Skip to main content

පැප් පරීක්ෂණය (Pap Smear) යනු කුමක් ද?

Published 31,205 views
  • Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය යනු කුමක් ද?
  •  එම පරීක්‍ෂණයේ ප්‍රථිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න මෙම  ලිපියෙන් පැහැදිලි කෙරෙනු ඇත.
pap පරීක්ෂණය සිදු කරන්නේ ඇයි?

ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි.මෙම වෛරසය ජනගහනයේ  60% පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසැදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම ,නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා  වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ.

පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage)  හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනා ගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය.

pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද?

වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල  බෙදීමේ වේගය වැඩි කරයි.එය පිළිකා පූර්ව  තත්වයක් (Pre-Cancer)   ලෙස හැදින්වේ. ගැබ්ගෙල පුර්ව පිළිකා තත්වය මුලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.

විවිධ රටවල මධ්‍න්‍ය වයසක් මේ සදහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙසද හදුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ .

පැප් පරීක්ෂණය සිදුකරන ආකාරය

 මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති  උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුලු කර ,ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ .මේවා අන්වීක්ෂයෙන් පසුව පරික්ෂා කෙරේ. මෙම  සෛල වර්ණ ගන්වන ක්‍රම (staining)  දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැදින්වේ. නවතම  Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ.

පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක් ද ?

  • මෙහි ප්‍රථිපල සති 3 කින් පමණ ලැබේ .
  • එය සාමාන්‍ය නම් නැවත අවු 3කින් කිරීම ප්‍රමාණවත් වේ .
  • එහි යම් කිසි ගැටළුවක් ඇත් නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු වෙත යොමු  විය යුතුය.
  • ගැබ්ගෙල සෛල වල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කල හැකිය.
  • අසමාන්‍යතාව තීව්‍ර නම් colposcopy පරීක්ෂණයට යොමු  විය යුතුය.

ලිපිය ලියූ වෛද්‍යවරයා

Dr. Sarada Kannangara

Dr. Sarada Kannangara

MBBS, MD (Obs & Gyn)<br/>

මෙම ලිපිය බෙදාගන්න