ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?
ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක්. බොහෝවිට මීට හේතු වෙන්නෙ ගර්භණී සමයේ ස්වභාවිකව සිදුවන වෙනස්කම් වුවත් කලාතුරකින් මෙය දරුගැබට පවා හානිකර තත්වයන් නිසා විය හැකියි. ගර්භණී කාලයේ ගර්භාෂයට වගේම ගැබ්ගෙල හා යෝනි මාර්ගය ආශ්‍රිතව රුධිර සැපයුම වැඩි වෙනව. ඊට අමතරව සිරුරේ හෝමෝන වෙනස්කම් රැසක් සිදුවෙනව. මෙහි බලපෑමක් ලෙස යෝනි මාර්ගයෙන් ස්වභාවිකව පිටවෙන ස්‍රාව ප්‍රමාණය ගර්භණී කාලයේ වැඩි වීමක් සිදුවෙනව. මෙය සාමාන්‍ය තත්වයක්. මෙම ස්‍රාවය දිගටම පැවතීම නිසා යෝනි මාර්ගයට විෂබීජ ආසාදන තත්වයන් ඇතිවීමේ අවදානම අඩු වෙනව. පිටවෙන ස්‍රාවය අවර්ණ සහ දුගඳක් නොමැති ස්‍රාවයක් නම් එය සාමාන්‍ය ලෙස සලකන අතර කිසි විටක එය අඩු කිරීමට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් සමහර විට යෝනි මාර්ගයේ විෂබීජ ආසාදන තත්වයක් නිසා පිටවෙන ස්‍රාවය වෙනස් වෙන්න පුළුවන්. යෝනි මාර්ගයේ කැසීමක් සමග සුදු පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවේ නම් එයට හේතුව candida albicans දිලීර ආසාදන තත්වය විය හැකියි‍‍. මෙයට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගයෙන් ඇතුළු කරන දිලීර නාශක ඖෂධ වෛද්‍යවරුන් නියම කරනව. බීමට ගන්නා බොහොමයක දිලීර නාශක ඖෂධ ගර්භණී මවුවරුන්ට සුදුසු නැති නිසා යෝනි මාර්ගය හරහා ලබා දෙන ඖෂධ අසාර්ථක වන විට පමණක් විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත එම ඖෂධ නියම කිරීම සිදු කරනව. පිටවෙන ස්‍රාවය අවපැහැති වීම සහ ඒ සමග දුගඳක් ඇතිවීම බැක්ටීරියා ආසාදන තත්වයක රෝග ලක්ෂණයක් විය හැකියි. එවිට වෛද්‍ය උපදෙස් මත සුදුසු ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගත යුතුයි. දරුගැබ ආරක්ෂා කරන වෝටර් බෑග් එක කැඩීම සමහර ගර්භණී මවුවරුන්ට ඇතිවෙන සංකූලතාවයක්. එවැනි අවස්තාවක වෝටර් බෑග් එක තුල ඇති භ්‍රෑණ තරලය යෝනි මාර්ගය හරහා පිටතට පැමිනෙන්න පුළුවන්. මෙය අවදානම් තත්වයක්. ඒ සමග යෝනි මාර්ගය තුල ඇති විෂබීජ ගර්භාෂයට ඇතුළුවීමට හැකියාව තිබෙනව. ඊට අමතරව ගැබ් ගෙල විවෘත වුවහොත් පෙකණිවැල ඒ තුලන් පිටතට පැමිණීමට හෝ කලින් දරුවා බිහිවීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මෙවැනි තත්වයක් ඇතිවූ වහාම ගර්භණී මවක් ඉක්මණින් රෝහලකට පැමිණිය යුතුයි. එහිදී මවට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා අවම කිරීමට සුදුසු ප්‍රතිකාර සිදු කරනව. දරු ප්‍රසූතියට ආසන්න වෙනව විට ගැබ් ගෙලෙන් පිටවෙන ශ්ලේෂ්මල ස්‍රාව ප්‍රමාණය වැඩි වෙනව. ගැබ් ගෙල විවෘත වීම ආරම්භ වෙන විට මෙම ස්‍රාවය සමග රුධිරය සුළු ප්‍රමාණයක් පිටවෙන්න පුළුවන්. මෙය දරු ප්‍රසූතිය ආසන්න වීමේ ලක්ෂණයක්. ඒ නිසා මෙම ලක්ෂණ ඇති වෙන විට රෝහල් ගතවීමට සූදානම් විය යුතුයි. ..
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු
කාන්තාවකට දරු ඵල අහිමි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂ වලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බ පිට නොවීම. මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඔසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුල ඩිම්බයක් නිසි ප්‍රමාණය මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බයක් මේරීම සිදුවන ආකාරය සහ එය නිසි ලෙස සිදු නොවීමට බලපාන කරුණු ගැන මේ ලිපිය වෙන් වෙන්නෙ.ගැහැනු දරුවෙකු උපදින විටම ඩිම්බ කෝෂවල ඩිම්බ ලෙස මේරීමට හැකි ප්‍රාථමික සෛල සෑදී අවසන්. මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල සාමාන්‍යයෙන් මසකට එක ඩිම්බයක් පිටවීම සිදුවන අතර මෙලෙස ජීවිත කාලය තුල ඩිම්බ 400 කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පිටවෙනව. ඩිම්බයක් මේරීම ආරම්භ වෙන්නෙ ඔසප් චක්‍රය ආරම්භ වීමත් සමගයි. මෙයට කාන්තාවගේ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන FSH (Follicle stimulating hormone) නමැති හෝමෝනය අවශ්‍ය වෙනව. පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝනය පිටවීම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස කොටසින් නිපදවන GNRH නැමති තවත් හෝමෝනයක බලපෑමට අනුවයි. ඩිම්බ මේරීම සිදු නොවන හේතුඩිම්බ කෝෂ වල ප්‍රමාණවත් ලෙස ඩිම්බ නොමැති වීම. මෙවැනි තත්වයක් ඇති දැයි රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් සහ ස්කෑන් පරීක්ෂාවේ දී Antral follicle count සොයා බැලීමෙන් අනුමාන කරන්න පුළුවන්. අධික තරබාරු බව. BMI අගය මගින් මේ ගැන සොයා බලන්න පුළුවන්. සිරුරේ බර අඩු කර ගැනීම මගින් නැවත හෝමෝන ක්‍රියාවලිය යතා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව. අධික ලෙස කෙට්ටු වීම. සිරුරේ හෝමෝන නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රමාණයට මේද ස්තරයක් තිබීම වැදගත් වෙනව. එසේ නොමැති නම් ඔබේ බර වැඩි කර ගැනීම අවශ්‍යයි. ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම නිසාත් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී ඩිම්බ මේරීම අඩපණ වෙන්න පුළුවන්. Hyperprolactinemia: ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම ඉහල යාම ඩිම්බ මේරීමට බලපාන තත්වයක්. Hyperthyroidism and Hypothyroidism: තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයත් ඩිම්බ මේරීමට බලපානව. තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩි වීම මෙන්ම අඩු වීමත් ගැබ් ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. PCOS: පොලිසිස්ටික් රෝග තත්වය නිසාත් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර වෙනම ලිපියක් සඳහන් වෙනව. ඊට අමතරව ඩිම්බ මේරීම සිදු නොවෙන්න තවත් විවිධ හේතු බලපානව. සමහර විට කිසිම හඳුනා ගත හැකි හේතුවක් නොමැතිවත් ඩිම්බ මේරීම සිදු නොවන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් ඉහත බොහෝ රෝග තත්වයන් ඇති කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දී ඩිම්බ මේරීම උත්තේජනය කරන්න හැකියාව තිබෙනව. ඒ නිසා එවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව උපදෙස් ලබා ගන්න. ..
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්
හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකියාවක් නැහැ. මීට පෙර ලිපියක් මගින් අපි හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් තිබෙනව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ Levenogestrel (Postinor) ඖෂධය අනාරක්ෂිත ලිංගික එක් වීමකට පසු ලබා ගත් පසුත් ගැබ් ගැනීමකට අවදානමක් ඇති අවස්තා පැහැදිලි කිරීමයි.හදිසි උපත් පාලන භාවිතා කල පසුත් ගැබ් ගැනීමට අවදානම ඇති අවස්තාවන්. 1. අනාරක්ෂිත ලිංගික සංසර්ගය සිදුවී පැය 72 කට වඩා පසුව ඖෂධ ලබා ගැනීම.දැනට ඇති නවතම වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව, මෙම ඖෂධය සාර්ථක වීමට  නම් අනාරක්ෂිත ලිංගික සංසර්ගය සිදුවූ අවස්ථාවේ සිට උපරිම පැය 96ක් ඇතුළත ගත යුතුයි. හැකි ඉක්මනින් ඖෂධය ලබා ගැනීමෙන් සාර්ථකත්වය වැඩිවෙනව.2. ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල ඖෂධ ලබා ගැනීමමෙම ඖෂධය ක්‍රියාත්මක වෙන්නෙ කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් පිටවීම වැළැක්වීම හෝ දින කිහිපයකින් ප්‍රමාද කිරීම මගින්. යෝනි මාර්ගය තුල තැන්පත් වන ශුක්‍රාණු දින පහක පමණ කාලයක් සජීවීව තිබෙනව. නමුත් මෙම ඖෂධය මගින් ඩිම්බ පිටවීම ප්‍රමාද කරන නිසා එම ශුක්‍රාණු වලට ඩිම්බයක් සංසේචනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. කෙසේ වෙතත් ඖෂධය ලබා ගන්නා අවස්ථාව වන විට ඩිම්බයක් පිටවී තිබුණ හොත් එම ඩිම්බය ශුක්‍රාණු සමග එක්වී සංසේචනය වීම වළක්වන්න හදිසි උපත් පාලන පෙති වලට හැකියාවක් නැහැ. එවිට ගැබ් ගැනීමක් සිදු වෙන අතර ඇතිවෙන කලලය ගබ්සාවට ලක් කිරීමක් මෙම ඖෂධ නිසා සිදු වෙන්නෙ නැහැ.3. දැනටමත් දරු පිළිසිඳ ගැනීමක් සිදුවී ඇති විට levenogestrel ඖෂධය ලබා ගැනීම.සංසේචනය වී ඇති ඩිම්බයක් ගර්භාෂය තුල තැන්පත් වීම වැලැක්වීමට හෝ ගබ්සා කිරීමට මෙම ඖෂධ වලට හැකියාවක් නැහැ. පෙර ලිංගික එක්වීමක් නිසා සංසේචනයක් සිදුව තිබේනම් levenogestrel ඖෂධය ලබා ගැනීමෙන් ප්‍රතිඵලයක් නැහැ.4. ඖෂධ ලබා ගැනීමෙන් පසුව නැවත අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීම. Levenogestrel ඖෂධය ලබා ගෙන දින 5කට පමන පසුව ඩිම්බයක් පිටවිය හැකියි. ඒ අවස්ථාවේ නැවත සංසර්ගයක් සිදුවුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.5. ඖෂධය වමනය සමග පිටවීම. ඖෂධය නිසා වමනය ඕක්කාරය වැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. හදිසි උපත් පාලන පෙති ලබා ගෙන පැය 2-3ක් ඇතුලත වමනය ඇති වුවහොත් නැවත වරක් ඖෂධය ලබා ගැනීම අවශ්‍ය වෙනව.6. අධික තරබාරු බවකාන්තාවගේ අගය BMI 26 ට වැඩි නම් ඩිම්බ පිටවීම වැලැක්වීමට සාමාන්‍ය ඖෂධ මාත්‍රාව වන Levenogestrel 1.5 mg ප්‍රමානවත් නැහැ. එවැනි අවස්තාවක ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමට අවශ්‍ය වෙනව.7. Enzyme inducing drugs.අක්මාවේ එන්සයිම උත්තේජනය කරන griseofulvin, rifampicin, carbamazepine වැනි ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට ඩිම්බ පිටවීම සාමාන්‍ය ඖෂධ මාත්‍රාව මගින් ඩිම්බ පිටවිම වලක්වන්න බැහැ. ඒ නිසා එම ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට ඖෂධය වැඩි මාත්‍රාවකින් ලබා ගැනීමට අවශ්‍ය වෙනව ඉහත හේතු කිසිවක් නොමැතිව හදිසි උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කල අවස්ථාවක දී වුවත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ඒ නිසා අනාරක්ෂිත ලිංගික එක්වීම සිදුවී සති තුනක් ඇතුලත සාමාන්‍ය ලෙස ඔසප්වීම සිදු නොවුන හොත්, මුත්‍රා පරීක්ෂාවක් මගින් ගැබ් ගෙන ඇතිදැයි සොයා බැලීම සුදුසුයි. ..
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර
කාන්තාවකට ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප් වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප් වීම සමග ඇතිවෙන අධික රුධිර වහනයට හේතු වෙන කරුණු සහ ඉන් මිදීමට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි.සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයක් ආකාරයෙන් මසකට වරක් සිදුවෙන අතර එහිදී දින කිහිපයක් සාමාන්‍ය රුධිර වහනයක් පවතිනව. පිටවෙන රුධිර ප්‍රමාණය සහ ඔසප්වීම පවතින දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් එම රුධිර වහනය කාන්තාවගේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වන ලෙස අධික නම් ඊට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව.ඔසප් චක්‍රයේ අවසානයේදී සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රණය අඩුවීමත් සමග ගර්භාෂයේ ඇතුළත බිත්තිය නැතිනම් එන්ඩොමෙට්‍රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමට ලක්ව ඔසප් වීම ආරම්භ වෙනව. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් දින කිහිපයකින් අවසන් වෙන අතර සිරුරට හානිකර ප්‍රමාණයකින් රුධිර වහනය වෙන්නෙ නැහැ. නමුත් සමහර අසාමාන්‍ය තත්වයන් නිසා රුධිර වහනය ස්වභාවිකව නතර නොවීමට හෝ රුධිර වහනය වෙන ප්‍රමාණය අධික වෙන්න පුළුවන්. මෙයට හේතු වන තත්වයන් නම්.1. ඔසප් චක්‍රයේහෝමෝන ක්‍රියාවලියේ අසමතුලිත බව. සාමාන්‍යයෙන් මල්වර වීම ආසන්නයේ සහ ආර්ථවහරනයට පෙර කාල සීමාවේ දී ස්වභාවිකව ඔසප් චක්‍රයේ හෝමෝන අසමතුලිත බවක් පවතිනව. ඒ නිසා අධික රුධිර වහනය මල්වරවූ දැරියන් අතර සහ ආර්ථවහරනයට ආසන්න කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙනව. ඊට අමතරව පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) තත්වය වැනි රෝග තත්වයන් නිසාත් මෙලෙස හෝමෝන අසමතුලිත බවක් ඇති වෙන්න පුළුවන්.2. ගර්භාෂයතුල ෆයිබ්‍රොයිඩ් ගෙඩි පැවතීම (Fibroids). ගර්භාෂයේ මාංශ පේෂී බිත්තියේ ඇතිවෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි අධික රුධිර වහනයට හේතුවක් වෙන්න පුළුවන්. මෙම ගෙඩි පිහිටන ස්ථානය සහ එ්වායේ විශාලත්වය අනුව රුධිර වහනය සිදුවෙන ප්‍රමාණය වෙනස් වෙනව.  3...
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.
ගර්භාෂය ඉවත් කරන්න අවශ්‍ය බව ඔබට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ පසු ඔබේ සිතට ඇතිවන ගැට‍ළු වලට පිළිතුරු දීමටයි මේ ලිපිය වෙන් කරන්නෙ.ගර්භාෂය කියන්නේ මාංශ පේශී වලින් යුක්ත කුඩා අවයවයක්. කාන්තා ප්‍රජනක පද්ධතියේ ප්‍රධානතම කොටස විදියට තමයි ගර්භාෂය සලකන්නෙ. මෙහි ප්‍රධානතම කර්තව්‍යය වන්නේ ගැබ් ගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා දරු ගැබ වර්ධනය වීමට අවශ්‍ය අවකාශය සහ පෝෂණය සැපයීමයි. ඔසප් චක්‍රයේදී සිදුවන රුධිර වහනය සිදුවන්නේ ගර්භාෂ බිත්තියේ ඇතුළත ස්තරය බිඳවැටීම නිසයි. ඔබ දරු පල ලබා අවසන් වූ පසු ශරීරයේ ගර්භාෂයට වෙන්වූ විශේෂ කර්තව්‍යයක් නැහැ.නමුත් ගර්භාෂයේ ඇතිවන රෝග තත්ත්වයන් රැසක් නිසා කාන්තාවන් අපහසුතාවට පත්වන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ අතර ඔසප් වීම සමග ඇතිවන අධික රුධිර වහනය, ඔසප් වීමත් සමග ඇතිවන වේදනාව, ගර්භාෂයේ ගෙඩි ඇතිවීම සහ එම ගෙඩි නිසා උදරය විශාල වීම මුත්‍රා කිරීම සහ මල පහ කිරීමේදී අතිවෙන අපහසුතාවයන්, ගර්භාෂයේ පිළිකා ඇතිවීම වැඩි තත්ත්වයන් නිසා බොහෝ කාන්තාවන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක ගර්භාෂය ඉවත් කිරීම ඊට සුදුසුම ප්‍රතිකාර ලෙස සමහර විට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන්න පුළුවන්.ගර්භාෂය ඉවත් නොකර වී රෝගී තත්ත්වය සමනය කරගන්න පුලුවන්ද කියලා සමහරවිට ඔබට සැකයක් ඇති. ඔබ ගර්භාෂ පිළිකා තත්ත්වයක් හැර අනිකුත් රෝග තත්වයක් නිසා ගර්භාෂ ඉවත් කරන්න සුදානම් වන කාන්තාවක් නම්, ඔබේ රෝග තත්වය පාලනය කිරීමට හැකි වෙනත් ප්‍රතිකාර ක්‍රම තිබෙනව‍. මේ අතර ගර්භාෂය තුල තැන්පත් කරන හෝර්මෝන ලූපයක්, ගර්භාෂයේ ගෙඩි වල විශාලත්වය අඩු කරන හෝමෝන ඖෂධ, ගර්භාශයට රුධිර සැපයුම අවහිර කරන ක්‍රම, ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය විනාශ කිරීම සහ රෝග ලක්ෂණ පාලනය කිරීමට යොදා ගන්නා ඖෂධ වර්ගයක් භාවිතා කිරීම වැනි ප්‍රතිකාර ක්‍රම ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකට විකල්ප ක්‍රම විදියට භාවිතා කරන්න පුළුවන්. නමුත් එමගින් සිදු වෙන්නේ කෙටි කාලයකට ඔබගේ රෝග ලක්ෂණ පාලනය කර තබා ගැනීම පමණයි. ගර්භාෂය නිසා ඇතිවන අධික වේදනාවට, අධික රුධිර වහනයට සහ ගර්භාෂයේ ගෙඩි වලට ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම හදුන්වන්න පුළුවන්. මෙහිදී ගර්භාෂය සිරුරෙන් ඉවත් කරන නිසා ඉන් පසු ඔසප් වීමක් සිදු වන්නේ නැහැ. ඒ සමග ඇතිවන වේදනාවන් සහ අධික රුධිර වහනයෙන් සුව කිරීමට වගේම ගර්භාෂය පහත් වීම සහ පිළිකා අවදානම් වෙනුවෙනුත් මේ සැත්කම සිදු කරන්න පුළුවන්.ගර්භාෂය ඉවත් කරන සැත්කම සිදු කරන ප්‍රධානතම ක්‍රම තුනක් තිබෙනව.1. උදරයේ කිසිම කැපුමක් නොමැතිව යෝනි මාර්ගය හරහා ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)2. උදරයේ කුඩා කැපුම් පමණක් යොදා laparoscopy ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම (Laparoscopic Hysterectomy)3. විවෘත සැත්කමක් ලෙස උදරයේ කැපුමක් යොදා ඒ තුළින් ගර්භාෂ ඉවත් කිරීම.උදරයේ කැපුම් නොයොදා යෝනි මාර්ගයේ ඇතුළතින් ගර්භාෂ ඉවත් කිරීම මගින් තුවාල නිසා ඇතිවන සංකූලතා අවම කරගන්න පුළුවන්. මෙම ක්‍රමයට සැත්කම සිදු කරන්න සිහි නැති කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. සිසේරියන් සැත්කමකදී මෙන් පිට කොන්දට ලබා දෙන නික්ෂේපණ ඖෂධයක් මගින් හිරිවැටීමට ලක් කර මෙම සැත්කම කරන්න සිදු පුළුවන්. එනිසා සැත්කම සඳහා වැයවන වියදම අනිත් ක්‍රමයට සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. ලැපරොස්කොපි උපකරණ භාවිතයෙන් ඉතා කුඩා කැපුම් කිහිපයක් පමණක් laparoscopy hysterectomy සැත්කම සිදු කරන විට සැත්කමින් පසුව ඇතිවෙන වේදනාවන් ඉතා අඩු නිසා බොහෝ විට එක් දිනකින් රෝහලෙන් බැහැර වීමට පහසුකම් ලැබෙනවා. නමුත් මේ ක්‍රමය අනිත් ක්‍රමයන්ට සාපේක්ෂව මිල අධිකයි. අනික් සැත්කම් ක්‍රමය වෙන්නේ උදරයේ කැපුමක් යොදා විවෘත සැත්කමක් ලෙස ගර්භාෂය ඉවත් කිරීමයි. මෙහිදී තුවාල සුව වීමට ගත වන කාලය තරමක් වැඩි අතර සැත්කමෙන් පසු ඇතිවෙන වේදනාවත් තරමක් වැඩියි. ඉහත සැත්කම් ක්‍රම තුනේ ඔබට සුදුසුම ක්‍රමය තෝරා ගැනීමට නම් ඔබ ඔබේ වෛද්‍යවරයා සමඟ මේ ගැන සාකච්ඡා කළ යුතුයි. ගර්භාෂය ඉවත් කිරීම අවශ්‍ය වෙන බොහෝ කාන්තාවන්ට යෝනි මාර්ගය තුළින් උදරය කිසිම කැපුමක් රහිතව එම සැත්කම සිදු කරන්න පුළුවන්. ඒ සඳහා පළපුරුදු වෛද්‍යවරයෙක් අවශ්‍ය වෙනවා. උදරය ඇතුළත ඇලීම් වැනි තත්වයන් නිසා මෙම සැත්කම සිදු කිරීම අපහසු අවස්ථාවලදී ලැපරොස්කොපි සැත්කම ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එහිදී උදරයේ ඉතා කුඩා කැපුම් කිහිපයක් යෙදීම අවශ්‍ය වෙනවා. නමුත් මෙහි ක්‍රමයේ තිබෙන විශේෂ වාසිය තමයි ඒ සමග ඉතාමත්ම සියුම් ශල්‍ය උපකරණ සහ සැත්කම මගින් ඇතිවන තුවාල සුව වීමට ගතවන කාලය ඉතාමත්ම අඩුයි ඔබට ඉක්මනින් නැවත ඔබගේ එදිනෙදා වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙනව. ගර්භාෂ පිළිකා තත්ත්වයක් වැනි අවදානම් තත්ත්වයක් තිබෙන විට ඉහත ක්‍රම දෙක වෙනුවට විවෘත සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්ඕනෑම සැත්කමක් හෝ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාවලියක් නිසා අතුරු ආබාධ සහ සංකූලතා ඇති වෙන්න පුළුවන්.  ඕනෑම සැත්කමක දී ඇති විය හැකි අතුරු ආබාධ ගර්භාෂය ඉවත් කළ සැත්කමකට පොදු වන අතර ප්‍රධාන වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන් සංකූලතා තමයි විෂබීජ ආසාදන ඇතිවීම, සැත්කමින් පසුව ඇතිවන වේදනාව, සැත්කම අවස්ථාවේ ඇතිවන රුධිර වහනය. සැත්කම අවස්ථාවේ අභ්‍යන්තරයට ඉන්ද්‍රියකට හානි සිදුවීම ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකියි. එලෙස මුත්‍රාශය, මුත්‍රා වාහිනී. බඩවැල්, රුධිර වාහිනී වැනි ඉන්ද්‍රියකට හානියක් සිදු වුවහොත් එය ප්‍රතිසංස්කරණය කිරීමට ඒ අවස්ථාවේදීම මැහුම් යෙදීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඊට අමතරව පෙනහලුවල ආසාදන තත්ත්වයන්, මුත්‍රා ආසාදන තත්ත්වයන්, පාදවල රුධිර කැටි හිර වීම, හෘදයාබාධ වැනි සංකූලතා ඕනෑම සැත්කමකට පසුව ඇතිවීමේ ඉඩ ඇති ඉඩකඩක් තිබෙනව.ගර්භාෂය ඉවත් කරන විවිධ සැත්කම් ක්‍රම පිළිබඳ ව වැඩි විස්තර අපි මීට පෙර ලිපි කිහිපයකම සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳ පහත ලින්ක් වලින් ඔබට බලා ගන්න පුළුවන්උදරයේ කිසිම කැපුමක් නොමැතිව යෝනි මාර්ගය හරහා ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)උදරයේ කුඩා කැපුම් පමණක් යොදා laparoscopy ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම (Laparoscopic Hysterectomy) Laparoscopic Hysterectomy..