ගැබිනි මවක් වහාම රෝහල් ගත විය යුතු අවදානම් ලක්ෂණ 5ක්

ගැබිනි මවක් වහාම රෝහල් ගත විය යුතු අවදානම් ලක්ෂණ 5ක්

දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගැබිනි මවකට හදිසියේ රෝහල් ගත විය යුතු අවස්තා ඇති වෙනව. මොනවද මේ අවදානම් ලක්ෂණ කියල කලින් දැන ගෙන සිටියොත් මේ වගේ අවස්තාවකදී මවටත් දරු ගැබටත් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් සලකා බලන්නේ ගැබිනි මවකට හදිසියේ ම රෝහල් ගත වෙන්න සිදු වෙන අවදානම් ලක්ෂණ 5ක් පිළිබඳ වයි.

  1. ප්‍රසූත වේදනාවන් ඇති වීම

ගර්භණී කාලයේ වරින් වර උදරයේ සහ කොන්දේ වේදනාවන් ඇති වීම සුලබ ලක්ෂණයක්. නමුත් දරු ප්‍රසූතිය ආසන්න වෙන විට මව ප්‍රසූත වේදනා පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතු වෙනව. වරින් වර ඇති වෙන තද වේදනාවක් උදරයේ සහ පිට කොන්ද ආශ්‍රිතව මවට දැනෙයි නම් මෙය ප්‍රසූත වේදනාවල මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වෙන්නෙ වේදනාව එක දිගටම නො පැවතීමයි. වේදනාවක් ඇති වී එය පහව ගොස් නැවත වේදනාවක් ඇතිවෙන තෙක් මවට පහසුවෙන් සිටීමට හැකියාව තිබෙනව. මෙවැනි වේදනාවන් විනාඩි 5කට වරක් පමණ ඇති වේ නම් රෝහලට ඉක්මනින් ගොස් පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. ප්‍රසූත වේදනාවන් විනාඩි 2-3කට වරක් ඇති වෙන විට ඇය සූතිකාගාරයට ඇතුළු කිරීමට සිදු විය හැකියි.

  1. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම

දරු ප්‍රසූතිය ආසන්න වෙන විට ගැබ් ගෙල විවෘත වීමක් සිදු වෙනව. එවිට ගැබ් ගෙල වසා තිබෙන ශ්ලේෂ්මල රුධිරය සමග පිටවීමක් සිදුවෙනව. මෙය යෝනි මාර්ගය තුලින් රුධිරය මුසු ශ්ලේෂ්මල ස්‍රාවයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙයත් දරු ප්‍රසූතිය ආසන්න බව හඳුනා ගන්න තවත් ලක්ෂණයක්. එවැනි තත්වයක දී ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගන්න.

  1. ගර්භ තරලය පිටතට පැමිණීම

Water bag එක කැඩීම ලෙස හඳුන්වන්නේ මේ තත්වයයි. ගර්භාෂය තුල දරුවා සිටින්නේ ගර්භ තරලය තුල කිමිදී. මෙම තරලය පිටතට පැමිණීම වැළැක්වීමට කලලාවාරික පටල (water bag) තිබෙනව. මෙය බිඳී යාමක් සිදුවුව හොත් යෝනි මාර්ගයෙන් වතුර වැනි තරලයක් පිටවීම හඳුනා ගත හැකියි. මෙය ඉතා අවදානම් තත්වයක් විය හැකි වෙන්නේ ඒ සමග දරුවාගේ පෙකණි වැල පිටතට පැමිණිය හැකි නිසා. ඒ වගේම තරලය අඩු වීමට නිසා ගර්භාෂය තුල දරුවාට ආරක්ෂාව අඩු වීමත්, යෝනි මාර්ගය හරහා දරු ගැබට සහ ගර්භාෂයට විෂබීජ ඇතුළු වීමත් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙම ලක්ෂණ හඳුනා ගත් වහාම රෝහල් ගත වීම වැදගත් වෙනව.

  1. දරුවාගේ දැඟලීම අඩු වීම

මවකට දරුවා කුස තුල නිරෝගී ව සිටී දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමය දරුවාගේ දැඟලීම ගැන අවධානයෙන් සිටීමයි. බබා දැඟලීම එක් එක් මවට දැනෙන ආකාරය වෙනස්. ඒ වගේම එක් එක් දරුවා දඟලන වාර ගණන සහ රටාව එකිනෙකාට වෙනස්. නමුත් මවකට තමාගේ දරුවා දඟලන සුපුරුදු රටාව ගැන අවබෝධයක් තිබෙනව. මෙහි අඩු වීමක් ඇති වුව හොත් ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව.

  1. රුධිර වහනය

ගැබ් ගෙල විවෘත වීම දී ශ්ලේෂ්මල සමග සුළු රුධිර වහනයක් වීම සාමාන්‍ය ප්‍රසූතිය ආසන්න වෙන විට දක්නට ලැබෙනව. නමුත් යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. වැදෑමහ ගර්භාෂයෙන් වෙන් වීම හෝ වැදෑමහ අසාමාන්‍ය ලෙස පහතින් පිහිටීම නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව.

ඉහත සඳහන් කලේ දරු ප්‍රසූතිය ආසන්න ව රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ගැබිනි මවක් හදිසියේ ම රෝහලට ගෙන යාමට සිදු වෙන අවදානම් ලක්ෂණ කිහිපයක්. මීට අමතරව ඇයට ඇති වෙන වෙනත් ඕනෑම රෝග ලක්ෂණයක් සුළුවෙන් සැලකිය යුතු නැහැ. එවැනි අවස්තා වලදී රෝග ලක්ෂණ අනුව ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම සිදු කරන්න.

   
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON