයි දැන ගන්නත් මෙම ස්කෑන් පරීක්ෂණයේදි හැකියාව ලැබෙනව. කලාතුරකින් ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටන්න පුළුවන් නිසා එවැනි තත්වයන් හඳුනා ගන්න මෙම පරීක්ෂණය වැදගත් වෙනව. නිවුන් දරුවන්, ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂ වල ඇති අසාමාන්‍ය තත්වයන් වගේම දරු ගැබේ සමහර අසාමාන්‍ය තත්වයනුත් මුල් සති 10 තුල සිදු කරන ස්කෑන් පරීක්ෂණයකින් හඳුනා ගන්න පුළුවන්. දරුවාගේ ප්‍රමාණය මැන බැලීමක් මෙම ස්කෑන් පරීක්ෂණයේ දී සිදු වෙනව. එම ප්‍රමාණයට අනුකූලව දරු ගැබේ වයස ඉතා නිවැරදිව අනුමාන කරන්න දැන් පුළුවන්. ඒ නිසා මුල් ස්කෑන් පරික්ෂණයේදී දරු ගැබේ වයස මවගේ ඔසප්වූ දිනයට අනුව ගණනය කල වයසට වඩා වෙනස් නම් වඩාත් නිවැරදි වන්නේ ස්කෑන් පරීක්ෂණය මගින් නීර්ණය කරන වයසයි. ඒ අනුව බබා ලැබෙන දිනය තීරණය කරන්න පුළුවන්.
සති 11ත් 14ත් අතර කාලයේ සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් දරු ගැබේ වයස තීරණය කරන්න වඩා නිවැරදි ලෙස සලකනව. ඒ නිසා කලින් ස්කෑන් පරීක්ෂණයක් සිදු නො කලත් සියළුම ගර්භණී මවු වරු සති 12 – 14 අතර කාලයේ ස්කෑන් පරීක්ෂණයක් වෙත යොමු වීම ඉතා වැදගත්. නවීන ස්කෑන් යන්ත්‍රයක් යොදා ගෙන පළපුරුදු වෛද්‍ය වරයෙකු මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කල යුතු අතර නිවැරදිව සියලු තොරතුරු දැන ගැනීමට විනාඩි 15 – 30ත් අතර කාලයක් ගත වෙනව. එහිදී පහත කරුණු දැන ගන්න පුළුවන්.
මේ සඳහා නියමිත කාල සීමාව තුලම විස්තරාත්මක ස්කෑන් පරීක්ෂාවකට යොමු වීම වැදගත් වෙනව. ඉන් පසුව සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් මගින් සමහර තොරතුරු නිවැරදිව ම සොයා බලන්න හැකියාව නැහැ.
දරු ගැබට සති 20ක් පමණ වෙන විට දරුවාගේ සියලු අවයව ආශ්‍රිතව ඇති ආසාමාන්‍යතාවයන් සොයා බැලීමට ඇනෝමලි ස්කෑන් පරීක්ෂණයක් සාමාන්‍යයෙන් සිදු කරනව. නමුත් ඊට පෙර සති 11 -14 අතර කරන පරීක්ෂණයේ දී බහුලව දැකිය හැකි අසාමාන්‍යතාවයන් බොහොමයක් සොයා ගැනීමට දැන හැකියාව තිබෙනව
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON