ගර්භණී මවකට වමනය සහ ඕක්කාරය ඇතිවීම
ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.
වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ලක්ෂණයක් ලෙස පවතින මතය තරමක් දුරට සත්‍යයක්. මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක් අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන තිබෙනව. ඕක්කාරය සහ වමනය ඇතිවෙන ආකාරය හරියටම පැහැදිලි නැහැ. නමුත් වැදෑමහ මගින් නිපදවන Human Chorionic Gonadotropin (hCG) නම් හෝමෝනය මෙයට හේතුව ලෙස සලකනව. මෙම හෝමෝන මට්ටම වැඩි වෙන නිවුන් දරුවන්, Molar pregnancy වැනි තත්වයන් අති විට වමනය සහ ඕක්කාරය සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩියෙන් දක්නට ලැබෙනව.
ගර්භණී මවකට මුල්වරට සති 8දී පමණ වමනය ඕක්කාරය ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දරු ගැබට සති 16 -18 පමණ කාලය වන විට මෙම රෝග ලක්ෂණ නැතිව යනව. කෙසේ වෙතත් සති 12කට පසු පලමු වරට මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වීම සාමාන්‍ය නැහැ. එසේ වුවහොත් එය වෙනත් රෝගයක ලක්ෂණයක් දැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව.
මේ තත්වය නිසා බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් වමනය ඉතා දරුණු ලෙස පවතින Hyperemesis Gravidarum නම් රෝග තත්වය නිසි ලෙස පාලනය නොකල හොත් ඉන් දරු ගැබට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා වමනය නතර නොවන අවස්තා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙවැනි අවස්තාවක මවට සාමාන්‍ය ආහාර ගැනීම අපහසු වෙන අතර අධික වමනය සමග පහත රෝග ලක්ෂණ ඇතිවේනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි.
- මුත්‍රා වල වර්ණය තද පැහැ වීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩු වීම.
- වමනය සමග ලේ පිටවීම
- උදරයේ අධික වේදනාවක් ඇති වීම.
- උණ.
- නැවත නැවත නතර නොවී වමනය කිරීම.
- ක්ලාන්ත ගතිය.
ගර්භණී කාලයේ ඕක්කාරය දැනීම සහ ඉඳ හිට වමනය අති වීම ඉතාමත් බහුල තත්වයක්. ඒ සඳහා කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන පරිදි රෝග ලක්ෂණ පවතී නම් මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දරු ගැබට කිසිම හානියක් නොවන පරිදි මෙම රෝග ලක්ෂණ වලින් සහනය ලබන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර තිබෙනව.
ප්‍රතිකාර වලට අමතරව මෙම රෝග ලක්ෂණ ඇති වීමට හේතු වෙන සාධක (උදා. සමහර ආහාර වල සුවඳ) වලින් ඈත්ව සිටීම, මානසික ආතතියෙන් මිදීම වැනි දේ රෝග ලක්ෂණ පාලනය සඳහා වැදගත් වෙනව.
මෙම කාලය තුල ඔබට සාමාන්‍ය ලෙස ආහාර ගැනීම අපහසු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඉන් ඔබට හෝ දරුවාට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබට පුළුවන් පරිදි සැහැල්ලු ආහාරයක් ගෙන රෝග ලක්ෂණ පහව යන තෙක් සිටීම සුදුසුයි.