Skip to main content

ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය

Published Updated 20,086 views

වේගයෙන් පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ වගේම මෙම රෝගය නිසා ගර්භණී මව් වරුන්ට දරුණු සංකූලතා ඇති වෙන්නත් පුළුවන් නිසා ගර්භණී කාලය තුල සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති වුවහොත් එ් ගැන විශේෂ අවදානය යොමු කිරීම වැදගත්.

H1N1 රෝගයේ ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශා උණ තත්වයකදී ඇති වෙන රෝග ලක්ෂණ වලට බෙහෙවින් සමානයි. මීට අමතරව කැස්ස, ඇඟපත රුදාව, උගුරේ ආසාදන, හිස රදය, මහන්සි ගතිය, තද උණ සමග සීතල ගතිය ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගැබිණි මවකට ඇති වුවහොත් ඉකිමණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි.

සමහරවිට මේ රෝගය නිසා නියුමෝනියාව වැනි සංකූලතා ඇති වෙනව. ගැබිණි කාලයේ මෙවැනි සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. පසුගිය වසර තුල මේ නිසා මාතෘ මරණ කිහිපයක්ම ලංකාවේ වාර්තා වුනා. එම නිසා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නියම කර තිබෙන්නේ දිනකට වඩා උණ රෝගය තිබෙන සියළුම ගැබිණි මව් වරුන් අනිවාර්යයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.

රෝහලකදී මෙම රෝග තත්වය පාලනය කර ගැනීමට ප්‍රති වෛරස ඖෂධ භාවිතා කරනව. එහිදී Oseltamvir නැමැති ඖෂධය බහුලව භාවිතා කරනව. මෙම ඖෂධ ඉක්මණින් ගැනීමෙන් රෝගය නිසා ඇති වෙන සංකූලතා අවම කර ගන්න හැකියාව තිබෙනව.

මෙම රෝගය වලක්වා ගන්න දැනට එන්නතක් නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා සෑම ගැබිණි මවක්ම මෙම රෝගය බෝවීමට ඇති අවදානම අඩු කරගැනීමට උත්සාහ කල යුතුයි. මේ සඳහා පහත උපදෙස් වැදගත් වේවි.

හැකි තරම් සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න.

ආසාදිත පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වලකින්න.

නාසය, මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න.

කහින විට කිවිසුම් යන විට නාසය සහ මුව ආවරණය වෙන ලෙස ටිෂූ එකක් භාවිතා කර එය ඉවත දමන්න.

නිරතුරුව අත් සබන් යොදා සොදන්න. නැතිනම් ඇල්කොහොල් අඩංගු අත් පිරිසිදු කරන ද්‍රව්‍යයක් යොදා ගන්න.

උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් ඇති වුව හොත් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

එක් දිනකට වඩා උණ තත්වය පවතීනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න.

මෙම රෝග තත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශය මගින් රෝගීන් දැනුවත් කිරීමට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න‍

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න