ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැටළුව නිතරම වෛද්‍ය වරුන් වෙත යොමු වෙනව.
මේ කාලය තුල මව සහ පියා ලඟින් ඇසුරු කිරීම මවගේ මානසික තත්වයට මෙන්ම දරුවාගේ වර්ධනය සහ විකසනයටත් වැදගත් වෙනව. ගර්භණී වීමත් සමග කාන්තාවකට ඇතිවෙන ඕක්කාරය, පියයුරුවල තද ගතිය, මානසික වෙනස්කම් වැනි රෝග ලක්ෂණත් සමග මුල් මාස කිහිපය තුල ලිංගික ආශාවන් අඩු වීම සාමාන්‍ය තත්වයක්. ඉන් පසු යම් යම් අවස්තා වලදී ලිංගික ආශාවන් අඩු හෝ සාමාන්‍ය වෙන්න පුළුවන්.
ගර්භාෂය තුල දරුවා සිටින්නෙ තරල පිරුණු අවකාශයක් වන water bag එක ඇතුළත නිසා පිටත ඇතිවෙන කම්පනයන් සහ ගැස්සීම් වැනි දේ දරුවාට දැනෙන්නෙ ඉතා සුළු වශයෙන්. ඒ වගේම ගැබ් ගෙල සම්පූර්ණයෙන් වැසී ඇති විට water bag එක සහ ගැබ් ගෙල අතර සෙන්ටි මීටර් 2 1/2කට වැඩි දුරක් තිබෙනව. වෙනත් කිසිම සංකූලතාවයක් නිසා වෛද්‍ය වරු ලිංගික එක්වීමෙන් වැළකී සිටීමට ඔබට උපදෙස් ලබා දී නොමැති නම්, ගර්භණී කාලයේ ලිංගික එක්වීම හෝ සුරාන්තයට පත් වීම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.
නමුත් ලිංගික එක්වීම දරු ගැබට මෙන්ම මවටත් අවදානම් විය හැකි සංකූලතා තත්වයන් තිබෙනව. පහත සඳහන් තත්වයන් ඔබට ඇති බව වෛද්‍ය වරු දැනුම්දී ඇති නම් ලිංගික එක්වීමෙන් වැළකී සිටිය යුතු වෙනව.
ගර්භණී කාලයේ රුධිර වහනයට අවදානමක් තිබෙන Placenta previa (වැදෑමහ පහතින් පිහිටීම) තත්වය ඇති විට ලිංගික එක් වීම අවදානම්. මේ තත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. බොහෝ විට මාස 7ක් පමණ වෙන විට ගර්භාෂය විශාල වීමත් සමග වැදෑමහ ඉහලට ගමන් කරන නිසා මෙම ගැටළුව දිගටම පවතින්නෙ නැහැ. ඒ බව නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා තෙක් ලිංගික එක්වීමෙන් සම්පූර්ණයෙන් වැලකීම අවශ්‍ය වෙනව.
කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාමක් සිදුවූ විට ගැබ් ගෙල හරහා දරු ගැබට විෂබීජ ඇතුළු වීමට අවදානමක් තිබෙනව. ඒ නිසා ලිංගික එක්වීම සුදුසු නැහැ.
රුධිර වහනය, ගැබ් ගෙල විවෘත වීම, විටින් විට ඇති වෙන වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විට වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනව. එවැනි අවස්ථාවක ලිංගික එක්වීමෙන් වැලකී සිටීම සුදුසුයි.
ගර්භණී කාලය තුල ලිංගික සංසර්ගයේ යෙදීම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු වෙන බවට මතයක් තිබුනත් එහි විද්‍යාත්මක පදනමක් නැහැ.
ගර්භණී කාලයේ මව සහ පියා දෙදෙනා ම සහයෝගයෙන් මවගේ මානසික තත්වය ඉතා හොඳින් පවත්වා ගැනීම කුස තුල සිටින දරුවාගේ නිසි වර්ධනයට සහ විකසනයට අත්‍යවශ්‍ය කරුණක්. ගර්භාෂය විශාල වීමත් සමග මව උඩුබැලි අතට සිටීම සුදුසු නැති නිසා ලිංගික එක්වීමේදී වෙනත් පහසු ඉරියව්වක් යොදා ගැනීම අවශ්‍ය වෙන අතර ලිංගික එක්වීම අහිතකර බවට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර නොමැති නම් ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON