දරු ගැබක් නැතුවත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන Molar pregnancy තත්වය.
දරු පිළිසිඳ ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින කාන්තාවකට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීම සමග ඇතිවෙන සියලු බලාපොරොත්තු ස්කෑන් පරීක්ෂණයත් සමග බිඳ වැටෙන්න පුළුවන්ද? සෑම ගැබ් ගැනීම 1000කට 1ක් මෙවැනි අවාසනාවන්ත තත්වයක් වෙන්න පුළුවන්. Gestational Trophoblastic Disease නැතිනම් Molar Pregnancy කියල හඳුන්වන තත්වය ගැනයි මේ ලිපිය වෙන් වෙන්නෙ. සාමාන්‍යයෙන් දරු ගැබට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය ලබා දෙන්නෙ වැදෑමහ හරහායි. මේ තත්වයට හේතු වෙන්නෙ වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක්.
මේ වගේ තත්වයක් ඇති වෙන ආකාරය තරමක් සංකීර්ණයි. සාමාන්‍යයෙන් දරු ගැබක් හට ගන්නෙ එක ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එක් වීමෙන්. මෙම සෛල දෙකේ අඩංගු ජාන එකට එක්වී හට ගන්නා කලලයේ ජාන සංයුතිය සැකසෙන්නෙ. නමුත් අසාමාන්‍ය ජාන සංයුතියක් ඇති වෙන ලෙස සංසේචනය සිදුවී Molar Pregnancy එකක් ඇති විය හැකියි. Molar Pregnancy ප්‍රධාන වර්ග දෙකක් තිබෙනව.
- Complete Molar Pregnancy
මෙහි දී වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීම දක්නට ලැබෙන අතර දරු ගැබක් ඇති වෙන්නෙ නැහැ. මෙයට හේතු වෙන්නෙ හිස් ඩිම්බයක් (ජාන රහිත) ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමයි.
- Partial Molar Pregnancy
මෙහි දීත් වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන නමුත් ඊට අමතරව අසාමාන්‍ය දරු ගැබකුත් ඇති වෙනව. මෙම කලලයේ අසාමාන්‍ය තාවයන් නිසා සාමාන්‍ය දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. මේ තත්වයට හේතු වෙන්නෙ ඩිම්බයක් එක වර ශුක්‍රාණු දෙකක් සමග එක්ව සංසේචනය වීමයි.
මෙවැනි තත්වයන් ඇති වෙන්න බලපාන අවදානම් සාධක කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.
- කාන්තාවගේ වයස (වයස 35ට වැඩි වීම සහ 20 අඩු වීම)
- කලින් Molar Pregnancy ඇතිවී තිබීම
- කලින් ගබ්සා වීම් සිදුව තිබීම
- ජානමය බලපෑම. ආසියාතික කාන්තාවන්ට මේ තත්වයට ඇති අවදානම තරමක් වැඩියි.
Molar Pregnancy එකක් නිසා බොහෝ විට රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ පලමු ස්කෑන් පරීක්ෂණයේ දී දරු ගැබක් නො පෙනීම සහ අසාමාන්‍ය ලෙස වැදෑමහ වර්ධනය වීම සොයා ගැනීමෙන්. ස්කෑන් පරීක්ෂණයක් සිදු නො කරන අවස්තාවකදී සති 12ක් පමණ වෙන විට ගර්භණී ලක්ෂණ අධික ලෙස දැනීම (උදා. වමනය, ඕක්කාරය), යෝනි මාර්ගයෙන් රුධිර වහනය වැනි ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
දරු ගැබක් වර්ධනය වීම සිදු නොවෙන නිසා සහ සංකූලතාවයන් ඇති විය හැකි නිසා මෙම තත්වය ඉතා ඉක්මනින් ඉවත් කල යුතු වෙනව. සුළු ශල්‍යකර්මයක් මගින් Molar Pregnancy එක සම්පූර්ණයෙන් ගැබ් ගෙල හරහා ඉවත් කිරීම තමයි මෙයට ඇති ප්‍රතිකාරය. මේ සඳහා සිහි නැති කිරීමට අවශ්‍ය වෙනව. කලාතුරකින් මේ අවස්තාවේදී අධික රුධිර වහනයක් වැනි සංකූලතා ඇතිවීමට ඉඩ තිබෙනව.
ඉවත් කිරීමෙන් පසු ගර්භාෂය තුල ඉතිරි වෙන සෛල කොටස් ඉබේම හැකිළී යනව. කලාතුරකින් මෙම සෛල පිළිකාවක් ලෙස හැසිරීමට ඉඩක් තිබෙනව. ඒ නිසා මෙය වරින් වර HCG හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම මගින් සොයා බැලීමට අවශ්‍යයි. HCG හෝමෝන මට්ටම සාමාන්‍ය වීමට කල් ගත වේ නම් මේ සඳහා වැඩි දුර ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
හෝමෝන මට්ටම සාමාන්‍ය වී ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන තෙක් නැවත ගැබ් ගැනීමට සුදුසු නැහැ. මේ නිසා එම කාලය තුල සුදුසු උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුයි. ඉන් පසුව නැවත ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙන්නෙ නැහැ. නමුත් නැවත Molar Pregnancy තත්වයක් ඇති වීමට 1-2%ක පමණ අවදානමක් තිබෙනව.